ගෘහස්ථ හිංසනය බරපතල වරදක් වන රටක හිංසකයා වෙනුවට හිංසාවට ලක්වන්නී වරදකරු කරන මට්ටමේ සමාජ ආකල්පයට දේව මෑණියන්වද ඇඳා ගැනීමට බොහෝ පියවරු හා පැවිදි සොයුරියන් මෙන්ම ස්ත්‍රීන්ද ක්‍රියා කරයි.

 

මරියතුමිය සියල්ල ඉවසුවාද?

"මරිය තුමිය වගේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්න" තම ස්වාමි පුරුෂයාගෙන් අසිමිත ලෙස පහර කන තිදරු මවකට පැවිදි සොයුරියක දුන් උපදෙසකි ඒ.

මේ ස්වාමිපුරුෂයා බීමත්කමට ඇබ්බැහි වී රැකියාවක් නොකර දවස ගත කරන්නෙකි. මේ මව කුලී වැඩ කොට උපයා දරු පවුල සුරකි. ස්වාමිපුරුෂයා කන්නේ බොන්නේ ද ඇය උපයන දෙයිනි. සෑම රාත්‍රියකදීම වාගේ කුලි වැඩකොට ගත වෙහෙසී පැමිණි ගේදොර වැඩ පළද කරනු ලැබ සිටින බිරිඳට බේබදු සැමියා කුමක් හෝ වරදක් කියමින් පහර දෙයි.

ගෘහස්ථ හිංසනය බරපතල වරදක් වන රටක හිංසකයා වෙනුවට හිංසාවට ලක්වන්නී වරදකරු කරන මට්ටමේ සමාජ ආකල්පයට දේව මෑණියන්වද ඇඳා ගැනීමට බොහෝ පියවරු හා පැවිදි සොයුරියන් මෙන්ම ස්ත්‍රීන්ද ක්‍රියා කරයි.

ඒ සඳහා ඔවුන් නිතර උපුටා දක්වන්නේ "මරිය තුමිය සියල්ල සිත්හි නිදන් කොට මෙනෙහි කළාය". (ලුක් 2/18) යන බයිබල් පාඨයයි.

අප ඉහත දැක් වු ජීවිත අත්දැකීමට අදාලව එම ශුද්ධ ලියවිලි පාඨය උපුටා දැක්වීම ඇත්තටම දහම විකෘති කිරීමකි. දියාරු කිරිමකි.

මරියතුමිය දේව දූතයාගෙන් පවා තමාට අපැහැදිලි දේ ප්‍රශ්න කරනු ලැබු කාන්තාවකි.

"මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකි දැයි" ඇසුවාය. (ලුක් 1/334)

එතුමිය දේව කැමැත්ත පවා බාරගන්නේ ප්‍රශ්න කිරිමෙන් අනතුරුව නිසි ලෙස පැහැදිලි කරගෙනය.

එතුමිය කිසි විටක පවතින අසාධාරණය ඉවසු කාන්කාවක නොවුවාය. ඇය දේව කැමැත්තට හිස නැමුවා මිස සමාජ සම්මතයට හිස නැමුවා නොවේ.

"සිය බාහුවෙන් එතුමාණෝ විකුම් පා උඩගු සිත් ඇත්තක් විසුරුවා හැර මහ නරපතින් සිය සිහසුන්වලින් පහත හෙළා දිනයන් උසස් කළ සේක"

එවැන්නක් ගැන විශ්වාස කළ එවැන්නක් අපෙක්ෂා කළ ඕ තුමිය දේව කැමැත්ත නොවන අසාධාරණ සැලකුම් ඉවසා වදාරන්නයි කිසි විටක කිසිවෙකුට නොපවසන සේක...
බීමත් ප්‍රචණ්ඩ ස්වාමි පුරුෂයාව ඒ තත්වයෙන් මුදවාලීමට කිසිදු පියවරක් නොගෙන එවැනි පිරිමින්ගේ සිතුවිලි හා ක්‍රියාව වැරදි බව පෙන්වා නොදී ස්ත්‍රීයට ඉවසන්නැයි කීම වනාහි පවතින පීඩාකාරි ව්‍යුහය පවත්වා ගෙන යාමට උපකාරි වන දේව ධර්මයකි.

එවැනි මරිය දේව ධර්මයක් සැබැ මරිය දේව ධර්මයක් නොවේ. මරිය තුමිය ගෘහස්ථ හිංසනය ඉවසීම පිණිස භාවිතා කිරීම මරිය තුමියව අවභාවිතා කිරීමකි.


Jesustodaysl 2 වන වසර 32 වන සතිය 2018 ඔක්තෝම්බර් 21

 

Comments powered by CComment