විරෝධතා ඇතිවීම යහපත් දෙයක්. ඒවා බලාපොරොත්තු සුන්වීම හේතුකොට ඇතිවන ප්‍රතික්‍රියාවන්. පැවිදි සොයුරියන්ට හඬක් නොමැති වූ හෙයින් ඔවුන්ට නිහඬව දරා ගැනීමට හා වේදනා විඳීමට සිදුවුණා.

 

ලිංගික අපහරණයන් දැඩි සංවාදයට

සටන් පාඨ නැවතී ඇත. ඉන්දීය පැවිදි සොයුරියන් විසින් මෙහෙයවන ලද විරෝධතාව අත්හැර දමා ඇත. සටන් බිම හිස් වී ඇත. ලිංගික අතවර කරන ලදැයි චෝදනා ලත් රදගුරුවරයෙකු සිරගත කොට ඇත. එහෙත් බොහෝ දෙනෙකු මෙම අවසානය දකින්නේ ඉන්දීය කේරළ සභාව මුහුණ දෙන බරපතළ අර්බුදයක ආරම්භයක් ලෙසයි. රදගුරුවරයෙක් විසින් පැවිදි සොයුරියක්ව දූෂණය කිරීමේ සිද්ධිය ඉහළ බලධාරින් යටපත් කිරීමට දරන උත්සාහය හේතුවෙන් ඊට එරෙහිව නැගුණු විරෝධතාවය දිගට ම පවතී. බොහෝ ඉන්දීය දේවධර්මාචාර්යවරුන් හා ප්‍රාදේශීය නායකයන් පවසනුයේ මෙම සිදුවීම සභාවේ පවතින ක්‍රමවේදයන් හා ක්‍රියාකලාපයන් පිළිබඳ නැවත සිතීමට යොමු කරන්නක් ලෙස සැලකිල්ලට ගත යුතු බවයි.

විරෝධතා ඇතිවීම යහපත් දෙයක්. ඒවා බලාපොරොත්තු සුන්වීම හේතුකොට ඇතිවන ප්‍රතික්‍රියාවන්. පැවිදි සොයුරියන්ට හඬක් නොමැති වූ හෙයින් ඔවුන්ට නිහඬව දරා ගැනීමට හා වේදනා විඳීමට සිදුවුණා. එහෙත් තවදුරටත් මෙය පිළිගත නො හැකියි. එසේ පවසන්නේ මුම්බායි හි සා. සේවියර් සරසවියේ හිටපු ආචාර්යවරයෙකු මෙන්ම ජේසු නිකායික පියතුමකු වන රුඩොල්ෆ් හෙරඩියා ය.

ජලන්ධාර් පදවියේ රදගුරු ප්‍රැන්කෝ මුලක්කාල් අත්අඩංගුවට ගැනීමට බල කරමින් Messieurs Of jesus පැවිදි නිකායේ පැවිදි සොයුරියන් 5 දෙනෙකු විසින් සැප්. 8 දා දකුණු ඉන්දියාවේ කොචින් නගරයේදී විරෝධතාවක් අරඹන ලදි. තමන්ගේ පැවිදි සොයුරියක්ව දූෂණයට ලක් කළ බව රදගුරුවරයාට ඇති චෝදනාවයි. ඔහුව සැප්. 22 දා අත්අඩංගුවට ගැනුණු අතර, ඊට පසුදින ඔවුහු තම විරෝධතාව නැවැත්වූහ.

තමන්ගේ පැවිදි නිකායේ අනුශාසක ලෙස කටයුතු කරන රදගුරුතුමා වර්ෂ 2014 සිට 2016 දක්වා කාලය තුළ දී 13 වතාවක් තමා දූෂණය කළ බවට පොලිසියේ පැමිණිල්ලක් දමා මාස 2කට පසුව විරෝධතාව ආරම්භ කරන ලදි.

"තම මීසම භාර පියතුමාගේ සිට පාප් වහන්සේ දක්වා සියලු තරාතිරම්වල පූජකවරුන්ට මේ පිළිබඳව දැනුම් දුන් නමුත් ඒ සියලු දෙනා එය නොසලකා හරිමින් රදගුරුතුමන්ට එරෙහිව ක්‍රියා මාර්ගයක් ගැනීමට ප්‍රතික්ෂේප කළහ. ඒ හේතුවෙන් තමන් හට පොලිසියේ සහය පැතීමට ද, ජනතාවගේ සහය ලබා ගැනීමට හා ඔවුන්ගේ අවධානයට යොමු කිරීමට ද විරෝධතාව වීදියට ගෙන යාමට සිදු වූ බව ඔවුහු පවසති."

දේවධර්මාචාරිනියක වන කොචුරායි ඒබ්‍රහැම් පවසන්නේ මෙම අර්බුදය මෙතරම් දුරදිග යාමට පෙර සභා නායකත්වය කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුව තිබුණ බවයි.

විචාරකයන්ගේ අදහස වන්නේ සභාව පිළිබඳව බරපතළ ලෙස සිතීමට කාලය එළඹ ඇති බවයි.

සමාජ අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන ග්ලේවියා ඇග්නස් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියේ දී සභාව ක්‍රියා කළ ආකාරය සම්පූර්ණ පීතෘ මූලික නායකත්වය නිසා ඇති වී තිබෙන ඵලවිපාක පිළිබඳ නැවත සිතා බැලීමට යොමු කරන බවයි.

"සභා නායකත්වයේ කාන්තා නියෝජනයක් නැහැ. සියලු බලතල පවතින්නේ පිරිමි අත. ඔවුන් එකිනෙකාට සහය දක්වනවා. ලිංගික හිරිහැරයන් යන කාරණාවල දී අනුගමනය කළ යුතු නිර්දේශයන් සභාව සතුව තිබෙනවා. අවාසනාවකට ඒක රදගුරුවරුන්ට හා පූජකයන්ට බලපාන්නෙ නැහැ". තවදුරටත් ඇය පැවසුවා ය.

ඉහළ තනතුරු දරන පූජකයින්ට එරෙහි ලිංගික හා මූල්‍ය වංචා පිළිබඳ චෝදනා පිළිබඳ ක්‍රියාකිරීමේ දී විනිවිදභාවය සඳහා යාන්ත්‍රණයක් පිළිබඳ නැවත පරික්ෂා කළ යුතුව බොහෝ දෙනා පවසති.

සභාව පනවා ඇති තහනම් නියෝග නිසා මෙවැනි චෝදනා ලබන රදගුරුවරයකුට එරෙහිව ක්‍රියාකිරීමට තමන්ට නොහැකි බවත්, එම නිසා තමන් ද අසරණයි යනුවෙන් වැඩිහිටි පූජකයන් පවසන බව ඒබ්‍රහැම් හා ඇග්නස් පවසති.

සභා නීතිය අනුව මෙවැනි සිදුවීමක දී තීරණ ගැනීමට හා රදගුරුවරයකුට එරෙහිව ක්‍රියා කිරීමට බලය ඇත්තේ වතිකානුවට පමණි. ඉන්දියාවේ එර්නාකුලම් අංගමාලි අගරදගුරු පදවියේ ජෝර්ජ් ඇලෙන්චෙරි කාදිනල්තුමා හා අගතියට පත් තැනැත්තිය අතර ඇති වූ පටිගත කරන ලද දුරකථන සංවාදයකින් මේ බව තහවුරු විය. තමන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ ප්‍රගමනය පිළිබඳව ඇය අසන ආකාරය මෙම හඬ පටයේ අඩංගුව ඇත. කාදිනල්තුමා ඊට දෙන පිළිතුර වන්නේ චෝදනා ලැබ සිටින රදගුරුතුමා තමන් අයිති නන සම්ප්‍රදායට වෙනස් වූ ලතින් සම්ප්‍රදායට අයිති බැවින් ඊට සම්බන්ධ විය නො හැකි බවයි.

"මම කාදිනල්තුමාගේ තර්කය පිළිගන්නෙ නැහැ. දුවෙක් තමාගේ බරපතළ ප්‍රශ්නයක් පිළිබඳව තම පියාට කීමට යන විට පියා එම දුවව එළවා දමනවා ද?" යනුවෙන් ඒබ්‍රහැම් ප්‍රශ්න කරයි.

මෙවැනි චෝදනා විභාග කිරීම සඳහා වතිකානුව අනුගමනය කරන ක්‍රමවේදය දෝෂ සහිතයි. බොහෝ පරීක්ෂණවල ප්‍රගමනයන් පිළිබඳව අගතියට පත් වූ පාර්ශවයන් දැනුවත් කිරීමක් සිදු නො කරයි.

ගිහි ධර්මාචාර්යවරියක වන Astird Lobo Gajiwala කියා සිටියේ තමන්ගේ ක්‍රියාවන් පිළිබඳ රදගුරුවරුන් වගකිව යුත්තන් බවයි. “මෙවැනි කාරණාවල දී අදාළ නීති සහ ක්‍රියාපටිපාටියන් සමාලෝචනය සහ සංශෝධනය කළ යුත්තේ බලයේ සිටින අයමයි”. යනුවෙන් තවදුරටත් ඇය පැවසුවා ය.

ලිංගික අපහරණ සිද්ධීන් පිළිබඳ කටයුතු කිරීමට අර්බුද කළමණාකරණය කිරීමේ කණ්ඩායම්, කමිටු තිබීම සභාවට ප්‍රයෝජනවත් ය. නමුත් එහි නායකත්වය කාන්තාවන් දැරිය යුතු අතර, නිර්දේශයන් කඩදාසිවලට සීමා නොවී ක්‍රියාත්මක කළ යුතු ය.

"රදගුරුවරු යුක්තිය ඉටු කරන තුරු බලා නො සිටින්න. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හා ලිංගික හිරිහැර පිළිබඳ ක්‍රියා කිරීමට ඉන්දියාවේ නීති තිබෙනවා. අපි ඒවා ප්‍රයෝජනයට ගත යුතුයි". යනුවෙන් ක්‍රියාධාරිනියක් මෙන්ම ඉන්දීය රදගුරුවරුන්ගේ කාන්තාවන් සඳහා වන කවුන්සිලයේ සාමාජිකාවක්ද වන Gajiwala පැවසුවාය.

සභාව තුළ සිදුවන අපරාධ පිළිබඳ සිවිල් බලධාරීන්ට රපෝර්තු කිරීමට තමාද සහය දක්වන බව හෙරෙඩියා Heredia පියතුමා පැවසීය. යම් අපයෝජනයක් සිදු වූයේ නම් සභාව ඒ සඳහා ඇති සිවිල් නීතිය පිළිපැදිය යුතු අතර, පොලිසියට දැනුම් දිය යුතුය. යනුවෙන් මුම්බායි හි ස.සේවියර් සරසවියේ සමාජ විද්‍යා මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයෙක් වූ එතුමා තවදුරටත් පැවැසීය.

බාල වයස්කරුවන් ලිංගික අපහරණයට ලක් කිරීමේ කාරණයේදී තමන් දන්නා කරුණු හෙළිදරව් නොකිරීම වෙනුවෙන්ද පුද්ගලයින් දඬුවමට යටත් කළ හැක. එමගින් වරදකරුවන්ට සත්‍යයෙන් පළා යා නොහැක.

අපි පූජක ආධිපත්‍යය අවසන් කළ යුතු වෙමු. ඒ පිළිබඳව නිසි අයුරින් ක්‍රියා නොකළහොත් බලධාරීන්ගේ අපහරණයන් වෙනත් ආකාරයෙන් සිදු විය හැක.

වෛද්‍යවරයෙක්, කතුවරයෙක් මෙන්ම අයිතීන් පිළිබඳ ක්‍රියාධරයෙක්ද වන Ram punyani පවසන්නේ මේ දිනවල සභා නායකයින්ට පිළිතුරු දීමට ඔවුනට ප්‍රශ්න රාශියක් ඇති බවයි. කුමන තත්ත්වයක් යටතේ වුවද කාන්තාවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගැනීම බලවත් කණගාටුවට කරුණක්. මෙවැනි සූරා කෑම්වලට සභාව ඇස් ඇරිය යුතු අතර, අපයෝජකයින්ට එරෙහිව විවෘතව ඉදිරියට පැමිණිය යුතු බව චමබහ්බස තව දුරටත් පවසයි.

Jesustodaysl 2 වන වසර 35 වන සතිය 2018 නොවැම්බර් 11 

Comments powered by CComment