ලැම්බෝගිනි වෙන්දේසිය.


November 26, 2017 6:53 am

 ලෝක දිළිඳුන්ගේ දිනය හා ලැම්බෝගිනි වෙන්දේසිය.

 “ඔබට සුඛෝපභෝගි මෝටර් රථයක් ගන්නට අවස්ථාවක් පැමිණි විට මිලියන ගණනාවක ජනතාවක් එදින රාත‍්‍රීයේ කුසගින්නේ නින්දට යනවාදැයි සිතන්න”.
ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් විසින් නොවැම්බර් 19 වන ඉරු දින ලෝක දිළිඳුන්ගේ දිනය ලෙස නම් කරනු ලැබීය. ඒ අනුව පළමු ලෝක දිළිඳු දිනය පසුගිය නොවැම්බර් 19 වනදා පැවැත්විණ.
මේ දිනය අර්ථවත් කිරීම සඳහා ලොව පුරා රටවල් ගණනාවක් ඉතා අර්ථවත් වැඩ සටහන් සිදු කළ බව වාර්තා වෙයි. ඉතාලිය ප‍්‍රංශය පෝලන්තය ඒ අතර ප‍්‍රමුඛ වේ. පළමු ලෝක දිළිඳු දිනය වෙනුවෙන් භාෂා හයකින් පොත් පිංචක්ද ප‍්‍රකාශයට පත් කර තිබුණි.
ශ‍්‍රී ලංකාවේ දි කාඩිනල් මැල්කම් හිමිපාණන් එම දිනය සැමරීමට ක‍්‍රියා කරන ලෙස ඉල්ලීමක් කළ නමුත් ඊට අර්ථවත් ප‍්‍රතිචාර ලැබුනු බවත් නොපෙනුනි. නොවැම්බර් 19 දින ඥානාර්ථ ප‍්‍රදීපය ඒ පිිළිබඳ කිසිදු අවධානයක් දී නොතිබුණි.
පාප්තුමන් කීප විටක්ම රදගුරුවරු හා පූජකතුමන්ලාගේ අවධානය ඔවුන් භාවිතා කරන සුඛෝපභෝගි මෝටර් රථ පිළිබඳව යොමු කර තිබුණි.
 ”ඔබට සුඛෝපභෝගි මෝටර් රථයක් ගන්නට අවස්ථාවක් පැමිණි විට මිලියන ගණනාවක ජනතාවක් එදින රාත‍්‍රීයේ කුසගින්නේ නින්දට යනවාදැයි සිතන්න” යනුවෙන් එතුමා වරක් පැවසීය.

තමා පවසන දේ තම ක‍්‍රියාවෙන් පෙන්වීමට පුරුදුව සිටින ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් පසුගියදා ඉතාලියේ ලැම්බෝගිනි මෝටර් රථ සමාගම එතුමාට ප‍්‍රදානය කරනු ලැබු ලැම්බෝගිනි සුරකාන් නම් වු සුඛෝපභෝගි මෝටර් රථය භාරගෙන එහි බොනට්ටුව මත සිය අත්සන යොදා පසුව එය වෙන්දේසි කිරීමට කටයුතු කරන ලදී.

ඉතාලියේ වෙන්දේසි සමාගමකට එම රථය බාරදෙමින් එය වෙන්දේසි කර එමගින් ලැබෙන මුදල් පාප්තුමා යටතේ දිළිඳුන් සඳහා ක‍්‍රියාත්මක වන වැඩසටහන් තුනකට යෙදවීමට එතුමා තීරණය කර ඇත.
දිළිඳු ජනයා අතර හිඳිමින් සුඛෝපභෝගි වාහන නඩත්තු කරන පූජකවරුන්ට පාප්තුමා දී ඇත්තේ සුළුපටු ආදර්ශයක් නොවේ. එතුමා අනුව යමින් ක‍්‍රියාකරන රදගුරු හා පූජකතුමන්ලා ගැන පුවත් හෙට දවසේ අසන්නට හැකි වේ නම්…. ?
jesustodaysl 39 සතිය 2017 නොවැම්බර් 26

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696