මැවිල්ලේ අග රැජින ලෙස අප එතුමියට ගරු කරන්නේ නම්, එතුමියගේ මැයි මංගල්‍යය තුලදි ඉටිකොල සැරසිලිවත් මින් ඉදිරියට අත්හල යුතුය. මැවිල්ලේ අග රැජිනියගේ විජිතය වන මැවිල්ල විනාශ කිරිමට එරෙහිව කැප නොවී මරිය තුමියට කැපවීම අරුත් සුන් බව දැන්වත් වටහා ගත යුතුය.

ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ “ප්‍රශංසා වේවා මා සමිඳුන්ට” විශ්ව ලේඛනයේ 6 වන පරිච්ඡේදයේ ¼ නම් කර ඇත්තේ සකල මැවිල්ලේ රාජනීය වශයෙනි. විශ්ව ලේඛනයේ 241 වගන්තිය තුල සුදතුම් පියාණන් මැවිල්ල රැක ගැනීම සඳහා එතුමියගේ මැදිහත් වීම අවධාරණය කරයි.

මරිමව් හා පරිසර ප්‍රශ්නය.

මිනිසාගේ තන්හාවේ ප්‍රතිඵලයක් ලෙස තුවාල වු ලෝකය මව් සෙනෙහසින් යුතුව වේදනාවෙන් තැවෙමින් රැක බලා ගැනීමේ කාර්යට එතුමිය තම පුතු සමඟ උරදෙන බව සුදතුම් පියානන් සඳහන් කරයි.

ජේසු තුමන්ගේ ජීවිත පූජාව හුදෙක් මිනිස් සංහතිය පාපයෙන් ගලවා ගැනීමක් උදෙසා වුවක් නොව මුළු මහත් මැවිල්ලම නව උත්ථානයක් කරා ගෙනයන ගැඹුරු කාරණාවක් බව ශුද්ධ ලියවිල්ල අපට පෙන්වා දෙයි. මරිය තුමිය ජේසු තුමන් සමඟ පංගුකාර වුයේ එකි දූත මෙහෙවරට බව සැකයක් නැත.

සුදතුම් පියාණන් තව දුරටත් මෙසේ පවසයි. “මුළු මැවිල්ල එතුමිය සතු ශෝභාලංකාරය ගීයෙන් පසසයි එතුමිය’ " සූර්යයා පැළඳගෙන පාද යට සඳ මඬල ද හිස මත තාරකා දොළසකින් යුතු කිරුළක් ඇති ස්ත්‍රීයකි" යනුවෙන් එළිදරව්ව 12.1 පවසන කාන්තාවමය.

මරියතුමිය හා සොබාදහම.

ලොව පුරා මරිය මාතාවන් දර්ශනය වු ස්ථාන සොබාදහමේ චමත්කාරය විදහා පායි. අද දක්වා එතුමියගේ ආදරය ප්‍රකාශ කරන ස්ථාන බවට පත් වේ. ලූර්දුවේ ජලය එදා සිට අද දක්වාම එතුමියගේ ආශිර්වාදාත්මක සෙනෙහසේ සළකුණක් වී ඇත.

සුදතුම් පියාණනන් පවසන ඉහත සත්‍ය මුළු මහත් ලෝකය තුළම කිතු බැතිමතුන් මරිය තුමිය පිළිබඳ ලියු ගීතිකා තුළ දක්නට ලැබේ. සොබාදහමේ චමත්කාරය සමඟ එතුමියව අනන්‍යකර සොබාදහම එතුමියට ගරු කරන බව පෙන්වන ගීතිකා දහස් ගණනකි.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ බැති ගී අතර මරිය ගැති ගරු මර්සලින් ජයකොඩි පියතුමා පබැදු ගීතිකාවල ඒ ගුණය අතිශ්‍යය ප්‍රබල ලෙස සටහන්ව ඇත.

මල් ලොව මංගලියේ
ලෝක දයාබරියේ
ලෝ කිරිටය ඔබ
හිස මත තබමින්
නමෝ නමෝ මරියේ

ලස්සනයි කුමාරි ලස්සනින් පිරි
මවද කන්නි නාරි ජේසු මව් මරි
ලිය තුලෙන්ම තේරි ලස්සනින් පිරි
සිටින එක කුමාරි ජේසු මව්මරි

තාරකා සැලැන්දි අගෙයි තරු වගේ
හදේ පා පැලැන්දි සුදුයි හඳ වගේ
සියලු පින් පැලැන්දි අහෝ ඔබ අගේ
අගෙයි මව් කුමාරි වසන්තය වගේ

‘ඔටුනු පළඳවා ඔබ අප රැජින කරන්නම්
නළල වටේ රන්පටි බැඳ ඔබ සරසන්නමි‘

‘මැයි මහේ මල් වෙලා
පිපෙන රැජිනියේ
දිය විලේ ඇඳ දොළේ
පිපෙන රැජිනයේ
අරලියයි වත සුදුයි
රෝස වඳ මලුයි
මෙහැම මල් මල් වෙලා
පිපෙන රැජිනියේ

පැණිබර වන මල් අතුමිණි දැදිරිව
පිනිබර හිමිදිරියේ
මිහිකත වට කොට සත් මහා සුමුදුර
සෝදන දිය සරියේ
මල් ලොව රැජිනය ඔබ බව පවසයි
ලෝක දයාබරියේ
ඔබ ඔය රැජිනය ඔබමය රැජිනිය
ඔබමය මව් මරියේ

මල් ලොව මංගලියේ
ලෝක දයාබරියේ
ලෝ කිරිතය ඔබේ
හිස මත තබමින්
නමෝ නමෝ මරියේ

ඉහත දැක්වුයේ විශ්වයේ රැජින ලෙස මරිය තුමිය දකිමින් මුලු මහත් මැවිල්ල තුළ එතුමියවද ප්‍රකාශ වන බව දකිමින් ජයකොඩි පියතුමා ලියු ගී වලින් අල්පයක කොටස්ය.

මරිය බැතිය හා සොබාදහම.

සුදතුම් පියාණන් අපට ආරාධනා කරන්නේ එතුමියව මැවිල්ල තුළ දකින්නට පමණක් නොව ඉන් ඔබ්බට යමින් මැවිල්ල සුරකින ආධ්‍යාත්මයක් ගොඩනගාන්නට එතුමියගේ ආධ්‍යාත්මිකත්වයෙන් ආලෝකයක් ලබා ගන්නා ලෙසයි. මේ සඳහා මර්සලිනු ජයකොඩි පියතුමන්ලා නතර කළ තැනින් ඉදිරිපිට යන්නට අපට සිදු වේ. සුදතුම් පියාණන් තම විශ්ව ලේඛනය තුළ මෙසේ සඳහන් කරයි.

"සිදුරු කරන ලද මරිය තුමියගේ හදවත ජේසුස් වහන්සෙගේ මරණය ගැන හඬා වැලපුනාක් මෙන් දැන් හඬා වැලපෙන්නේ කුරුස පත් කරන ලද දිළිඳු පීඩිතයින් ගැන මෙන්ම මානව වර්ගයා විසින් නොසලකා හැර ඉවත ලු මැවිල්ල ද වෙනුවෙනි."

විශේෂයෙන් අති තන්හාධික රටවල් හා සමාගම් විසින් කරන පරිසරික විනාශය හා ඒ විනාශය ඉදිරියේ නිහඬව සිටින සෙසු ලෝකයාගේ ඇල් මැරුනු ගතිය නිසා එතුමියගේ හදවත ශෝකයෙන් පීඩිතව ඇති බව දකින්නට අප නෙත් සිත් විවිර කිරිමට තවත් පමා විය යුතු නැත.

මැවිල්ලේ අග රැජින ලෙස අප එතුමියට ගරු කරන්නේ නම්, එතුමියගේ මැයි මංගල්‍යය තුලදි ඉටිකොල සැරසිලිවත් මින් ඉදිරියට අත්හල යුතුය. මැවිල්ලේ අග රැජිනියගේ විජිතය වන මැවිල්ල විනාශ කිරිමට එරෙහිව කැප නොවී මරිය තුමියට කැපවීම අරුත් සුන් බව දැන්වත් වටහා ගත යුතුය.

ශ්‍රී ලාංකේය කිතුනුවන් ලෙස දැන් දැන් අප සුන්දර දිවයින මිනිස් ක්‍රියාකාරකම් නිසාම බලවත් ලෙස ආපදාවන්ට ලක්වෙමින් පවතින යථාර්ථය මෙනෙහි කල යුතුය. 

කඩුගන්නාවේදි එසේ වැළලුනේ මුස්ලිම් ජනයාය. කළු පහනදි එසේ වැළලුනේ දෙමළ ජනයාය. අරණයකදි එසේ වැළලුනේ සිංහල ජනයාය. මීතොටමුල්ලේදී සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයා වැළලී ගියෝය. මේ සියල්ලෝ ශ්‍රී ලංකා මෑණියන්ගේ දරුවෝය. දෙවියන්ගේ දරුවෝය.

විපතට පත් වූවන් ගැන මරිය තුමියට මැදිහත්වන්නැයි යදින අතර අප විමසා බැලිය යුත්තේ එතුමිය අපෙන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්නයි.

ලංකාදීපයේ දීපයයි ඔබ
ලංකා තූපයේ තිලකයයි ඔබ
ලංකා රූපයේ හැඩය වෙයි ඔබ
ලංකා රාජ්‍යයේ රැජින වෙයි ඔබ

අපගේ අපරාධ, අපගේ අපරාධ, අපගේ මහත් අපරාධ නිසා ලංකා රූපයේ හැඩය විනාශ වෙමින් පවතී. ශ්‍රී ලංකා රානි මෑණීයන්ගේ හදවත දැදුරු වී ඇත. දීපය නිවි යමින් ඇත. තිලකය මැකෙන්නට පටන් ගෙන ඇත.

අද අපට අවශ්‍ය වන්නේ සොබාදහම රැකීමට අපව යොමු කරන මරීය බැතියකි. එවැන්නකට මේ ගීතිකාව ඔබට අත්වැලක් වනු ඇත.

විශ්වයේ අම්මා

හිරු මඬල පැළඳගෙන
සඳ මඬල දෙපා මුල
තාරකා ඔටුන්නක් පැළන්දි
විශ්වයට විමුක්තිය
බිහිකරන අදිටනින්
ප්‍රසව වේදනාවෙන් විඳින්නී
විශ්වයේ මෑණි
විශ්වයේ රැජිනි
වේ නාමෝ වේ නමෝ මරියනි

මැවිල්ලට වින කරන
හැම විටම අපි ඔබේ
හදවතට කඩු තුඩින් අනිනවා
විශ්වයේ මෑණියනි
ඔබේ හද අපි සිදුරු කරනවා

මැවිල්ලට වින කරන
හැම විටම අපි ඔබේ
විජිතයට ගිනි තබා නසනවා
විශ්වයේ රැජිනියනි
ඔබේ කිරුල අපි නසා දමනවා

මැවිල්ලට එරෙහි වන
හැම විටම හැම තැනම
ඔබට හා ඔබේ පුතුට
විරුද්ධව අපි නැගී සිටිනවා
කිතුනුකම අපි නසා ගන්නවා

(ගී දිවැසිය කැසට් පටයේ ගිතයකි.)

Jesustodaysl 2 වන වසර 31 වන සතිය 2018 ඔක්තෝම්බර් 14



 

 

 

Comments powered by CComment