ඉරුදින සුපුවත


December 2, 2017 10:58 pm

ආගමන කාලයේ පළමු වන ඉරුදින
 අවදිව සිටිමෙන් ආගමනයට සූදානම් වන්න.

දිනයට නියමිත ශුද්ධ ලියවිලි
යෙසායා 63/16-17, 64/1,3-8
1 කොරින්ති 1/3-9
ශු. මාක් 13/33-37

අදින් නව ජන වන්දනා වසරක් ආරම්භ වෙයි. ආගමන කාලය තුළ තෙයාකාර සැමරුමක් සිදු වේ.
ජේසු තුමන්ගේ පළමු ආගමනය (අතීත)
ජේසු තුමන් අප සමඟ දැනුදු වාසය කිරීම (වර්ථමානය)
ජේසු තුමන්ගේ දෙවන ආගමනය (අනාගත)
මුළු ආගමන කාලය පුරාම ශුද්ධ ලියවිල්ල අපට පහදා දෙන සත්‍ය තාවය පහත පරිදි සූත‍්‍රගත කළ හැකිය.
අවදිවීම + පසුතැවීම + ධර්මිෂ්ඨ පැවැත්ම = සූදානම

අවදිවීම.
මිනිසුන් බොහෝ දෙනෙකු ජීවත් වන්නේ අවදිභාවයෙන් තොරවය. ඔවුන් ඔවුන් සිටිනා අඳුර නොදකී. නොහඳුනයි.
ජේසු තුමන්ම තම දෙවන පැමිණීම ගැන කථා කරයි. අදට නියමිත ඉතා කුඩා ශුද්ධ ලියවිලි කොටස තුළ තුන්වරක් භාවිතා වන වචනය ‘‘අවදිව ඉන්න’’ යන්නයි.

”නියමිත මොහොත කවදා දැයි ඔබ නොදන්නා බැවින් පරිස්සම් වන්න. අවදිව ඉන්න”
අද මිනිසුන් පුදුමාකාර නින්දක පසුවේ. තමාට සිදුවන්නේ කුමක්ද ? තම පවුලට සිදුවන්නේ කුමක්ද? රටට සිදුවන්නේ කුමක්ද ? ලෝකයට සිදුවන්නේ කුමක්දැයි ඔව්හු නොදකිති.
මුළු පෘතුවියම විනාශ කරමින් සංවර්ධනය පසු පස හඹායයි.
මුළු රටම විනාශ කරමින් ජාතිවාදය, ආගම්වාදය, පක්ෂවාදය, වංචාව දූෂණය ව්‍යාප්ත කරමින් සිටි.
පවුල් ජීවිතය අවුල් කර ගනිමින් ධනය, බලය, කීර්තිය හා ආත්මාර්ථකාමිත්වය ලූහුබදියි.
තම ජීවිතය විනාශ කරගනිමින් විනාශකාරි ජීවන රටාවකට අනුගත වෙමින් සිටි.
අවදි වන්න… අවදි වන්න… අවදි වන්න… මේ නිද්‍රෝපගත බව දේව කැමැත්ත නොවේ. මේ විනාශය දේව කැමැත්ත නොවේ.
පසුතැවීම.
යෙසායා දිවැසිවරයා දෙවියන්ට පිටුපෑමේ ප‍්‍රතිවිපාකය ලෙස වැටි සිටින පාපිෂ්ඨ බව පෙන්වා දෙයි.
”අප සියල්ලෝම අපවිත‍්‍රව සිටියෙමු. අපගේ සියලූ දැහැමි ක‍්‍රියා කිළුටු වස්ත‍්‍ර වැනිය. අප කරන අපරාධ නිසා සුළගින් මෙන් අප ගසාගෙන යයි.”
මෙහිදි අපේ අපවිත‍්‍රකම්, අපරාධ ගැන කියන කරුණවත් වඩා වැදගත් අනාවරණය වන්නේ අපගේ දැහැමි ක‍්‍රියා ගැන සිදුකරන අනාවරණයයි.
”අපගේ දැහැමි ක‍්‍රියා කිළුටු වස්ත‍්‍ර වැනිය”
අද අපි යහපත් වැඩ යැයි කරන දේවල් පවා කිළුටින් පිරි නොපවතීද ? අපගේ මංගල්‍ය, අපගේ දාන ධර්ම, අපගේ පුද පූජා, අපගේ පුණ්‍ය ක‍්‍රියා දේව කැමැත්ත අනුව සිදුවන දේ නොවේ. ඒවා බොහොමයක් ප‍්‍රචාරකවාදිය. කීර්තිය, පාරට්ටුව, තරඟය ඒවා තුළ තිබේ.
ධර්මිෂ්ඨ ජීවිතය
දේව රාජ්‍ය හෙවත් ජේසු තුමන්ගේ දෙවැනි පැමිණීමට සූදානම් වීම යනු නත්තලට සූදානම් වීම නොවේ. නමුත් දෙසැම්බර් පළමු වෙනිදා සිට වෙළඳ පොළත්, අපත් සිදු කරන්නේ නත්තලට සූදානම් වීමයි.
සූදානම්ව සිටිම යනු හැම මොහොතම ධර්මිෂ්ඨව ජීවත් වීමයි. යුක්ති සහගතව සාධාරණව, පේ‍්‍රමනියව ජීවත් වීමයි.
”දැහැමි ක‍්‍රියාවන් ප‍්‍රිය කරන ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟ පෙන්වන සේක”
සූදානම් ව සිටීම යනු සමිඳුන්ගේ මාර්ගය තුළ ගමන් කිරීමයි. ලෝක ක‍්‍රමය අනුව පවතින ක‍්‍රමය අනුව ජීවත් වෙමින් නත්තල් සැමරීම දේව රාජ්‍යයේ උදාවට සූදානම් වීම නොවේ.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696