ප‍්‍රබල සාක්ෂියක් වු සුසංවේදි පූජකයා


January 7, 2018 6:31 am

ගරු මේරිබැස්ටියන්පියතුමා

1985 ජනවාරි 06 වෙනිදා හමුදා සෙබළුන්ගේ වෙඩි පහරට දක්ව මියගිය මේරි බැස්ටියන් පියතුමාගේ 32 වෙනි අනුස්මරණය පසුගිය ජනවාරි 06 වෙනිදාට යෙදුනි. මේ ලිපිය ඒ වෙනුවෙනි.
1985 ජනවාරි 6 වෙනිදා අළුයම එකට පමණ හමුදා භටයන් ඔහුගේ ලැගුම් ගෙයි ජනේල තුළින් තුවක්කු මානන විට ඔහු ඉංගී‍්‍රසියෙන් .ඡුකැ්ිැ. කරුණාකර කියා මොරදි ඉල්ලූවේ ජීවිතයයි ජනතාව වෙනුවෙන් ජීවිතයයි සාහසිකයන්ගේ වෙඩි උණ්ඩ ඔහුගේ ශරීරය පසාරු කරගෙන යද්දී ඔහු අවසන් වරට හඬ නඟා ඇත්තේ ‘අම්මා’ කියාය. 
මේරි බැස්ටියන් මැනුවෙල් පිල්ලේ, වව්නියාවේ තාන්ඩිකුලමේදී එස්. වී මනුවෙල්පිල්ලේ හා මේරි තෙරේසා මනුවෙල්පිල්ලේ යුවලට දාව 1948 දෙසැම්බර් 11 වෙනිදා මෙලොව එළිය දුටුවේය.
1948 යනු ජනතාව තම බලලෝභී අරමුණු වෙනුවෙන් බෙදා පාලනය කළ බ්‍රිතාන්‍ය පාලකයින් තම රූකඩ වූ දේශීය බලලෝභී පාලකයින්ට පාලනය පැවරූ වසරයි. ජාතිවාදය වගා කරමින් බල හා ධන තණ්හාව පමණක් මුල් කරගත් දේශීය පාලකයින්ගේ පාලනයේ කුරිරු බව නිසාම ඉන් දශක හතරක් යාමට පෙර උතුරේ ද දකුණේ ද මරා දැමූ දහස් ගනන් අතර මේරි බැස්ටියන් පියතුමා ද ඝාතනයට ලක් විය.
ධනවත් පවුලක උපත ලද ඔහු යාපනයේ හා නුවර ඉහළ පෙළේ පාසල්වලින් අධ්‍යාපනය ලැබීය. ඉන්දියාවේ හා ලංකාවේ දෙව්සත්හල් වලින් දේවධර්මය හැදෑරූ ඔහු ඒවායේ තිබූ දැඩි නීතිරීති වලට පූජක සිසුවෙකුව සිටියදීම විරුද්ධවූයේ මානව ගරුත්වය පිළිබඳ ඔහු තුළ තිබූ භක්තිය නිසාය.
ජන දුක නිවමින්
1975 දී නිල පූජකවරය ලැබ පළමුව මන්නාරම ආසන දෙව්මැදුරේ ද පසුව මුරුන්කන්හි පිහිටි අනාථ මඩමේද, මඩු පල්ලියේද වැඩ කළේය. 1977 දී මානපායි දෙව්මැදුර භාරව පැමිණි ඔහු එම මීසමට අයත් පරිධියේ වූ දිළිඳු ගම්මාන වෙත ගියේය. විදෙස් ආධාර ව්‍යාපෘති කෙරේ විශ්වාසය නොතැබූ ඔහු ගමේ මිනිසුන්ගේ ශ්‍රමය හා ගමේ තරුණයන් සමඟ කළ පාස්කු නාට්‍ය ආදිය මඟින් කුඩා චාම් දෙව්මැදුරක් ගොඩ නැගීය. ඒ අතර තුර සැබෑ දෙව්මැදුර වන දුප්පත් ජනතාවගේ ජීවිත ගොඩනැගීම ප්‍රමුඛ බව ඔහු වටහාගත්තේය. බැස්ටි වැඩි වශයෙන්ම මහන්සි ගත්තේ වත් පිළිවෙත් සඳහා නොවේ. පාසල් නොයන දරුවන්ට ඇඳුම් පැළඳුම් පත පොත ගමෙන්ම සොයාදී පාසල් යවන්නටය. රැකියා විරහිත තරුණයින්ට රැකියා සොයා දීමටය.
මීසම් ගෘහය සැමට විවෘතව තැබූ ඔහු කවුරු පැමිණියත් ඔවුන් සමඟ තිබෙන ආහාර බෙදාගත්තේය. මුදල් ඉල්ලා මිනිසුන් පැමිණි විට අතේ තිබෙන දේ දුන්නු ඔහු තමා ලඟ මුදල් නැති විට කුඩා ලියුම් කැබැල්ලක් ලියා දී තම දෙමව්පියන් වෙත මුදල් ඉල්ලා ගැනීමට ඔවුන් යොමු කළේය.
තරුණ ආවේග තේරුම් ගනිමින්
1981 දී යාපනයෙන් වෙන්වී මන්නාරම වෙනම පදවියක් වන විට ඔහු යාපනය වෙනුවට වඩා දිළිඳු හා දුෂ්කර මන්නාරම පදවිය තෝරා ගත්තේය. අභිනව මන්නාරම් පදවියේ වන්කාලෙයි මීසම් භාර පියතුමා ලෙස වැඩ භාරගත්තේය. ඒ සමඟම මන්නාරම් දිසාවේ තරුණ කටයුතු භාර පියතුමා ලෙස ද පත්වූ එතුමාට තරුණයින්ගේ ආවේග සිතුම් පැතුම් වඩා හොඳින් හදුනාගත හැකි විය. දිළිඳුකම, අධ්‍යාපනය අඩාලවීම, විරැකියාව නිසා දැඩි කලකිරීමට පත් වූ තරුණයෝ කොළඹ රජය කෙරෙහි මෙන්ම සම්ප්‍රදායික ද්‍රවිඩ දේශපාලන නායකත්වය කෙරෙහි ද තරහින් පසුවන බව එතුමා තේරුම් ගත්තේය. ඒ පිළිබඳ විවිධ තරුණ කණ්ඩායම් අතර පැවැති සංවාද සාකච්ඡා දැඩි ජාතිවාදී නැඹුරුවක් වෙත ඇදී ගියේ රජයේ හා හමුදාවේ ක්‍රියාකාර කම් නිසාවෙනි සංවාද ඇණහිටිමින් ප්‍රහාරක බලවේග බවට ඇතැම් තරුණ කණ්ඩායම් පරිවර්තනය විය.
මෙම තරුණ ආවේග තේරුම් ගත් බැසිටියන් පියතුමා ඒවා වඩාත් ප්‍රචණ්ඩ අන්තයකට තල්ලු වීම වලකනු සඳහා දකුණේ නිල සභා බලධරයන් පූජකයින් මෙන්ම තම මිතුරන්ද හමුවෙමින් රජයේ ජාතිවාදී ස්ථාවරයට අභියෝග කරන මෙන් ඉල්ලා සිටියේය. උතුරේ ජනතාවගේ අයිතින් තහවුරු කිරීමට ඉක්මන් පියවර ගන්නා ලෙස රජයට බලකරන ලෙස ඉල්ලා සිටියේය.
බැස්ටියන් පියතුමා සේ උතුරෙත් දකුණෙත් තව පියවරුන් කීප දෙනෙකු තරුණයන්ව තේරුම් ගෙන දෙවියන්ගේ නාමයෙන් රාජ්‍යයේ බිහිසුනු ත්‍රස්තවාදයට එරෙහිව හඬ නැගුවා නම් සාධාරණත්වය උදෙසා කැපවූවානම් ලක්ෂ ගණනක් ජීවිත විනාශ නොවනු ඇත.
83 අනාථයන් පිළිගනිමින්
1983 මෙලේච්ඡ ප්‍රහාරය නිසා වතුකරයෙන් මන්නාරමට ආ දහස් ගණන් වූ සරණාගතයින් උදෙසා වැඩ කිරීමට ඔහු පෙළඹුනේය. මෙම අසරණයින් තුළින් තනිවූ කිතු තුමන් තමන්ට කථා කරන බව එතුමාට දැනුනේය. පාලකයින්ගේ වර්ග කිරීම් අනුව ඔහු ලාංකීය දෙමළය. මේ අනාථයෝ ඉන්දියානු දෙමළය. නමුත් බැස්ටිගේ ඇදහිල්ලට අනුව ඔව්හු දුක්විදින දෙවියන්ය. ඔහු ගමේ මිනිසුන් එකතු කරගෙන පොල් අතු සොයමින්, ලී දඩු සොයමින් මේ අනාථයන්ට හිසට සෙවනක් දීමට වෙහෙසුණේය. ඒ උත්සාහයේදී පහර කෑමට පවා ලක්විය.
පාලමක් වෙමින්, ඇත්ත හෙලි කරමින්
1983 න් පසු ඔහු වැඩි වැඩියෙන් දකුණේ සිංහල මිතුරන් සොයා ආවේය. උතුරේ සිදුවන දේ ගැන සත්‍යය හෙළිකළේය. උතුරු දකුණු පාලමක් තැනීමට වෙහෙසුනේය. වරක් කොළඹ අගරදගුරුතුමා සමඟ උතුරේ තත්වය ගැන ඔහු මඩු පල්ලියේදී කථා කළේය. “ඇයි ඔබ අපිව තේරුම් නොගන්නේ. ඔබට කියන්න බැරිද දකුණේ ආණ්ඩුවට මේ විදිහට දෙමළ ජනයාට ගහන්න එපා ඔවුනුත් මේ රටේ පුරවැසියන් බව” අගරදගුරු තුමාගේ පිළිතුර වූයේ “මම මොනවා කරන්නද මම දකුණේ ජීවත් වෙන්න ඕනා. මම සිංහල මිනිසුන්ගේ රදගුරුතුමා” යන්නයි. දකුණේ සභාවද පාලකයින්ගේ ජාතිවාදයට යටවිය. “එහෙමනම් දෙමළ ජනයා ගැන ඔබ ප්‍රකාශ නිකුත් කරන්න එපා” බැස්ටියන් පියතුමා රදගුරුතුමාට කීවේය. රදගුරුතුමා ද උතුරේ ඇතැම් පූජකයෝද ඔහුට චෝදනා කළේ ඔහු දේශපාලනය කරනවා කියාය. නමුත් ඔහු ඉටු කළේ කිතුනු යුතුකමය.
නිල සභාව ඇගබේරා ගනිද්දී ඔහු තව දුරටත් අසරණවිය. ඔහු යළි යළිත් මෙසේ ඉල්ලා සිටියේය. “මිත්‍රවරුනි බලා නොසිට අපි යමක් කරමු. උතුරේ අපි මේ වන විට අපිව මරාදැමීමේ වාරය එනතෙක් බලා සිටිමු.” ඔහු තව දුරටත් මෙසේ පැවසුවේය. “තරුණයින්ගේ අරගල වලදී අපි ඔවුන්ව තේරුම් ගෙන සභාවක් ලෙස සාධාරණය උදෙසා පෙරට ආ යුත්තේ සිදුවන විනාශය වලක්වා ගැනීමටයි” එසේය ඒ පෙරට ඒම සිදු නොකළ සියල්ලෝ සිදුවූ විනාශයේ වග උත්තර කරුවෝය.
අතුරුදහන්වූවන් සොයමින්, විනාශය කියාපාමින්
ඔහු අනාථ කඳවුරුවල වැඩ කළේය… ඒවා වසා දමා යළි එම ජනතාව වතුකරයට යවන්න කියා හමුදාව ඔහුට බල කළේය. දකුණේ නිසි ආරක්ෂාවක් නැතිව එසේ කරන්නේ කෙසේද කියා ඔහු පෙරළා ප්‍රශ්න කළේය. ඔහු ඒ බල කිරීමට යට නොවීය… එසේ ඔහු කළේ සිය මිනිසුන්ට දැක්වූ ආදරය නිසාය… ඒත් හමුදාවට එය ත්‍රස්තවාදී වැඩක් විය…
ඉවක් බවක් නැතිව තරුණයන් අත්අඩංගුවට ගනිමින් හමුදාව ප්‍රදේශයේ ප්‍රචණ්ඩත්වය වැපිරීය. බැස්ටි කඳවුරු වෙත ගොස් බොහෝ තරුණයන්ගේ නිර්දෝෂිභාවය කියා ඔවුන්ව මුදා ගත්තේය… තරුණයන්ට ඔහු රැකවරණයක් වූ අතර හමුදාවට හා ’රාජ්‍ය ආරක්ෂාවට’ ඔහු තර්ජනයක් විය…
ඔහු නියෝජනය කළේ දෙවිඳුන් වැඩ සිටි පැත්තයි. අනාථයින් ගේ කළකිරුණු තරුණයන්ගේ පැත්තයි. ඔහු සිටියේ බලයේ හෝ රජයේ පැත්තේ නොව… කිතුනුවෙක් සිටිය යුතු තැන ඔහු සිටියේය…
1984 දී මන්නාරම් නගරය හමුදාව විසින් ගිනිබත් කළායින් පසු ඒ ගැන පරීක්ෂණයක් පවත්වන්නට එවූ කමිටුව සාක්ෂි සැපයීමට මන්නාරමේ සිටි 83000 ක් පමණ වන මිනිසුන්ගෙන් එක්කෙනෙක්වත් ඉදිරිපත් නොවීය. පසුව හමුදාවෙන් එල්ලවිය හැකි ප්‍රහාරයට බියේ මිනිසුන් එසේ සාක්ෂි දෙන්නට බිය වූහ. ඒත්, බැස්ටී සිදුවූ අපරාධය ගැන ලොවට හඬගා කියන්නට ඉදිරිපත්වී එහි ආ කණ්ඩායම මුළු ප්‍රදේශයම පුරා රැගෙන යමින් සිදුවී ඇති විනාශයේ තරම පෙන්වීය… රාජ්‍ය ආරක්ෂක හමුදාව එය දුටුවේ තමන්ට දුන් අතුල් පහරක් ලෙසය… ඒත්, ඔහු කළේ සත්‍ය හෙළි කිරීම පමණකි.
මළමිනි වළලමින්,  දණගසා පහරකමින්
1984 දෙසැම්බර් 04 වැනිදා අවිගත් තරුණයන් විසින් උයලන්කුලමේදී සෙබළෙක් මරා දමන ලදී. ඊට හමුදාව විසින් උත්තර දී තිබුණේ කුඹුරුවල වැඩ කරමින් සිටි නිරායුධ ගොවීන් 100 ක් පමණ ඝාතනය කිරීමෙනි. ඒ අවට කිසිවෙක් මළමිනී බලන්ටවත් එළියට නොබැස්සෝය… ඊට  හැතැප්ම 10 ක් ඈතින් සිටි බැස්ටි රාත්‍රියේ ලොරියක් රැගෙන අවුත් කෑලිකෑලිවලට කපා තිබූ මිනිස් සිරුරු එකතු කොට මන්නාරම් රෝහලේ මෘතශරීරාගාරය වෙත ගෙනාවේය. ඔවුන්ගේ මළමිනී වළලා දමන්නට සියලූ කටයුතු සංවිධානය කළ ඔහු එසේ කිරීමෙන් මිනිසුන්ගේ ජිවිත අයිතිය හා ගෞරවය වෙනුවෙන් නිහඬ විරෝධයක් පෑවේය. පසුව මුරුන්කන්හිදී හමුදාව ඔහුව දණගස්වා පහර දුනි. එහිදී පහර කෑ තව බොහෝ දෙනා සමග ඔහුද ඊට මුහුණ දුනි.
1948 දෙසැම්බර් 13 වැනි දින මෙතෝදිස්ත සභාවේ ජෙයරාජසිංහම් පියතුමාද, මුස්ලිම් ජාතිකයෙකුවූ ඔහුගේ  රියදුරාද, කොස්තාපල්වරයෙක්ද මන්නාරම් තල්අඩි පාලම ලඟදී හමුදාව විසින් මරා දමා වාහනය තුළට මළමිනී දමා ගිනි තැබීය. ජෙයරාජසිංහම්ද බැස්ටියන් මෙන් අනාථයන් සමඟ වැඩ කළ අයෙකි. සියලූ මිනිසුන් සිද්ධිය වූ තැනට යාමට බියෙන් පසුවෙද්දී ඔහු ගොස් පිළිස්සුණු මළමිනී එකතුකොට භූමදාන කළේය.
ධනවතුන්ගේද බලවතුන්ගේද වෛරයට ලක්වෙමින්…
කොළඹ රජයෙන් පමණක් නොව තම ප්‍රදේශයෙන්ද තම ජනතාවට විඳින්නට වන පීඩනයට එරෙහිව ඔහු නැඟී සිටියේය… ප්‍රදේශයට කසිප්පු බෙදන දමිළ මුදලාලිලාට එරෙහිව ඔහු කටයුතු කළේය. ඔවුන්ව නීතිය ඉදිරියට ගේන්නැයි පොලීසියට පැමිණිලි කළේය. මුදලාලිවරු පොලීසියෙන් බේරෙන්න බැස්ටි ගැන අභූත චෝදනා පැතිරවීය. ඒ ඔහු සන්නද්ධ කල්ලි හා සම්බන්ධය කියාය…
මරණයේ දේශයක ජීවිතය වෙනුවෙන් පෙනී සිටි මේ ජේසු අනුගගාමිකයාගේ හුස්ම පොද ගන්නට මරණයේම බලවේගවලට අවශ්‍යව තිබුණි. ඔහු ජනතාවගේ ජීවිතයට කොතරම් ආදරය කළාද කියතොත් ඒ වෙනුවෙන් පෙනී සිටිමින් මැරෙන්නට පවා බිය නොවීය. එහෙත් ඔහු යළියළිත් ජීවිතය ඉල්ලා ආයාචනා කළේය… ප්‍රධාන කොට ඔහු දකුණේ ජනතාවගෙන් ජීවිතය ඉල්ලා කෑ ගැසීය….
සහාසිකයන්ගේ වෙඩි උණ්ඩයට බිලිවෙමින්….
1985 ජනවාරි 6 වැනිදා අළුයම එකට පමණ හමුදා භටයන් ඔහුගේ ලැඟුම් ගේ ජනේල තුළින් තුවක්කු මානන විට ඔහු ඉංග්‍රීසියෙන් Please “කරුණාකාර” කියා මොරදී ඉල්ලූවේ ජීවිතයයි… ජනතාව වෙනුවෙන් ජීවිතයයි… සහාසිකයන්ගේ වෙඩි උණ්ඩ ඔහුගේ ශරීරය පසාරු කරගෙන යද්දී ඔහු අවසන් වරට හඬ නගා ඇත්තේ “අම්මා” කියාය…
අම්මා! ජීවිතයේ උල්පත… ලක්මවුනි! ජීවිතය දෙන්න… දූ පුතුනි!ජීවිතය රකින්න පෙරට එන්න… ඔහුගේ කථාව උතුරේ හා දකුණේ ජීවිතය ඉල්ලා මොරදෙන අම්මාවරුන්ගෙන් උපත ලද සියලූ දෙනාගේ කථාවයි. දූ දරුවන් නැති සොවින් වැළපෙන අම්මාවරුන්ගේ කථාවයි…
පල්ලියක් හැදීමෙන් හා දුක්ප්‍රාප්ති නාට්‍ය කිරිමෙන් ඇරඹි ඔහුගේ පූජක ජීවිතය, දෙවිඳුන්ගෙ හැබෑ නිවහනවූ, ජනතාවගේ ජීවිත සුරකින්නත්, දූ දරුවන්ගේ නැණ නුවණ පාදන්නත්, ජේසුගේ ජීවමාන දුක්ප්‍රාප්තියට තරුණයන් අතර සහභාගිවන්නත් යොමු විය. ඔහු ඇතුල් හදේ හඬට කන් දුනි…කඩන පූපයේ තේරුම, රඟන දුක්ප්‍රපේතියේ තේරුම සොයාගත්තේය. ඔහු එය ජීවත් කරවීය…ජනතාව මරණයෙන් ජීවිතයට එතෙර කිරීම හෙවත් පාස්කුව ඔහු ජීවත් කරවීය… ඔහු සිය ජනතාවගේ දුක දරාගෙන ඔවුන් සමඟ ඔවුන් වෙනුවෙන් කුරුසියේ ගමනක් ගියේය.
එහෙත් ඇදහිල්ලෙන් අන්ධවූවන්ට ඔහු තවමත් සන්නද්ධ කල්ලියක් සමග ඉන්දියාවට පලා ගිය ත්‍රස්තවාදී ස්වාමිය…..
බොරුව බිඳ දමා මිනිසුන් අතර උත්ථාන වෙමින්
දකුණේ සභා බලධාරීන්, රජය ඔහුගේ මරණය ගැන කළ ප්‍රකාශය ඔස්සේම යමින් පිළාත් මෙන් අත හෝදාගත්තේය. අඩු තරමේ යාපනේ හා මන්නාරමේ රදගුරුවරුන්ගේ කීමවත් දකුණේ ආගමික නායකයෝ එතරම් විශ්වාසයට නොගත්තෝය. උතුරේ රදගුරුවරු, “රජයේ ප්‍රවෘත්තිය අමුලික බොරුවක්… හමුදාව ඔහුව මරා දැම්මා” කියා එකහෙළා කියන විට දකුණේ ආගමික නායකයෝ එය මුළුමණින්ම ප්‍රතික්ෂේප කර, ඔහුට සිදුවූ දේ ගැන පරීක්ෂණ පවත්වන්න රජයට කියමුයි කියා කීහ. ඔහු වෙනුවෙන් කොළඹදී මලවුන් වෙනුවෙන් පවත්වන පූජාවක් හෝ පවත්වන්නට පසුබට විය…
ඒත් දකුණේ සිටි, ඔහු ගැන දන්නා… ඔහු මගින් උතුරේ මිනිසුන්ගේ පීඩාව හඳුනාගෙන සිටි සිංහල පූජක පැවිදි මිතුරන් එක්වී නිල සභාවේ විරෝධය මැද ඔහු වෙනුවෙන් පූජාවක් පැවත්වීය… පලාගොස් ඇතැයි කියා රාජ්‍ය ආරක්ෂක ඇමති විසින් හැඳින්වූ ඔහුව, “නැහැ, මරා දැම්මාය” කියමින්…. ඒ මරණය සිහි කරන්නට ඔවුන් එඩිතරවීම රජයට දැක්වූ නිහඬ විරෝධයක් විය. ඔහුගේ ඇදහිල්ලට පණ දීමක් විය.
ඔහු ජීවත්වූ ප්‍රදේශයේ ජනතාව ඔහුට කොතරම් ප්‍රේම කරන්නේද කියා ඔහුගේ පිළිරුවක් පවා ගොඩ නගා තිබීමෙන් පැහැදිළිවේ. ඔහු ගැන කථා කරන්නට… ඔහු ජීවත් කළ උදාර මිනිස්කම සිහි කරන්නට අදත් ඒ ජනතාව පසුබට නොවෙති.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696