හැබැයි කොල්ලගේ හා කෙල්ලගේ තාත්තාලා දෙන්නා ඇතුළු නෑ සනුහරේ පිරිමි මේ මඟුල් ගෙයට කැමැති වුනේ නෑ. ඒකට හේතුව මත්පැන් නැති වීම. “මහා කුණු ලෝභ මගුලක්’ සමහර පිරිමි නෑයෝ කිව්වේ එහෙම.

ඔන්න දවසක් පල්ලියකට ගියා. පියතුමා සිටියේ වෙඩින් මාස් එකක් ඉවර වෙලා. බොහොම හොඳ ක්‍රිස්තියානි පවුලක්. පියතුමා ඒ පවුල ගැනත් වෙඩින් එක ගැනත් කියන්න ගත්තා. විස්රතය ටිකක් දිගයි. මනමාලිට අන්දන්න විතරක් 120 000 ක්. මල් සැරසිලිවලට ඔක්කෝම ප්‍රෙෂ්මල් (ස්වාභාවික මල්) 80 000 කට වැඩියිලු. ප්‍රී ෂූට් එකට 200 000 ක්. ක්‍රේන් ගෙනල්ලත් ෂෝට් වගයක් ගත්තාලු. හරි හොඳට තිබුනා මාස් එකත්. නියම ක්‍රිස්තියානි විවාහයක් පියතුමා එහෙම තමයි ඒ වෙඩින් එක ගැන කිව්වේ.

"පට්ට වෙඩින් එකක් නේ ෆාද" එතන උන්නු තරුණයෙක් කිව්වා. "පට්ට වෙඩින් එකක් වෙන්න පුළුවන් ඒත් ක්‍රිස්තියානි වෙඩින් එකක් නම් වෙන්න බෑ" මම එහෙම කිව්වා. පියතුමයි එතන ඉන්න තරුණයොයි ටිකක් අමුතු විදිහට මං දිහා බැලුවා.

"අන්දන වියදමයි, ප්‍රීෂූට් එකෙයි වියදමෙන් භාගයක් වැය කළානම්, ගමේ තව දුප්පත් දරුවෙක්ව බන්දලා දෙන්න තිබුණා"

මම ළඟදී දැක්ක පට්ටම පට්ට වෙඩින් එකක් ගැන මම කිව්වා. ඒක නම් නියම ක්‍රිස්තියානි වෙඩින් එකක්.

කොල්ලයි කෙල්ලයි දෙන්නම විවාහය කළේ චාමෙට. නෑදැයෝ සමඟ කෑමක් කන එක (මහා වියදම් නැතිව) මිනිස් සබඳතා විෂයේදි වැදගත් දෙයක්. ඔවුන් ඒක සූදානම් කරලා තිබුණා. දෙපැත්තේම නෑදැයින්ට එක භෝජන සංග්‍රහයක්. හැබැයි කොල්ලගේ හා කෙල්ලගේ තාත්තාලා දෙන්නා ඇතුළු නෑ සනුහරේ පිරිමි මේ මඟුල් ගෙයට කැමැති වුනේ නෑ. ඒකට හේතුව මත්පැන් නැති වීම. “මහා කුණු ලෝභ මගුලක්’ සමහර පිරිමි නෑයෝ කිව්වේ එහෙම.

ඔවුන් ගණන් බලලා තිබුණා. මතට ලොල් නෑ සනුහරේ වැඩිහිටි පිරිමි ටිකට බොන්න දෙන්න රු 100 000 ක් වත් යනවා කියලා.

කොහොම හරි මඟුල් ගෙදර පිරිමි නෑයෝ අකමැත්තෙන් වුනත් ඇවිල්ල හිටියා. දහවල් 11.00 ට විතර මේ මනාල යුවල නැදැයන්ට කතා කළා.

"අපි දෙන්නම මත්පැන් වලට විරුද්ධයි. අපි දෙන්නාගේම සීයලා බිවවේ නැත්නම් මේ මඟුල් ගෙදර අද අපි එක්ක සතුටු වෙනවා. ඒ දෙන්නම මැරුනේ සිරොසිස් හැදිලා. අපි ලෝභ වුනේ නෑ. මත්පැන් වලට යන සල්ලී වෙන් කලා. ඒ මුදලින් අපි යම් පිරිසකට තෑග්ගක් දෙන්න තීරණය කළා. අපේ තාත්තලා දෙන්නටත් අපේ වැඩිහිටි මාමලා බාප්පලාටත් අපි ආරාධනා කරනවා ඒ තෑගි ටික බෙදන්න කියලා. අපි ආරාධනා කළා ඒ තෑගි ගන්න අයට අද මෙතනට එන්න කියලා"

ඉතිං වයසක ආච්චිලා සීයලා කීප දෙනෙක් ඇවිත් සිටියා. මේ තරුණ යුවල ඔවුන්ට ඇසේ සුද ශල්‍යකර්මයට කාච අරන් දීලා තිබුණා විතරක් නොවෙයි. තෑගි ලෙස කණ්නාඩිත් අරන් දුන්නා.

ඒක තමයි මම ළගදී දැකපු නියම ක්‍රිස්තියානි වෙඩින් එක. මම එහෙම කිව්වා. පියතුමාත් කෙල්ලෝ කීප දෙනත් හොල්මං වෙලා වගේ බලා උන්නා.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 30

 

Comments powered by CComment