‘‘සුළඟට අවනතව’’


November 19, 2017 5:51 am

මනුෂ්‍යත්වය සමඟ මුසු වු
කිතුනු ලකුණ රාව නඟන
‘‘සුළඟට අවනතව’’

තරංගනි රෙසිකා ප‍්‍රනාන්දු (තරුරසි) ගේ කුළුදුල කාව්‍ය සංග‍්‍රහය වූ ‘තරු ඇස් රහස්’ පෙර වදනේ සිංහල කවියේ නව ශානරයක් ලෙස හඳුනා ගත හැකි කිතු දහමේ විමුක්ති හරය විශාද කරන සාහිත්‍යය ගැන ලියමින් අපි මෙසේ සඳහන් කළේමු.
’‘කිතු සමයේ විමුක්ති හරය විශාද කරන සාහිත්‍යය ශානරය සිංහල කවිය හරයා පොදු සාහිත්‍ය සමාජයට රැුගෙන ආවේ මංජුල වෙඩි වර්ධන කවියාය. එය එතෙක් පැවැතියේ චූල සම්ප‍්‍රදාය තුළ සිරගතවය. කිතුනුවන්ගේ වචන වලින් ම කිවහොත් බඳුනකින් වැසු පහනක් ලෙසය. එය පහන් රුක මත තැබුවේ මංජුල යි’’
අපගේ එම නිරීක්ෂණය තව දුරටත් සනාථ කරමින් මංජුල වෙඩි වර්ධනගේ අලූත්ම කාව්‍ය සංග‍්‍රහය රසික සමුහයා අතරට පැමිණි තිබේ. ඒ ‘‘සුළඟට අවනතව’’ යි.
‘‘සුළඟට අවනතව’ ඔහුගේ හත්වන කාව්‍ය සංග‍්‍රහයයි. ජීවිතයේ විවිධ පැතිමාන සංස්පර්ශ කරන කවි 38 ක් එහි සංගෘහිතව ඇත.
අපගේ මේ කෙටි ලිපියේ අරමුණ ‘සුළඟට අවනතව’ විචාරයට ලක් කිරීම නොවේ. ඒ තුළ ගැබ්ව ඇති කිතුනු ලකුණ ගැන යම් සටහනක් තැබීමයි.
? අහසේ දිස්වන තරු පංතින් කෙරෙහි වඩාත්ම අවධානයෙන් සිටින ප‍්‍රජාව වන්නේ ධීවර ජනතාව යැයි කීවොත් එය අතිශයොක්තියක් නොවේ. නවීන යන්ත‍්‍ර උපකරන සහිත වර්ථමානයටත් වඩා නුදුරු අතීතයේ පවා ධීවරයෝ රාත‍්‍රීයේ පාර අසා ගන්නේ තරු පන්තින්ගෙනි. තාරකා විද්‍යාඥයින්ටත්වඩා ඔව් හු තරු පිරි අහසට පෙම් කළෝය.
’නඟුල’ ලෙස සාමාන්‍යයෙන් හඳුන්වන තරු පංතිය කිතුනු ධීවර ප‍්‍රජාව හඳුන්වන්නේ ‘‘කොන්ත තරුව’ හෙවත් ‘කුරුස තරුව’ යනුවෙනි. මංජුල ඔහුගේම බත්තලංගුණ්ඩුව නව කතාවේ එන ධීවරයෙකුගේ කතාබහක් නිමිත්ත කරගෙන කොන්ත තරුවට නම් කවිය පබැද ඇත.
 ඕකට කුරුස තරුව කියලත් කියනවා. දැල ඇදලා වියර වෙලා  ඕකට තියාගත්තම කෙලින්ම දූපතේ
-බත්තලංගුණ්ඩුව-
කොන්ත තරුවට
කොන්ත තරුවට ඇහැකි සංසාරේ එළි බිඳෙක තවරන්න
අන්ද අඳුරට ඇහැකි කන්තාරුවක් දෙතොල මතුරන්න
නින්ද බිඳගත් රැුයට ඔරසමක ඉවසීම අතුරන්න
චණ්ඩ සුළඟට වුණත් සන්සුන්කමෙහි අරුත විඳගන්න

හිත රිදුණ වලාකුළකුදු පවා දැක ගන්න බැරි අහසේ
පරමණ්ඩලේ කොහොම පින්තාරු කරගන්නවද දෙනෙතෙ
බෙන්තිඤ්ඤෙ වදිනතුරු හෑරිලා පතුරු ගැළවුණු පපුවේ
නිච්චියට දකින්නෙමි පින්තූරයක් වගේ දුටු සිහිනේ

ඔබට මට ඇහැකි එහෙ මෙහෙ යන්න  ඕනේ නම් යළි එන්න
අකමැතිම අකුරු අරගෙන කවක හදබසට රිදවන්න
කැමති නම් රළ බිදෙන රිද්මයෙන් පපුව පුරවන් ඉන්න
පිය ලකුණු මැකෙන බව දැන දැන ම වෙරළකදි හමුවන්න

කවිය පුරාම අප හිත පාරවන වේදනාවක් තිබේ. හමු නොවීමේ හුදකලා බවේ වේදනාව එහි ගැබ් වී තිබෙ. එක්ව සිටින්නට නොහැකි බව දන්නේනමුදු හමුවීමේ වුවමනාව හද තුළ තිබේ. ‘‘පිය ලකුණු මැකෙන බව දැන දැනම වෙරළකදි හමුවන්න’’ මෙහිදි කථකයාගේ හෘදය සමඟ ගැඹුරින් එක්වීමට නම් රසිකයා කිතුනු ජනදිවියේ කිතුනු සංස්කෘතියේ අප ඉහතින් තද අතුරුත් අවධාරිකත වඳන් වල තේරුම දැන සිටිය යුතුය. කථකයා මේ හුදකලාව  විඳගන්නේ ඔහුගේ ආගමික චින්තාවන් සමඟ මුසුවෙමිනි.
‘‘අන්ධ අඳුරට අහාකි කාන්තරුවක්
දෙතොල මුමුණන්න.
නින්ද බිඳගත් රැුයට ඔරසමක
ඉවසීම අතුරුන්න’’
හුදකලා රැුයක ඔහු සිත දවන මතකයට සැනසුමක් අවැසිය. කාන්තරු ගීතිකාවක්, සිත සනහන යැදුමක් හෙවත් ඔරසමක් මොහොතකට හෝ සැනසුමකි.
‘‘පරමණ්ඩලේ කොහොම පින්තාරු
කරගන්නවද දෙනෙතේ’’
‘‘බෙන්තිඤ්ඥ වදින තුරු
හැරිලා පතුරු ගැලවුණු පපුවේ’’
‘පරමණ්ඩලේ’ යනු ස්වර්ග රාජ්‍යයි. ස්වර්ගීය සැනසීම කොහොමද දෙනෙතින් දකින්නේ ? ‘බෙන්තිඤ්ඤ’ යනු කිතුනු දරුවන්ට බොහෝ විට ඔවුන් පළමුවරට දිව්‍ය සත්ප‍්‍රසාදය ලබන දින පළවන කර පළදනවාකි. නූලකින් සෑදු විශේෂ ආගමික සංඛේත ඇති මාලයක් වැනි දෙයකි. බෙන්තිඤ්ඤ ඇති ආගමික සංඛේත හරියටම පපුවට වැටෙන සේ එය පළඳියි. එය පැළදීමෙන් විශේෂ ආරක්ෂාවක් ලැබෙන බව ඔව් හු විශ්වාස කරති. බෙන්තිඤ්ඤ පපුවේ වදින වදින වාරයක් පාසා ජීවිතයට දෙවියන් තුළ මුහුණ දීමේ ශක්තිය කිතුනුවෝ වගා කර ගනිති. වර්ථමාන පරපුර තුළ මේ බෙන්තිඤ්ඤ පැළදීම එතරම් දැකිය නොහැකි වූවත් පෙර පරපුර එය භක්තියෙන් ඉටු කළෝය.
මංජුලගේ කවි වල කිතුනු ලකුණ බොහෝ වට සටහන් වන්නේ ‘මව’ ආච්චි’ ‘ලොකු අම්ම්ා’ වැනි චරිත සමඟයි. ස්වාමියාගේ මරණයෙන් පසු දරු පවුලක බර දරාගෙන ජීවන වියදමත් අහස උසට නඟින ආර්ථිකයක් තුළ වැන්දඹුවක විඳින අපමණ පිරිපත අගයන බහුතරය ඒ ගැහැණිය තුළ ඇති පේ‍්‍රමනීය හැඟුම් ගැන සුසංවේදි නොවේ. ‘අම්මාගේ පේ‍්‍රමය’ පුතෙකුගේ සුසංවේදි හදවත ගැඹුරින් සිත්තම් කරයි.
තාත්තාගේ වියොවෙන් හත් වසකට පසු තම මවට පේ‍්‍රමයක් මූණගැසි ඇත. පුතු ඒ දෙස බලන මානුෂිකවාදි බැල්ම කවිය තුළ අපුරුවට ලියවේ.
කිතුනුවන් මළවුන් සමරන නොවැම්බර් පළමු වෙනිදා මේ අලූත් ආදරය විඳින ගැහැණිය ඇගේ පළමු සැමියාගේ මිනිවල පිරිසිදු කර ඒ මත ඉටිපහන් දල්වන්න පැමිණේ. පුතු ද ඇය හා එතැනය. ඇය පළමු සැමියාට ද්‍රෝහි වු පව්කාර ස්තී‍්‍රය යැයි පුතු නොසිතයි. කයි කතන්දර හදන්නට දත කට මැදගත් භත්තිවන්ත ස්තී‍්‍රන් නැති සොහොන් කොත්වල කුරුස පමණක් ඇති සූසානය තුළ හදවත නෙතින් මුදවා හැරිය හැක.

මංජුල මෙහිදි භාවිතා කරන
‘‘චතාරික දොර පියන්‘‘
‘රතු මුහුද රළ නැගු’
‘උණු වතුර කේතලේ කාන්තාරු කිය කයා’’
‘ස්වර්ගීය පණිවුඩය’’
‘මළවුන්ට කැපවෙච්චි ඒ දිනේ’
‘හාත්පස කුරුසි මිස’
‘සාන්තාන ඔරසමේ’ වැනි වදන් නිසි අරුතින් ග‍්‍රහණය කර ගැනීමට රසික සද් ජනයා කිතුනු සංස්කෘතිය ගැන ප‍්‍රමාණික අවබෝධයක් ලබා තිබිය යුතුය.
‘දාවිත්’ නමින් ඔහු පබදින කවිය අරඹයාද අප ඉහත දැක් වු අදහස අදාල වේ. ඒ කවිය වනාහි ලාංකේය ඉතිහාසයේ දරුණු කළු පැල්ලමක් නිමිති කොටගෙන පැබැදුනකි. කවිය කවිටය පසු සටහනක් ලියමින් ඒ නිමිත්ත විස්තර කර ඇත. පසු සටහන කියවා නැවත කවිය කියවීම එහි රස අරුත විඳිමට අවැසිමය. පසු සටහන තුළ ශූද්ධ වු බයිබලයේ එන දාවිත් ගැන අංශූ මාත‍්‍රයක් සටහන් වුයේ නම් මැනවියි හැෙඟ් ‘දාවිත් නැමැති කුඩා ගොපලූ කොළුවා කැට පොලකින් විඳ ගෝලයක් නැමැති මහා යෝධයා පරාජය කරයි. පසුව දාවිත් ඊශ‍්‍රායෙල් වංශයේ විශිෂ්ඨ රජෙකු බවට පත් වේ. බයිබලයේ එන ගීතාවලිය ඔහුගේ කර්තෘත්වයට කැපකර ඇත.
පසු සටහන පෙරට ගෙන එම කවිය මෙම ලියමන මත රදවමි.
ආචාර්ය හයිසින්ත් සිංගාර්යර් දාවිත් පියතුමා යාපනයෙන් බිහි වු භාෂා පඬිවරයෙකි. ‘ඉන්දු ආර්ය භාෂා’ සහ පොදුවේ ‘භාෂා නිරුක්තිය’ පිළිබඳ සුවිශේෂම ප‍්‍රාමාණීකයා වු ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛණ්ඩව යාපනය පොත්ගුල කේන්ද්‍ර කරගනිමින් භාසා ශාස්ත‍්‍ර අධ්‍යනයන්හි යෙදුණේය. 1947-1951 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත‍්‍රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරුණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම කටයුතු කළේ තමන් ද ආදි ශිෂ්‍යයෙක් වු යාපනය සාන්ත පැටි‍්‍රක් විදුහලේය. යාපනය පුස්තකාලය එ අසල තිබීම ඔහුගේ අඛණ්ඩ භාෂා අධ්‍යයන්යට මහත් පහසුවක් සහ පිටිවහලක් විය.
1981 මැයි 31 වැනිදා රාත‍්‍රියේ. දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත‍්‍රණය විසින් යාපනයේ කීර්තිමක් පුස්තකාලය, එහි තුළ වු අනු දහසකට අධික පතපොත, අත්පිටපත්, පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත් වු ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත‍්‍රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ.
දාවිත්
‘‘සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන්වහන්සේ ඝාතනය කළහ. ’’
                                                          එම්. ඒ. නුහුමාන්
මිකැලාංජලෝ මැවු කිරි ගරුඬ රුව දිටිමි දාවිත්
කැටපෝලේ ළෙලවාන ගෝලයාත් බිම දැමු දාවිත්
ගීතාවලිය පුරා වේදනා කවි ලියු දාවිත්
නුහුමානුවන් ලියු කවිය ළඟ ඔබ සොයමි දාවිත්

බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත්
ඉන්දු නිම්නය දිගේ යාපනට ආවාද දාවිත්
යාපනය මොන තරම් වරනැගෙන කඳුළක්ද දාවිත්
ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත්

නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු
යාපනේ පොත්ගුලේ වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු
අලි ඇත්තු අතර උන් ‘අතිමහත් බහුරතය’ වැදගත්තු
සැඟවිලයි ඉන්නැත්තේ පිස්තෝල කරකවන බැතිමත්තු

බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන ? විත්
මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත්
පොත් ගුලට ඇතුළුවන ඒ පියගැටපෙළ ළඟට නෑවිත්
නිදි කුටියේ කවුළු දොර විඳි තැවුල විඳ ගනිමි දාවිත්

ලේ විලක් මැද තිබුණ සම්බද්ධ ඒ නිමල බඳ
ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද
තුඟු සිරුර සඟවලා පොත්වලින් විතකයක් බැඳ
ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගේ හද

නිසලවුණු හද පතුළ සඟවාගෙන එළි නොදුටු ශාස්ත‍්‍රය
හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත‍්‍රය
ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත‍්‍රය
අපට නම් තවම ඔබ ඇස් පියු එ පොසොන් රාත‍්‍රිය

එච්. ඒ. නුහුමාන් කවියා යාපනය පුස්තකාලය ගිනි තැබීම බුදුන් වහන්සේව ඝාතනය කිරීමක් ලෙස පෙන්වා දෙමින් ලියු කවියක කුඩා කොටසක් කවියේ පෙර වදන ලෙස මංජුල යොදාගනි.
දාවිත් හුදු කවියක් නොවි මෙනෙහි කළ යුතු ඉතිහාසයක් වෙත රසිකයාව කැඳවයි. ‘දාවිත්’ ගැන කිතුනු ලකුණ ඇසුරින් ඒ ඉතිහාසය කියවන අතරම නුහුමාන්ගේ කවිය ද කියවා සැබෑ බුදු නෙතින් ඉතිහාසය කියවීමටද පොළඹවයි.
‘පේ‍්‍රමයේ’ නන් පැහැ හෙවත් ඒ කළු සුදු වෙඩින් ෆොටෝ එක’’ කෙටි කවියක් තරම් දිගු මාතෘකාවක් යටතේ ‘සංගෘහිත කවියට පෙර වදන් සපයන උපුටනය කෙලින්ම ශුද්ධ වු බයිබලයේ හිතෝපදේශයෙනි. අප ඉහත කී පරිදිම මංජුලගේ කවිය තුළ කිතුනු ලකුණු උස්ව නැගෙන්නේ ඔහු තම නෑදැකම් මත පිහිටා ප‍්‍රතිනිර්මාණය කරන කවි වලදීය. මෙය තම මව හා පියාගේ මංගල ඡුායාරූපය නිමිති කොටගෙන ලියැවුනකි.
පියාගෙන් ලැබෙන මඟ පෙන්වීම් හා නික්මවීම් පිළිගන්න. මවගේ උපදෙස්වලට පිටු නොපාන්න. ඒවා ඔබෙ හිසට අලංකාර ඔවුන්නක් මෙන්ද එබේ ගෙල පළදනා අනර්ඝ මාලයක් මෙන්ද වන්නේය. (හිතෝපදේශ 1:8-9*
පේ‍්‍රමයේ නන් පැහැ හෙවත් ඒ කළු-සුදු වෙඩින් ෆොටෝ එක
‘‘ඒ අම්මාගේ ද තාත්තාගේ ද ආදරය වෙනුවෙනි’’
පොසොන් සඳ බැතිබරව
ළයෙහි අත තබාගෙන
කල්වාරි කන්ද මත නවතී
ඔරසමක මුදු සරින්
මිදෙන්නට බැරි සිහින
ගැළවුමෙහි හද මඬල නමදි
අතින් අත පටලාන
පසන් ගී ස්වර මැදින්
පෙදෙන් ගුණයන් නිලන
ඉතින් ඒ ආදරය
සංසාරේ ඇති තුරා පවතී
ස්නේහයේ පැහැ විසුළ
ඇන්තූරියම් පොකුර
අත දැරු හීන්දැරි යුවතී
මුහුලසේ ලැඟුම්ගෙන
මඳහසට හිස නමන
සුදු සිලිටි ඉද්ද මල් දමෙකි
ස්වර්ගයෙන් ලැබිලාද
මේ සොඳුරු වේල්පට
සැහැල්ලූවේ පතුළෙහිම කිමිදි
සන්සුනව වර නඟන
පැහැසර ම කැල්ම ළඟ
සංවේග සන්තාප පරදි

යවුවනය නිනද වන
ඔය නිමල ඇස් අතර
සනාතන යවුවනය දකිමි
අකුරු බොඳ වී නොගිය
ස්වර්ගීය ගිවිසුමෙක
සොඳුරුතම දෙපොළ බව හඟිමි
සාංසාර කැඳවුමෙක
අවිහිංසක ම ඉමෙක
අසෙනිය කුසුම් පොකුරු ඉසිමී
ගැඹුරුතර ජීවිතය
සරල බව මේ තරම්ම
කියාදුන් පෙමට හිස නමමි

මේ කවියෙහි එන ‘කල්වාරි කන්ද’ ‘ඔරසමක’ ‘ගැළවුමකි’ ‘පසන් ගී ස්වර’ ‘ස්වර්ගීය ගිවිසුමක’ ආදි යෙදුම් අතර කිතුනු චින්තාවේ කිසි ලෙසකවත් නොමැති ‘සංසාරේ ඇති තුරු පවතී’ වැනි යෙදුමද අපට හමුවේ. විවිධ ආගමික සංස්කෘතින් අතර දිවිගෙවන මිනිස් හදක් තුළ පරස්පර යැයි හැඟවන සංකල්ප රූප කිසිදු පරස්පරයක් නැතිව සාන්තාන ගතවීම නම් සීමා මායිම් වලට කොටු කල නොහැකි මනුෂ්‍යත්වය පෙන්වන කදීම නිදර්ශකයකි. ඒ බව පෙන්වන  අපුරු යෙදුමක් මේ කවිය තුල හමුවේ.
‘‘සංසාර කැඳවුමක’ ‘සංසාරය’ යන බොදුනු සංකල්පය සමඟ ‘කැඳවීම’ යන කිතුනු සංකල්පය මුසුවු මෙම යෙදුම එකි සංකල්පනා දෙකම ගැඹුරට ගෙනයයි. සංසාරික පේ‍්‍රමය හෙවත් භවයෙන් භවය පතාගෙන ආ පේ‍්‍රමය නැමැති සංකල්පයෙන් අරුත් ගන්වන දෙහදක බැදීමේ සදාතන බව දෙවියන් වහ්නසේ ලෝකය ආරම්භයේ සිටම තෝරාගත් දෙදෙනා යන සංකල්පය තුළ පවතී. ‘සංසාර කැඳවුමක’ යන යෙදුම කොයිතරම් අරුත් බර සුසංයෝගයක්ද ?
මේ ප‍්‍රසංයෝගය අපට පෙන්වා දෙන තවත් කවියක් මේ පොත තුළ හමු වේ. එය නම් කොට ඇත්තේ ‘ඇසතු ගහ යට මරියනි’ යනුවෙනි. ඇසතු බෝ ගහක් යට මරියාවන් හමු වේ. මරියාවන් යනු කුරුස ගහ පාමුල පාලකයින් හා පූජකයින් විසින් ඇණ ගසා මරා දැමු තම පුත් ජේසුගේ නිසල සිරුර උකුලට ගත් ඒ උදාර දිරිය මාතාවයි.
ඇසතු ගහ යට මරියනි
ඇසග පිපිරුණු මරියනි
සකල අවි මැද දිරියෙනි
ඇසතු ගහ යට මරියනි

පුත් කුමරු ඔය උකුළත
ඇත්තටම සැතපෙනවද
නෙත් අරින්නට බැරුවද
සිත් සතන් නැති හෙටකට

මියුණු ගසකට හැකිවෙද
නගනු බෝපත් වෙණ නද
බිඳුණු සුරුවම විනිවද
බොදුනු හදවත පෙනුණිද ?

කුරුස ගසකින් බැස එන
ඇසතු ගස යට කැළඹෙන
එකම පපුවක කැළතෙන
සුසුම කොතැනක නවතින ?

අප ‘කිතුනු ලකුණ’ ඇති කවි මැයෙන් කරනා හැදින්වීම් රස විඳිම් කිසි ලෙසකත් පටු ආගම්වාදි ලිවිමක් යැයි නොසිතිය යුතුය. අප ජීවත්වන බහු සංස්කෘතික ලෝකය තුළ සැබෑ සහජීවනයක් මා තුළ ජිවිතය විදින්නට, යහපත් ජීවිතයක් ලෝකයක් නිර්මාණය කර ගැනීමට අවැසි පොොහසත් සංස්කෘතික මිනිසා නිර්මාණය කර ගැනීමට අවැසි කියවීමක් උදෙසා කරන මැදිහත්වීමක් බව ද මේ කෙටි සටහන නිමාේදි කිව යුතුය.
මහින්ද නාමල්


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696