වැන්දඹු ස්ත්‍රීන් කෙරෙහි සුවිශේෂි වු ඔවුන්ට ජීවනෝපයන් සකස් කිරීමේ මෙහෙවරක, වැඩ පිළිවෙලක නිරත නොවන මරිය බැතියකට සැබැ අරුතක් නොලැබෙන බව පැහැදිලිය. වැඩ කරන ස්ත්‍රීන් අතුරින් වඩාත් පීඩිත ස්ත්‍රීන් වන්නේ වැන්දඹු ස්ත්‍රීන්ය.

වර්ථමාන කිතුනු දිවියේ ප්‍රධාන ගැටළුවක් වන්නේ, කිතු දහමේ ගැඹුරු විමුක්තිදායක අරුත පසෙකලා මහා පොළවේ දහමක් වෙනුවට එය අහසේ දහමක් බවට පත් කර තිබීමයි.

මරිය තුමිය කියු විට මල් ලොව මංගලි, රෝස කුමාරි, මුතු කුමාරි, ලංකා රානි, මල් කුමාරි ලෙස මතකයට එනවා මිස වඩුකාර්මික බිරිඳක ලෙස මතකයට නොඑම ඉහත කී තත්වයට නිදසුනකි.

මරිය තුමිය දෙව් මව් බවට විවාදයක් නැත. එහෙත් එතුමිය සාමාන්‍ය ගැමි ස්ත්‍රීයකියි කී විට ඇතැම් අය එසේ කියන්නන්ව සභාවෙන් නෙරපීමට ලක ලෑස්ති වන තරමට අවුල් වෙති. ජේසු තුමාට නම් තමාව ‘වඩුවාගේ පුතා’ ලෙස හැදින්වීම ගැන අවුලක් තිබුනේ නැති බව ශුද්ධ ලියවිල්ල කියවද්දී පැහැදිලි වෙයි.

ජේසු තුමාට සරල, චාම් ජුදා ගැමි ගැහැනිය තම මව වීම ආඩම්බරයකි. දෙවියන්ගේ තෝරාගැනීම ඒ වගේය. මැයි මාසය ඇරඹෙන්නේ මැයි 01 ලෝක කම්කරු දිනයට ජුසේමුනි මංගල්‍ය සමරමිනි. ‘කම්කරු ජුසේ මුනිදු’ යැයි විශ්ලේෂණ පදයක්ද සමඟය. එසේ ඇරඹෙන මැයි මාසය පුරා කිතුනුවෝ ඒ කම්කරු ජුසේ මුනිදුගේ ප්‍රිය බිරිඳට ගෞරව දක්වති.

ස්ත්‍රී ශ්‍රමයට මිලක් නැත.

රැකියාවකට නොයන බිරිඳක් සිටින සැමියෙකුගෙන් ඇසුවොත් ඔබේ බිරිඳ මොනවද කරන්නේ? කියා. පිළිතුර කුමක්ද? රැකියාවකට නොයන මවකගේ දරුවෙකුගෙන් ඇසුවොත් ඔබේ මව මොනවාද කරන්නේ කියලා? පිළිතුර කුමක්ද?. නෑ එයා මුකුත් කරන්නේ නෑ. ගෙදර ඉන්නවා වැනි පිළිතුරකි බොහෝ විට ලැබෙන්නේ.

ගෘහනිය ලෙස හඳුන්වන බිරිඳ කරන වැඩ කන්දරාව ආර්ථීක විද්‍යාවේදි (ධනවාදි ආර්ථික විiාව) ඵලදායි කටයුත්තක් සේ නොසලකයි. එයට අගය එකතු කිරිමක් නොකරයි. ගැහැනියක් රැකියා ගණනාවකට අදාල වැඩ කරනු ලබයි. අරක්කැමි, රෙදි සෝදන්නී, පවිත්‍රතා සේවිකා, ගෘහ කළමනාකරිනි, ගෙවතු කළමනාකාරිනි, සාත්තු සේවිකා, මහජන සම්බන්ධතා නිලධාරි, පරිවාර නිලධාරි, ආදි මෙකි නොකි කටයුතු ඇය ඉටු කරයි. ස්ත්‍රී ශ්‍රමය අගය නොකිරීම පවතින සමාජය ආර්ථික ක්‍රමයේ නරුමත්වය පෙන්වයි.

වැඩ ඇරී වැඩට යන්නී.

රැකියාවක නිරත වන බිරින්දෑවරුන්ගේ කතාව ගෘහනියගේ කතාවටත් වඩා ඇතැම් විට ඛේදනීය වේ. නූතන කවියෙකුගේ මේ කවිය ඒ බව අපට පවසයි.

"සවස
වැඩ ඇරී
වැඩට යති
ගැහැනු"

රැකියාවක නිරත වන ගැහැනිය වැඩ ඇරී නැවත යන්නේ වැඩටමය. ඒ ගෙදර දොර වැඩ සඳහාය. සැබැවින්ම ඇය වැඩ කර වැඩට යයි. නැවත ඇවිත් වැඩ කරයි. එවන් මරියාවන්ට අපේ කාලයේ ජුසේලාගෙන් ලැබෙන අත්වැල කුමක්ද?

ස්ත්‍රී ශ්‍රමයේ වටිනාකම

දැනට කර ඇති ගණනය කිරිම් අනුව ලෝකය තුල සිදු කරන වැඩ සම්භාරයෙන් 2/3 ක්ම (66%ක් පමණ) ඉටු කරන්නේ ලෝකයෙන් හරි අඩක් (50%) පමණ වන ස්ත්‍රීන්ය.

නමුත් ලෝකයේ සමස්ථ ආදායමෙන් ස්ත්‍රීන්ට ලැබෙන්නේ 1/10 කි (10%) කි.

ලොව පුරා සිටින ප්‍රකෝටිපතිනියන් අතරින් ස්ත්‍රීන් සිටින්නේ 1/10 (10%) ක් පමණි.

ලෝකය පුරා ද ශ්‍රී ලංකාව තුල රැකියාව සඳහා කාන්තාවන් බඳවා ගැනීමට කැමැත්තක් දක්වන්නේ අඩු වැටුපට වැඩ ගැනීමට හැකිවීමත් අයිතින් සඳහා සටන් කිරම අවම වීමත් නිසාය.

ශ්‍රී ලංකාවේ රැකියා නියුක්තිය දෙස බැලීමේදි කාන්තා රැකියා නියුක්තිය 2016 තෙවන කාර්තුවේදි 3660469 (තිස්ලක්ෂ හැට දහස් හාරසිය හැට නවයකි) එය මුළු රැකියා නියුක්තියේ ප්‍රතිශතයක් ලෙස 36.5% කි.

මැද පෙරදිගි ඇදෙන ශ්‍රමය

ස්ත්‍රී ශ්‍රමය පිළිබඳ ශ්‍රී ලංකාව මුහුන දෙන ප්‍රධාන ගැටළුව වන්නේ මැද පෙරදිග රැකියා සඳහා යන ස්ත්‍රීන්ගේ ප්‍රශ්නයයි. එය ප්‍රශ්නයකට වඩා අර්බුදයකි. පසුගිය වර්ෂ කීපය තුළ මැද පෙරදිගි රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකික කාන්තාවන් ප්‍රමාණය මෙසේය. වර්ෂයකට ආසන්න වශයෙන් ලක්ෂ්‍යයකි.

2013    1 18 058
2016    82 674

මේ චික්‍රය පෙන්වන්නේ අප රටේ පවුල් ඒකක කොපමන ප්‍රමාණයක් මේ ස්ත්‍රී ශ්‍රමයෙන් යැපෙනවාද? යන්නයි. එසේම මව්වරු නැතිකම තුල කොපමන පවුල් ඒකක සංඛ්‍යාවක් බිඳ වැටෙනවාද යන්නයි.

ඉතා කටුක දුක් වේදනා විඳ මිය යන සමහර විට අවයව උගුල්ලා මෙරටට එවන විදෙස්ගත ස්ත්‍රීන්ගේ මෘත ශරීර අප රටට නොදැනෙනා කාරණයකි.

විදෙස්ගත ශ්‍රමය සඳහ අවම වැටුපක් නියම කිරීමට විදේශ රැකියා ඇමතිනිය පසුගියදා විරද්ධ වූවාය. ඇගේ තර්කය වන්නේ එවැනි කොන්දේසි මගින් රට රැකියා අවම වී විදේශ විනිමය අඩු වන බවයි. ස්ත්‍රී ශ්‍රමය අඩු ලංසුවකට කොල්ලකෑමට ඉඩදී රටට විදේශ විනිමය ඉපයීම ජයග්‍රහනයක් යැයි සිතීම වහල් චින්තනයකි.

මරිය තුමිය වැන්දඹුවක ලෙස,

තම වඩු කාර්මික සැමියා මිය ගිය මරිය තුමිය වැන්දඹුවක ලෙස ජීවන අරගලයට දිරියෙන් මුහුණ දුන් බව අපි දනිමු. අප රටේ යුද්ධය නිසා උතුරුකරයේ 90 000 ක පමණ වැන්දඹු පිරිසක් සිටිති. උතුරින් පිටතද ජීවන සටන උදෙසා ශ්‍රමය වැහිරීමට බල කරනු ලැබෙන්නේ වැන්දඹුවන්ටය.

ශුද්ධ වු බයිබලය පුරා වැන්දඹුවන්ගේ හිමිකම් ගැන ඉතා බරපතල අවධානයක් යොමු කර ඇත. ජේසු තුමා ද ඔවුන් කෙරේ ඉතා සානුකම්පිත විය.

වැන්දඹු ස්ත්‍රීන් කෙරෙහි සුවිශේෂි වු ඔවුන්ට ජීවනෝපයන් සකස් කිරීමේ මෙහෙවරක, වැඩ පිළිවෙලක නිරත නොවන මරිය බැතියකට සැබැ අරුතක් නොලැබෙන බව පැහැදිලිය. වැඩ කරන ස්ත්‍රීන් අතුරින් වඩාත් පීඩිත ස්ත්‍රීන් වන්නේ වැන්දඹු ස්ත්‍රීන්ය.

පසුගිය කාලය තුල අප උතුරු කරයේ දුටුවේ තම ළමුන්ද රැගෙන කුලී වැඩට යන වැන්දඹු මව්වරුන්ය. තම අතුරුදහන් වු සැමියා සොයමින් සටන් කරන අතර පවුල් නඩත්තු කරන වැන්දඹු මව්වරුය. ඔවුන් තුළ මරිය තුමියගේ මුහුන දැකීමට අපගේ මරිය බැතිය තවම මුහුකුරා ගොස් නැත. මේ මොහොතේද තම ඉඩම් අයිතිය ඉල්ලමින් මාස ගණන් සටන් කරමින් අනිත් අතින් දරු පවුල් රැකගනිමින් අරගල කරන වැන්දඹු ස්ත්‍රීන් උතුරු කරයේ සිටි. එහෙත් කිසිදු මරිය බැති සංවිධානයක් ඔවුන්ගේ ජීවිත අරගලයට සුළැගිල්ලක සහනයක් දෙනු දැකිය නොහැකිය.

ඒ වෙනුවට මරිය බැතිය සඳහා මල් සැරසිලි වලට දහස් ගණන් වියදම් කරති. මරියවසරේදි එක් මවක් සුරුවම සැරසීමට ඇත්ත මල් සඳහා වැය කරන රු 30 000 ක මුදල වැන්දඹු මවකට මහන මැෂිමක් සඳහා පරිත්‍යාග කළා අපට මතකය. සැබැ මරිය බැතිය එයයි. මරිය තුමියව නුවරඑළියේ මල් වලින්ම සැරසිය යුතු නැත. ඇය ඒ වෙනුවට අරලිය මල් හා වෙනත් සපයා ගත හැකි මල් වලින් දෙව්මව් පිළිරුව සැරසුවාය. සැබෑ සරල ගැහැනියක වූ දෙව් මව්ට කරන සැබෑ ගෞරවය එයයි. දහස් ගණන් වැය කර සිදු කරන මල් සැරසිලි දේව මෑණියන්ට අගෞරවයක් මිස ගෞරවයක් නොවේ.

ස්ත්‍රී ශ්‍රමය පිළිබඳ කථා බහ මරිය බැතිය සමඟ ඒකාබද්ධ කිරිම ඉතා වැදගත් වන්නේ ඉහත දැක් වු පසුබිම්ය.

සැබැ මරිය බැතියක් ඇති බවට සාක්ෂිය වන්නේ ස්ත්‍රීය සූරාකනු නොලබන සමාජයක් බිහි වීමය. ඒ සඳහා කැපවන්නෝ මරියතුමියට සැබැ බැතිය දක්වන්නෝය.

භක්ති ප්‍රබෝධනය - 2016 මැයි කලාපයෙනි.
Jesustodaysl වන වසර 30 වන සතිය 2018 ඔක්තෝම්බර් 07

 

Comments powered by CComment