බූට් කෑම සහ ආදරයේ හෘද සාක්ෂිය


August 6, 2017 8:37 am

බූට් කෑම සහ ආදරයේ හෘද සාක්ෂිය.


බොහෝ, පෙම්වතුන් හා පෙම්වතියන්ට සැබෑ ආදර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට නොහැකි වීම සුලභ දෙයක් වී තිබේ. බොහෝ සබඳතා ටික කලකින් හෝ දිගු කලකින් බිඳ වැටේ. මේ බිඳ වැටිම් කෙනෙකුට ජීවිතයම අහිමි කරන අතර තව කෙනෙකුට ජීවිතයේ ඉතා විශාල කොටසක් අහිමි කරයි.
මාස ගණනක් වසර ගණනක් ජීවිතය නාස්ති කර දමන මෙම සබඳතා බිඳ වැටිම් කොල්ලෝ කෙල්ලෝ අතර විවිධ විදිහට හැදින්වෙනවා. ‘‘බූට් එකක් තියලා’’ ‘‘බූට් එකක් කලා’’ ‘‘කණුව තියලා’’ ‘‘දාලා ගිහිල්ලා’’ වැනි ටිකක් සැහැල්ලූ වචන වල සිට ‘‘ඇණලා පැනලා’’ ‘‘සුද්ධ කරලා පැනලා’’ වැනි බරපතල වචන වලිනුත් මේ සබඳතා බිඳ වැටිම් ප‍්‍රකාශ වෙනවා.
අත් හරින්නට බලාගෙන සබඳතා පවත් ගන්න අය ගැන නෙවෙයි මේ කතා බහ. ඇත්තටම පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනගා ගන්න උත්සහ කළත් බොහෝ විට බිඳ වැටෙන්නේ ඇයි කියන එකට අදාල එක හේතුවක් සාකච්ඡුා කරන්නයි.
අපේ ව්‍යවහාරයේ සාමාන්‍යයෙන් කියන වචනයක් තිබෙනවා. ‘‘අවංක වෙනවා’’ කියලා. අවංක වීමෙන් පමණයි සැබෑ පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනැගෙන්නේ. ‘‘අවංක වීම’’ නිසාම පේ‍්‍රම සම්බන්ධය බිඳ වැටුනු අය මේ ලියවිල්ලට එක පාරට විරුද්ධ වෙන්න පුළුවන්. ‘‘මොන පිස්සුද අවංක වෙච්ච හින්දා තමයි මට කෙළ වුනේ’’ කියලා එක තරුණයෙක් මේ පිළිබඳ සාකච්ඡුාවේදි කිව්වේ බොක්කෙන්මයි.
ඇත්ත. ඒ බිඳ වැටීම ගැන දුක් වෙන්න එපා සතුටු වෙන්න. වංකව ඔබට ඒ සම්බන්ධය ගෙනියන්න පුළුවන්. අද හුඟ දෙනෙක් ඒක කරනවා. හැබැයි ඒක පේ‍්‍රම සම්බන්ධයක් නොවෙයි. මේ ‘අවංක වීම’ කියන දේ වඩාත් ක‍්‍රිස්තියානි භාෂාවකින්. අධ්‍යාත්මික භාෂාවකින් කියන්න පුළුවන්. හෘද සාක්ෂියකට එකඟව අව්‍යාජ වීම කියලා. ඇත්තටම සැබැ පේ‍්‍රම සම්බන්ධයක් ගොඩනැගිය හැක්කේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරිමෙන්.
මේ සත්‍යය සැබෑ පේ‍්‍රම සම්බන්ධතාවයක ප‍්‍රහර්ෂය අත්විදින කව්රුත් දන්නවා. මේ සත්‍යය ඉතා පැහැදිලි ලෙස සාරාංශ ගත කර තිබෙන සටහනක් තිබෙනවා එරික් ප්‍රෝම් ගේ ආදරය කලාවකි පොතේ.
‘‘සැබෑ ආදර සම්බන්ධතාවයක් ගොඩ නගා ගත හැක්කේ අදාළ පුද්ගලයින් දෙදෙනා එකිනෙකාගේ ජීවයේ පතුළින් මතුව එන හෘදය සාක්ෂියට එකඟව ඔවුන්ගේ සිතුම් පැතුම් නිර්ව්‍යාජව සන්නිවෙදනය කර ගැනීමෙන් පමණි’’
එරික් ප්‍රෝම් ඔහුගේ එම නිගමනය පහත පරිදි තව දුරටත් විස්තර කරනවා.
‘‘මානව යථාර්ථය පවතින්නේ හෘද සාක්ෂියට එකඟව ලබන අත්දැකිම් තුළය. ජීවමාන බව හා ආදරයේ පදනම රදා පවතින්නේ හෘද සාක්ෂියට එකඟව ක‍්‍රියා කිරිම තුළය.’’
ඇත්තටමහ හෘද සාක්ෂියට එකඟ නිර්ව්‍යාජ සන්නිවේදනය කිසි විටකත් පහසු එකක් නොවෙයි. ඔබ පෙම්වතෙක් පෙම්වතියෙක් නම් මොහොතක් හිතන්න. ඔබ ඔබේ හෘද සාක්ෂියට එකඟව අවංක වෙලා තියෙනවාද? මේක ඇත්තටම අභියෝගයක්. එරික් ප්‍රෝම් තව දුරටත් මෙහෙම කියනවා.
‘‘මේ ආකාරයෙන් (හෘද සාක්ෂියට එකඟව) භුක්ති විදින ආදරය යනු නිරන්තර අභියෝගයකි. එහි නැවතීමක් නැත. එය චලනය වන, වැඩෙන, එකමුතුව කටයුතු කිරිමේ ක‍්‍රියාවලියකි. එකඟත්වයක් පැවැතිය ද ගැටුමක් පැවැතියද සතුටක් හෝ ශෝකය පැවැතිය ද එය පුද්ගලයින් දෙදෙනෙක් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරිමේ මූලික සාධකයට දෙවනි වේ. එනම් ඔවුන් ජීවිතයේ සැම අවස්ථාවකටම මුහුණ දෙන්නේ ගැටලූ වලින් පලා යාමෙන් හෝ තනි පුද්ගලයින් ලෙස වෙන් වෙන්ව ක‍්‍රියා කිරිමෙන් නොව ආත්මීයව බැදුනු යුවලක් මෙන් එකමුතුව කටයුතු කිරිමෙනි’’
ඔබ ලෝකයේ කොතැනක හෝ සැබෑ ආදර සබඳතාවයක් දැක තිබේ නම් එහි රහස වන්නේ ඉහත කී හෘද සාක්ෂියේ ආදරයයි. එය වනාහි ආදරයේ හෘද සාක්ෂියයි.
ඔබේ මිතුරු හමුවීම් තුල මේ ගැන කතා බහ කරන්න. ඔබට ඒ ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා නම් අපට ලියන්න.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696