සාමාන්‍ය සමයේ 18වන ඉරුදින


August 4, 2017 10:50 pm

ඉරුදින සුපුවත

ලැග ඉන්නට නොව බැස යන්නට

සියල්ලෝ ගැලවෙන යුගයක්

අද පළමු වන කියවීම දානියල් දිවැසිවරයාගේ පොතෙනි. දානියෙල් දිවැසි වැකි පවසන්නේ තම ජනතාව විදෙස් රජෙකු යටතේ දුක් විදින කාලයකදිය. ඔහු තුලින් දෙවිදුන් පවසන්නේ ගැලවීමේ යුගයක උදාව ගැනයි.
නව යුගය යනු දේව පාලනයක් සහිත යුගයක උදාවකි. දේශිය වේවා විදේශිය වේවා රජෙකුට රාජ්‍යය බලය, මහිමය හිමි නොවන දෙවිදුන්ටම රාජ්‍යය බලය මහිමය හිමි වන යුගයකි.
දානියල්ගේ දර්ශනය පවසන්නේ ගැලවීම සියල්ලන් උදෙසා බවයි. සියල්ලෝ ගැලවෙන යුගයක් ගැනයි.
‘සියලූ ජනයෝද ජාතින්ද, භාෂාවන්ද උන්වහන්සේට සේවය කරන පිණිස පාලන බලයද ගෞරවයද රාජ්‍යයද උන්වහන්සේට දෙන ලදී.’’
අපි මෙනෙහි කළ යුත්තේ දිව්‍ය පූජාවෙදි ‘‘රාජ්‍යයද බලයද මහිමයද සදහටම ඔබ වහන්සෙගේ’’ යැයි කියමින් අප මේ ලෝකයේ පවතින රාජ්‍යයට බලයට සේවය කිරිම කොයිතරම් දේව අපහාසයක්ද යන්නයි. මේ ලෝකයේ රජවරුන් බලවතුන් මහිමයට පත් කිරීමට සිතින් වචනයෙන් ක‍්‍රියාවෙන් වෙහෙසෙන අපි රාජ්‍යයද බලයද මහිමයද සඳහටම ඔබ වහන්සෙගේ යැයි කීවාට එය එසේ සිදු නොවන බව මෙනෙහි කරමු.

අත්දුටු සාක්ෂිකරුවෙක් වෙන්න.

පේදුරු තුමා පවසන්නේ ක‍්‍රිස්තුස්වහන්සෙගේ අන්‍යරූප විලාශයට තමන් ඇසින් දුටු සාක්ෂිකරුවෙකු බවයි.
එපමණක් නොවේ. තමා ‘‘මේ මාගේ පේ‍්‍රමවන්න පුත‍්‍රයාණෝය’’ යන හඬ කනින් ඇසු සාක්ෂිකරුවෙකු බවයි.
පේදුරු තුමා පවසන්නේ පුත‍්‍රභාවයේ මහිමය සැබැ ලෙස ඇත්තේ තබොර් කන්ද මත නොව කපාල කන්ද මත බවට තමා සාක්ෂිකරුවෙකු වන බවයි. උත්ථානයේ මහිමය කපාල හෙල මත සිදු නොවුවේ නම් රූප විපර්යාස කඳු මුදුනට අරුතක් නැති බවයි.
අප අත්දුටු සාක්ෂිකරුවන් විය යුත්තේ කන්දෙන් බැස ගිය කුරුස ගමනටය.

ලගින්නට නොව යවන්නට

සමදර්ශක සුවිශේෂකවරු වාර්තා කරන රූප විපර්යාසය තුල අප යොමු විය යුත්තේ ජේසු වෙත නොව ශ‍්‍රාවක අපි වෙතය.
ශ‍්‍රාවකයාගේ ප‍්‍රතිචාරය කුමක්ද ?
’‘ස්වාමිනි අපට මෙහි සිටින්නට ලැබීම වාසනාවකි. ඔබ කැමැති සේක් නම් මණ්ඩප තුනක් සාදන්නෙමි’’
ස්වාමින් වහන්සෙගේ කැමැත්ත කඳු මුදුනේ මණ්ඩප සෑදීම නොවේ. ජනතාව අතර කූඩාරම් ගැසීමය. මාංශගත වීමය.
අපිත් මණ්ඩප, මාළිගා, පුණ්‍ය භූමි, වන්දනා භූමි වල නිතර සිටින්නට කැමැත්තෙමු. ඒත් ස්වාමින් වහන්සේගේ කැමැත්ත එය නොවේ. ජනතාව අතර ජීවත්ව ජනතාව තුල ස්වාමින් වහන්සේව මහිමයට පත් කිරීමය.
මෙම සිදුවීම තුල දේව තාත්තා ශ‍්‍රාවකයින්ට කියන්නේ කුමක්ද ?
‘‘මොහුට සවන් දෙන්න’’ අපි සමිදුන්ට සවන් දෙනවාද ? අස අසාත් නොඅසා සිටින්නෝ නොවෙමුද ?
සමිදුන්ට සවන් දී කන්දෙන් බැස ජනතාව අතරට ගිය අය පමණක් ස්වාමින්වහන්සේව මහිමයට පත් කර ඇත. එකි සුබවාදි සත්‍ය අයිති කරගනු සඳහා ලගිනු වෙනුවට යන්නට තීරණයක් ගමු. පේදුරුට අවැසි වූයේ ලැග සිටීමය. දේව කැමැත්ත වූයේ බැස යාමය.

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696