මරිය තුමිය වගේ වුනොත් බැඳලා හමාරයි’ ලිපිය සමඟ කිතුනු විවාහ වල නොකිතුනු බව ගැන සංවාදයක් ඇරඹි තිබෙනවා. ඒ නිසා ටිකක් ගැඹුරට මේ ගැන සාකච්ඡා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා.

 

නයිස් පැකෙජ් එකක්ද ?

ගියවර ලිපියෙන් ඉතා පැහැදිලියි ‘මනාලියන්’ මෙන්ම‘ මනාලයන්ද අද සමාජය තුළ එක්තරා නයිස් පැකෙජ් :භසජැ ඡ්ජන්ටැ* වර්ගයක් කියලා. ඒ නයිස් පැකේජ යට අදාල ලක්ෂණ වල එක් පැත්තක් පමණයි ගියවර ලිපියේ දැක්වුනේ ඒ පෙනුම, රූපය.

මේ නයිස් පැකෙජ් එකට අදාල තව ලක්ෂණ ගණනාවක් තිබෙනවා. ඒ තමයි උගත්කම, (උපාධිධාරි, උසස් පෙළ සමත්, කළමනාකරණ උපාධිධාරි) රැකියාව, දේපල වල අයිතිය, (නිවසක් හිමි, නිවසක් හා ඉඩමක් හිමි, ලක්ෂ 10 ක, ලක්ෂ 5 ක වත්කම් ඇති ආදි ලෙස)

යෝජිත විවාහවල දිප්‍රධාන වශයෙන් සිදුවන්නේ මේ පැකෙජ් දෙක සැසදීමය. ප්‍රේම සම්බන්ධතා විවාහ බවට පත්වීමේදිත් මේ පැකෙජ් සලකා බැලෙනවා. (පීඩිතම ජන කොටස් අතරේදි පමණයි මේ පැකෙජ් අදාල නොවන්නේ)

කෙල්ලන් මෙන්ම කොල්ලන්ද වර්ථමානයට ගැලපෙන නයිස් පැකෙජ් එකක් වීමට සෑහෙන දුක් විඳිනවා. මහන්සිවෙනවා. රූපලාවන්‍ය සඳහා කරන වැය කිරිම්, ජිම් වලට යෑම් වල සිට පාඨමාලා හැදැරීම්. නවීන ඇඳුම් පැළඳුම්, මෝටර් සයිකල්, ස්මාට් ෆෝන්, වාහන. ලැප්ටොප් ආදි බොහෝදේ ඊට ඇතුලත්.

එරික් ෆ්‍රෝන් නම් මනෝ විශ්ලේෂකයා මෙම ‘නයිස්පැකෙජ්’ වීමේ මනෝ විද්‍යාව පැහැදිලි කර ඇත. ඔහු ආදරය දිනා ගැනීමෙදි වර්ථමාන ගැහැනුන් හා පිරිමින් අනුගමනය කරන ක්‍රමවේදය ගැන සඳහන් කරන්නේ මෙහෙමයි.

“විශේෂයෙන් පිරිමින් විසින් අනුගමනය කරන ක්‍රමවේදයක් වන්නේ සමාජක්‍රමය තුළ හැකිතාක් දුරට සාර්ථක, බලවත් සහ පොහොසත් පුද්ගලයින් බවට පත්වීමට උත්සහ කිරීමයි. තවත් ක්‍රමවේදයක් විශේෂයෙන් ගැහැණුන් විසින් අනුගමනය කරන ක්‍රමවේදය වන්නේ හැකි තාක් කායික ප්‍රසන්න තාව වර්ධනය කර ගැනීම හා විවිධ මෝස්තර හා විලාසිතා ආදිය මගින් මන බඳින සුළු ආකර්ෂණීය පෞරුෂයක් ගොඩනගා ගැනීමයි. (ආදරය කලාවකි. පරිවර්තනය කේ. ඒ. එන්. පෙරේරා පිටුව 2)

එරික් ෆ්‍රෝන් වැඩි දුරටත් පවසන්නේ අද මිනිසුන් ගැහැනුන් තමන්ගේ සහකරුවා / සහකාරිය තෝරාගන්නේ වෙළඳ පොළෙන් භාණ්ඩ මිලදි ගන්නා ආකාරයට බවයි.
“ඔහු හෝ ඇය මිනිසුන් දෙස බලන්නේද භාණ්ඩයක් දෙස බලන ආකාරයටය. පිරිමින්ගේ අපෙක්ෂාවන්නේ ආකර්ෂණීය ගැහැනියක් සොයා ගැනීමය. ගැහැනියකගේ අපෙක්ෂාවන්නේ ආකර්ශණීය පිරිමියෙක් සොයා ගැනීමය. මෙහිදි ආකර්ෂණීය යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ පුද්ගල වෙලඳ පොලේ බහුල ලෙෂ ඉල්ලුමක් පවතින පිරිමින් හා ගැහැනුන් තුල අවශ්‍යයෙන්ම තිබිය යුතු යැයි විශ්වාස කරන ජනප්‍රිය ගුණාංග ඇතුලත් සුන්දර පැකේජයක්.”

ආදරය කොතැනද?

මේ පැකෙජය සකසා ගැනීම ආදරය දිනා ගැනීමේ, විවාහයට එළඹීමේ සුදුසුකම ලෙස සැලකෙන විට ආදරය යනු කුමක්දැයි යන ප්‍රශ්නය නිතැනින්ම ඇති වෙනවා. ප්‍රේමය පිළිබඳ කිතුනු නිර්වචනය මෙතැනට අදාල වෙන්නේ නෑ. මේ පැකේජය ලක්ෂණ තුල දෙවියන්ගේ වටිනාකම් ඇතුලත් වෙන්නේ නෑ.

ඉතිං මේ නයිස් පැකෙජ් සෙවීම තුළ තිබෙන්නේ කොන්දේසි විරහිත ක්‍රිස්තියානි ප්‍රේමයේ ලක්ෂණය නොවීම නිසාම මේ විවාහ සම්බන්ධතා අවුලක් බවට පත් කරනවා.
දෙවියන් එක් කල දේ.?

හැම කිතුනු විවාහකදීම පූජා ප්‍රසාදි තුමා යුවලගේ දෑගිලි එක්කොට ආසිරි පැන් ඉස පවසන්නේ‘දෙවියන් විසින් එක් කල අය මිනිසාවෙන් නොකෙරේවා’ යනුවෙනි.
නමුත් පසුගියදා ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ මුල් පිටුවේ සඳහන් වූයේ වර්ෂයකට කතෝලික සභා විවාහ අධිකරනයෙන් 350 දෙනෙකු දික්කසාද වන බවයි. හැම දිනකම එක කතෝලික පවුලක් සභාවේ අවසරය ඇතිවම දික්කසාද වන බව මෙහි අරුතයි. සභාවේ අවසරය නැති ව දික්කසාද වන පිරිස හා දික්කසාද නොවිවෙන්ව සිටින පිරිස්ද සැලකිය යුතු ප්‍රතිශතයකි.

දැන් නැගෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් ව එක් කළේ දෙවියන් වහන්සේද? යන්නයි. නයිස් පැකෙජ්දෙකක් එකට එක්වීම දෙවියන් විසින් නියම කරන ලද එක්වීමක්ද? යන්න සිතා බැලිය යුතු කාරණාවකි.

මේ දික්කසාද දෙවියන් එක් කල දෙය මිනිසුන් විසින් වෙන් කිරීමක් ලෙස පමණක් සැලකිය යුතුද? දෙවියන් කල එක්වීමක් නොව මිනිසුන් කල එක් කිරීමක් නිසා කරනු ලබන වෙන් කිරිම්ද? කිතුනු තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් ද මේ සංවාදයට එක් විය යුතුය.

වෙළඳපොල සමාජයේ කැමැත්ත දේව කැමැත්ත ලෙස සලකා කටයුතු කිරීමෙන් සැබැ ආදරය හා විවාහය හමු නොවේ.

jesustodaysl 2 වන වසර 25 වන සතිය 2018 අගෝස්තු 26

Comments powered by CComment