ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය - 3

ලිංගිකත්වයේ අධ්‍යාත්මිකත්වය වෙත යොමු වීමට විශ්වාසයේ දෑසින් ඉතා මුලික සරල ප්‍රශ්නයක් අපි නඟමු.
දෙවියන් වහන්සේ මිනිසාට ලිංගිකත්වය, ලිංගික ආශාව දානය කළේ ඇයි ?

ඉතා ජනප්‍රිය පිළිතුර තම වර්ගයා බෝ කිරීමට යන්නයි. නිසැකවම මිනිසාගේ ලිංගික පද්ධතිය ප්‍රධාන කොට සැකසි ඇත්තේ ඒ උදෙසාය. නමුත් ලිංගිකත්වයට පැවැරි ඇති එකම කාර්යය එය නොවේ. එය මිනිසාගේ ආත්ම සංතෘප්තිය ද අරමුණු කරයි. කායික මානසික සුවය අරමුනු කරයි

.

ලිංගික ශක්තිය පූජනීය දෙයක්. එය තමයි පැවැත්මේ ශක්තිය. එය තමයි මැවිල්ලේ කාර්ය ඉදිරියට ගෙනියන්නේ. මැවිල්ලේ කාර්ය කියන්නේ දේව කාර්ය. මැවුම්කරුගේ කාර්ය. ඒ නිසා ඒ කාර්ය කිරීමේ ශක්තිය දිව්‍යමය එකක්. පූජනීය එකක්.

ලිංගික ශක්තිය එහි පූජනීය අරුතින් භාවිතා වන කොට එය අධ්‍යාත්මික ශක්තියක් බවට පත් වෙනවා. එහෙමත් නැත්නම් ලිංගික ශක්තිය අධ්‍යාත්මිකත්වයකින් තොරව භාවිතා වෙනකොට එයට හිමි සැබෑ ගැඹුර අහිමි වෙනවා. සාරය අහිමි වෙනවා.

මේ සාරය අහිමි වු ලිංගිකත්වය මිනිසාව දවනවා. එවිට එතැන ඇත්තේ රාගය හෝ කාමය පමණයි. එය ගින්නක්. එවිට එය ගනුදෙනුවක්. ඒ ගනුදෙනුව තුළ අධ්‍යාත්මිකත්වයක් නෑ විතරක් නොවෙයි සැබෑ ප්‍රහර්ෂයක් සතුටක් නෑ.

ලිංගික සබඳතාවය එවිට වෙහෙසක්. දඬුවමක්. හුදු ක්‍රියාවක්. පිරිමක් නෑ. සැබෑ සුරතාන්තයක් නෑ.

ගැඹුරු අධ්‍යාත්මිකත්වයක් සහිතව ලිංගිකත්වය භුක්ති විඳීම කියන්නේ ගැඹුරු යාච්ඥාමය මොහොතක්. එය තමාගේ තෘප්තිය අත්හැර දමා මුළුමතින්ම අනෙකාගේ තෘප්තිය උදෙසා තමාව පවරා දීමක්, ගැඹුරු පරාර්තකාමයේ මොහොතක්.

එය කෙනෙක් තව කෙනෙකුට කරන දෙයක් නොවෙයි. කර්තෘ කාරකයෙක් හා කර්ම කාරකයෙක් අතර ක්‍රියාවක් නොවෙයි. තව කෙනෙකු යටත් කිරීමක් නොවෙයි. තරඟයක් නොවෙයි. ජයග්‍රහකයෙකු හා පරාජිතයෙක් සිටින සටනක් නොවෙයි. ප්‍රබලයෙක් හා දුබලයෙක් අතර සටහනක් නොවෙයි. සමානයින් දෙදෙනෙක් අතර ගැඹුරු බෙදා ගැනීමක්, ප්‍රදානයක්.

එවැනි ලිංගික සබඳතාවයක පදනම හුදු ලිංගික ආශාව නොවෙයි. අද ලිංගික සබඳතාවයන්ගේ පදනම හුදු ලිංගික ආශාව. නියම ලිංගික සබඳතාවයක පදනම අධ්‍යාත්මික ප්‍රේමය. ලිංගිකත්වයද ඉක්මවා යන අධ්‍යාත්මික ප්‍රේමය.

ලිංගික ආශාව කියන්නේ ප්‍රේමය නොවෙයි. අනිත් අතට ප්‍රේමය කියන්නේ හුදු ලිංගික ආශාවේ ප්‍රකාශනයක් නොවෙයි.

ප්‍රේමයෙන් තොරව ලිංගික ආශාව ඇති වෙනවා. වෛරය තුළත් ලිංගික ආශාව ඇති වෙන්න පුළුවන්. මානසික පීඩනය තුලත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලිංගික ආශාව නිසි පරිදි අවබෝධ කර ගැනීම අවශ්‍යයි. හුඟ දෙනෙක් වැරදියට අවබෝධ කරගන්නවා.

ලිංගිකත්වය හුදු ශාරිරික සංසිද්ධියක් ලෙස අවබෝධ කර ගැනිමෙන් ඔබ්බට යන්නට තිබෙනවා නම්, එය ප්‍රේමය නැමැති අධ්‍යාත්මික සංසිද්ධිය සමඟම ඒකාත්මික වුවක් කරගන්නට හැකිනම් එවිටයි සැබෑ ලිංගිකත්වයේ ප්‍රහර්ෂය හිමිවන්නේ.

Comments powered by CComment