October 15, 2017 8:14 am

දේශපාලන සිරකරුවෝ සහ උපවාසයේ යෙදෙන සිරකරුවෝ.


දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලීම දැන් බොහෝ කළක සිට කෙරෙන්නෙකි. ඒ ඉල්ලීම ඉතාම යුක්ති සහගතය. මන්දයත් ඔවුන් ඉල්ලා සිටින්නේ කිසිදු නඩු පැවරීමක් නැති හුදු අත් අඩංගුවට ගත් පිරිස් වහා නිදහස් කිරිමත්, නඩු පවරා ඇති අයගේ නෛනික කටයුතු ඉක්මනින් හා සාධාරණව කිරීමත් වන නිසාය.
සිරකරුවන් බැලීමට යාම ණය යුක්තියක් සේ සලකන කිතුනුවන් සිරකරුවන්ගේ ප‍්‍රශ්නයට මැදිහත්වීම අනිවාර්ය වගකිමකි. එම වගකිම ඉහළින් ඉටුකරමින් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයට නායකත්වය දෙන සත්‍යවේල් පියතුමාට සෙසු කිතුනුවන්ගේ සහය හිමිවිය යුතුය.
වව්නියාව මහාධිකරණයේ විභාග කිරිමට නියමිත වු තම නඩු අනුරාධපුරයට මාරු කිරිමට විරෝධය පා ද්‍රවිඩ ජාතික සිරකරුවන් තිදෙනෙකු අරඹා ඇති මාරාන්තික උපවාසය පිළිබඳ රජයේ අවධානයක් මේ සටහන ලියැවෙන 2017.10.11 හවස වන තෙක් යොමුවු බවක් නොපෙනේ.
මේ උපවාසය සමඟ උතුරේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ. එය ඉතා සාධාරණය එය සමහත් කළ යුත්තේ රජයයි. ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් දිගින් දිගටම පීඩා වින්දේ සිංහල භාෂාවෙන් සාක්ෂි සටහන් කර ගැනීම් නඩු කටයුතු කිරිම් ආදියෙනි. ඒ නිසා ‘‘යුක්තිය ඉටුවීම ප‍්‍රමාණවත් නැත යුක්තිය ඉටුවන බව පෙනෙන්නට තිබිය යුතුය’’ යන මූලධර්ම මත වව්නියාවේදි තම නඩු ඇසීමට ඉල්ලා සිටිම ඉතා සාධාරණ ඉල්ලීමකි.
නඩු අසා සිර දඩුවම් නියම කළ ලලිත් වීරතුංගලා දින කීපයකින් ඇප ලබා නිදහස් වී ගෙදර පැමිණෙන විට දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු චෝදනාවක් නැතිව වසර ගණන් සිරකරගෙන සිටීම වනාහි වාර්ගික පීඩා කිරිමක්ම වේ.
පෙර රජය ප‍්‍රකාශ කළ මන්තරයම මේ රජයේ අධිකරණ ඇමතිවරිය ද ජප කිරිම ඉතාමත් කනගාටුදායකය. එනම් ‘‘දේශපාලන සිරකරුවන් කියා පිරිසක් රටේ නැත’’ යන්නයි.
සිරගතවූවන් මුදවා ගන්නටද පැමිණි කිතු තුමන් අනුසාර කරන කිතුනුවන් වශයෙන් අද දවසේ තනි වු කිතු සමිදුන්ව මේ දේශපාලන සිරකරුවන් තුළ දකින අපි මේ සඳහා වහා මැදිහත් වන ලෙස රදගුරු මඩුල්ලෙන්ද රජයේ වගකිව යුත්තන්ගෙන්ද ඉල්ලා සිටිමු. විසඳුම් පමා කරන්නේ නම් උපවාස කරුවන්ගේ ජීවිත වල වගකිම රජය භාරගත යුතුය.

jesustodaysl 33 සතිය 2017 ඔක්තෝම්බර් 15


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696