අයිසිකී‍්‍රම්, දරු පැටව් හා දරු පවුල්.


November 26, 2017 7:09 am

අයිසිකී‍්‍රම්, දරු පැටව් හා දරු පවුල්.

යාපනය බලා යන බොහෝ දෙනෙකුගේ එක් නවාතැනක් වන්නේ නල්ලූර් කෝවිල අසල රියෝ අයිස්කී‍්‍රම් වෙලඳ සැලය. ළමා ලපටි පමණක් නොව වැඩිහිටියෝද විවිධ රසයෙන් ප‍්‍රමාණයෙන් මිලෙන් යුතු රියෝ අයිස්ක‍්‍රීම් රස විඳින්නේ යාපනයේ ගමනේ මිහිරි මතකයක් හදට තුරුළු කරගනිමිනි.
ළමා ලෝකය හා අයිස්ක‍්‍රීම් අතර ඇත්තේ පුදුමාකාර බැඳීමකි. අයිස්ක‍්‍රීම් තරම් ඔවුන් ඇළුම් කරන වෙන දෙයක් නැති තරම්ය. තම නොදරුවන් මරණය කරා ගෙනයාමට අයිස්ක‍්‍රීම්වලට වස දමා කන්නට දෙන්නට මවක පෙළඹෙන්නේ නම් ඉන් අපට කියන්නේ කුමන බැරැරුම් ඛේදවාචකයක්ද ?
jesustodaysl වෙබ් අඩවිය ලෙස අප මීට ඉහත කීප අවස්ථාවකදීම මතු කළ කාරණයක් වූයේ යාපනයේ වැන්දඹු මව්වරුන් ණය ගෙවාගත නොහැකිව දිවි නගා ගැනීම් ඉහළ යමින් තිබෙන බවයි. එවා තනිකරම මේ ක‍්‍රමය විසින් සිදු කරන මිනිස් ඝාතන බවයි.
ඊනියා යුද්ධයේ නිමාවත් සමඟ ප‍්‍රථමයෙන් උතුරට රිංගුවේ ණය දෙන සමාගම් හා ආයතනයි. 90 000 ක් පමණ වන උතුරේ වැන්දඹුවන් ණය උගුලකට හසු කළේ ඔව්හුය. එතැනට ඔවුන් පත්වන්නට ඉඩ හැරීයේ ණය උගුලේ රටම පටලැවු ආන්ඩුවයි.
යාපනයේ අරියාලේ පදිංචි සිටි කේ. සුනේත‍්‍රා නම් 28 හැවිරිදි මව පිළිවෙලින් වයස අවුරුදු 1, අවුරුදු 2 හා අවුරුදු 4 දරුවන් තිදෙනාට වස මුසු කළ අයිස්ක‍්‍රීම් කවා තමාත් අනුභව කර මරු තුරුලට ගියේ ණය තුරුස් මත ඇති වු ප‍්‍රශ්න නිසාවෙනි.
ඊට මාස කීපයකට පෙර ඇගේ සැමියාද ණය ප‍්‍රශ්න මතම වස බී දිවි සනාගෙන තිබුණි. සැමියාගේ වියෝවින් පසු දරුවන් හදාවඩා ගෙන දිවි ගෙවන්නට ඇ ගත් උත්සහය අකාරුනික ලෝකයා හමු වේ මේ තරම් ඛේදනීය ලෙස අත්හැර දැමීම ප‍්‍රශ්න කරන්නේ මේ රටේ ඇතැයි කියන ආගමික බවේ නිරුවතයි.
ඊනියා යුධ ජයග‍්‍රහණයට පසු උතුරේ කෝවිල්, පල්ලි, පන්සල් විරාජ මානව ඉහළින් ඉහළට ඉඳි වු තරමට ජන ජිවිතය ගොඩනැගීම ආගමිකභාවය සේ දකින්නට හැකි කමක් මේ රටට නොතිබුණි. දකුනේද තත්වය එයයි.

මඩු මෑණියන්ට කරන ගෞරවයක් ලෙස ණය බරින් මීරිකෙත මවකට නිදහස දෙන්නට සිතන කිතුනුවන් නොමැතිකමද ඒ අන්ධ ආගමික බවේම කොටසකි. පහත දැක්වෙන්නේ මේ සිදුවීම අළලා තරුණ සිසුවියක ලියු සටහනකි.
කටුපොකුරු සිපගනිමු හෙට මලක් වනු පිණිස  යනුවෙන් ‍රත්නශ්‍රීයන් ලියා තැබුවේ ජීවිතය අතනොහැර ඔබ සහ මම ඉදිරියට යා යුතුම වන්නේ අද කටුක වූ ජීවිතය හෙට මලක් සේ විකසිත වියහැකි නිසා බව අපට සිහිකිරීමටය. මිනිසකු මියයන්නේ ඔහු සිහින දැකීම අවසන් කෙරූ දිනයේ බව ලොව දිනූවන් අපට පවසයි. යාපනය අර්ධද්වීපයත් මුළු මහත් රටත් හඬවමින් සුනේත්‍රාදේවී ඇගේ පුංචි දරුතිදෙනාත් රැගෙන අවසන් ගමන් ගියේ ජීවිතය පිළිබඳවා ඇය සතුව තිබූ සිහින තවදුරටත් වලංගු නොවූ නිසාය.
තම ස්වාමිපුරුෂයා ජීවිත අරගලය හමුවේ පරාජය බාරගෙන නික්මගිය පසුත් තම දරුවන් තිදෙනා සමඟ සටනට ආ ඇය මාසකිහිපයකින් සටන අතහැර පලායන්නේ රටක් ලෙස කයිවාරු ගසන අප තවමත් බොහෝ අංශවලින් අසමත්බව තහවුරු කරමිනි. ජාත්‍යන්තරය දිනන්නට පිඹුරුපත් සකසන අපට මුලුමහත් පවුලක් මළවුන් තුරුලට යනතෙක්ම අපේම රාජකාරි වල සිර වී අපේම සිහින ගොඩනගන්නට වීම කදුලු කතාන්දරයකි. මෙය උතුරේත් දකුණේත් පොදු කතාන්දරයයි. අසල්වැසියා මරුතුරුලට යනතෙක් මුලුමහත් පද්ධතියද එහි කොටස්කරුවන් වන අපද නිහඬව පසුවූ අතර ඔවුන් මියගිය පසු ඔවුන්ට ජීවත්විය හැකිව තිබුණා නොවේදැයි අසන්නට අපට ඇති අයිතිය කුමක්ද යන්නට අපි අපෙන්ම අසා ගත යුතු කාලයකට අපි පියමනිමින් සිටිමු.
දකුණේ අපට යාපනයේ අයිස්ක්‍රීම් තවදුරටත් රසවත් අත්දැකීමක් නොවනු ඇත. නල්ලූර් කෝවිල පසුකොට රියෝවට ඇදෙන සැමවිටකම පුංචිදරුවන් තිදෙනාත් සමඟම මරුතුරුලට ගිය සුනේත්‍රා අපගේ සිත්වලට කතා කරන දිනයක් එනතෙක් රියෝව සහ නල්ලූර් කෝවිලද සුනේත්‍රාදේවි වෙනුවෙන් වැළපෙනු ඇත. යුක්තිය එනතෙක් තවත් සුනේත්‍රලා අයිස්ක්‍රීම් සොයා ඇවිද යනු ඇත.
ෂෙනූ පෙරේරා
jesustodaysl 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696