සාමාන්‍ය සමයේ හයවන ඉරුදින


February 10, 2018 1:45 pm

ඉරුදින සුපුවත

“යහපත කර දෙවිදුන් මහිමයට පත් කරමු”

ලෙවි             13 : 1-3, 44-46
ශු. මාක්           1 : 40-45
1 කොරින්ති 10 : 31, 11 : 1

පොදු යහපත උදෙසා
* නික්මයාම නම් වූ දුෂ්කර ගමන මිනිසුන්ගේ ගමනකි. උපත්, මරණ, ලෙඩ දුක්, අව්ව වැස්ස, සීතල කුසගින්න පිපාසය මේ සරණාගත ගමන තුළ මිනිසුන්ගේ පොදු අත්දැකිම විය.
* ලාදුරු රෝගියෙකු, බෝවෙන රෝගියෙකු සමූහය අතර සිටීම තුළින් අන් අයට සිදුවන බලපෑම වළක්වා ගැනීම ලෙවි ව්‍යවස්ථාව පනවන නියමයේ අරුත බව පැහැදිලිය.
* බැලූ බැල්මට පෙනී යන්නේ මෙය අමානුෂික නීතියක් බවයි. එහෙත් පැවැති යථාර්ථය තුල එය අප තේරුම්ගත යුතුය.
* පොදු යහපත පිණිස රෝගියා වෙන් කිරීම හැරුනු විට පුද පූජා වලදි ඔහු අපවිත‍්‍ර සේ සැලකීම නම් ‘ශුද්ධවන්තභාවය’ පිළිබඳ පූජක කේන්ද්‍රීයවුද යල්පැන ගියාවුද අදහසකි.

දේව කැමැත්ත පවිත‍්‍ර බවයි.

* ජේසු තුමන් විසින් ලාදුරු රෝගියෙකු සුවපත් කිරිමේ සිදුවීම පළමු කියවීමේ පසුබිමද සැලකිල්ලට ගෙන තේරුම්ගත යුතුය.
* පැහැදිලි ලෙසම ජේසු තුමා සුවය, පවිත‍්‍රභාවය, දුක් පීඩා වලින් මිදීම සමිදු අභිමතය බව පෙන්වා දෙයි.
* නව ගිවිසුමේ ‘මහ පූජකයා’ වන ජේසු තුමන් ”මම කැමැත්තෙමි සුවපත් වන්න” යනුවෙන් ප‍්‍රකාශ කිරීම සමිදු අභිමතය සෘජුව ප‍්‍රකාශ කිරීමකි.
* ලාදුරු රෝගියා තුළින්ද ප‍්‍රකාශ වන ගැඹුරක් තිබේ. එනම් දේව කැමැත්තට නතු වීමයි. ඔහු ඉල්ලා සිටින්නේ කුමක්ද ”ඔබ කැමැති සේක් නම් මා පවිත‍්‍ර කරන්න”
* පැරනි ගිවිසුමේ අපවිත‍්‍ර බව පිළිබඳ සම්ප‍්‍රදාය එහි ගැබ්ව තිබේ. පවිත‍්‍ර අපවිත‍්‍ර බව තීරණය කරන පූජකයා ඉදිරියේ පෙනී සිටින්නැයි ජේසු තුමා පවසන්නේ සමාජ සම්මතය තුළින්ද ඔහුව නිදහස් කිරීමටයි.
* අද අපි ජේසු තුළ වු ආකල්පයෙන් මිනිසුන් දෙස බලනවාද ? අපවිත‍්‍ර, නරක ආදි ලේබල්වලට ආචිර්ණ කල්පිත මිනුම් දඬු වලට ගැතිව මිනිසුන් දෙස බලනවාද ? දෙවියන්ගේ කැමැත්ත අනුව දේවල් ඉල්ලා සිටිනවාද ? අපේ කැමැත්තම ඉටු කරන්නැයි කියනවාද ?

සියල්ල දෙවියන් උදෙසා කරමු.

* පාවුළු තුමා කොරින්තිවරුන්ට පවසන්නේ සියල්ල දෙවියන්ගේ මහිමය උදෙසා ඉටුකරන ලෙසයි.
* වත් පිළිවෙත්, පුද පූජා පමණක් නොවේ. කෑම, බීම, ඇඳීම පැළදීම ආදි සියල්ල දෙවියන්ගේ කැමැත්තට අනුකූලව සිදු කිරීම කිතුනු ජිවිතයයි.
* එහිදි අපගේ අවධානය යොමු විය යුත්තේ ”බොහෝ දෙනාගේ ගැලවීමයි” පැරනි ගිවිසුම තුල රෝගියා වෙන් කළේද ඒ පදනම මතයි.
* අපි අඳින්නේ දෙවියන් කැමැති විදිහටද ? අපි කන්නේ දෙවියන් කැමැති විදිහදට ? අපේ ජීවිත රටාව තුළින් අපි දෙවියන් සතුටු කරනවාද ? වෙළඳපොළ ක‍්‍රමය සතුටු කරනවාද ? දේව රාජ්‍ය ගොඩනගනවාද ? මේ ලෝකයේ වෙළඳ මතවාදි රාජ්‍ය ගොඩනගනවාද ? ”මා ක‍්‍රිස්තුස්වහන්සේ ආදර්ශයට ගන්නාක් මෙන් ඔබත් ආදර්ශයට ගන්න” මේ අභියෝගය අපි භාරගනිමු.
jesustodaysl 50 සතිය 2018 පෙබරවාරි 11

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696