තම ආගමේ කෙනෙකු විවාහ කර ගැනීම කළ යුතු බවට බොහෝ ආගමික නායකයින් සෘජුව හා වක්‍රව තම ආගමිකයින්ට පවසන බව අපි දනිමු. එහෙත් තම ආගමේ කෙනෙකු ගැන සිතීමේදි පවා ඇත්තටම ඔවුන් සලකා බලන්නේ අධ්‍යාත්මික වටිනාකම් නොවන බව මේ ගැන කරුනු විමසීමේදි පැහැදිලිව පෙනේ.

 

ප්‍රේමය, විවාහය හා රූපය කිතුනු විවාහ වෙළඳපොළ ඇසුරින්

සරාගික ප්‍රේමය හා රූමත් බව අතර සම්බන්ධතාවය වත්මන් වෙළඳපොළ ආර්ථිකය විසින් විශාල ලෙස උත්කර්ෂයට නංවා ඇත.

විවාහය සඳහා සහකරුවෙක් සහකාරියක් සොයා ගැනීමේදි වැදගත්ම දේ බවට පෙනුම, රූපය පත් වී ඇත. ඒ මගින් ශරීරයේ සුන්දරකරණය සඳහා විශාල ලාභයක් සහිත වෙළඳපොළක් නිර්මාණය වී ඇත. වඩා බරපතල ගැටළුව වී ඇත්තේ ඒ වෙළඳපොළ නොව රූපය පිළිබඳ මේ අවධාරණය විසින් ප්‍රේමය හා විවාහය විශාල අර්බුදයක් බවට පත්වීමය.

ආගම පුද්ගලයෙකුගේ සදාචාරමය හා ආධ්‍යාත්මික ආකල්ප සකස් කරන ප්‍රධාන මාර්ග යැයි සියළු ආගම් හි පූජ්‍ය පූජක පක්ෂය පවසති. විශේෂයෙන් අප රට තුළ රාජ්‍ය ආගමික විය යුතු බවට විශාල වශයෙන් ආගමික පූජ්‍ය පූජක උදවිය හඬ නගති. මෙම ලිපියට මාතෘකා වන්නේ විවාහය හා ප්‍රේමය පිලිබඳ කාරණයේදි මෙරට ආගම් විසින් සපයා ඇති අධ්‍යාත්මිකත්වය කොතරම් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවෙනවාද යන්නයි.

අප මෙහිදි ‘කිතුනු’ ප්‍රජාව පමණක් සැලකිල්ලට ගෙන කරුනු විමසා බලමු. තම ආගමේ කෙනෙකු විවාහ කර ගැනීම කළ යුතු බවට බොහෝ ආගමික නායකයින් සෘජුව හා වක්‍රව තම ආගමිකයින්ට පවසන බව අපි දනිමු. එහෙත් තම ආගමේ කෙනෙකු ගැන සිතීමේදි පවා ඇත්තටම ඔවුන් සලකා බලන්නේ අධ්‍යාත්මික වටිනාකම් නොවන බව මේ ගැන කරුනු විමසීමේදි පැහැදිලිව පෙනේ.

තම දියණියට හෝ පුතණුවන්ට සුදුසු මනාලිය මනාලයෙකු සෙවීමේදි මේ ආගමික මව්පියන් සිතා බලන්නේ මොනවාද? මේ ආගමික තරුණ තරුණියන් සිතා බලන්නේ මොනවාද? එක් දිනක ඥානාර්ථ ප්‍රදීපයක කතෝලික පුවත්පතේ මංගල යෝජනා තීරුව ඇසුරින් අපි විමසා බලමු.

මංගල යෝජනා යනු ඉල්ලුම සැපයුම ප්‍රකාශයට පත් කරන වෙළඳ දැන්වීම් වර්ගයක් බව පැහැදිලිය. සලකා බැලු දිනයේ මනාලයන් 66 දෙනෙකු හා මනාලියන් 63 දෙනෙකුට අදාල දැන්වීම් ඵලවිය. දේපල උගත්කම් නොව රූපය ලස්සන ගැන එහි ඵලවු කරුනු ගැන සාරාංශය මෙසේය.

මනාලයන්ගේ කැමැත්ත

මනාලයන් 66 දෙනොගේ හා ඔවුන්ගේ දෙමව්පියන්ගේ කැමැත්ත මෙපරිදිය.

ලක්ෂණය                                                 සංඛ්‍යාව

ඇය රූමත්/පැහැපත් විය යුතුයි                         37
සුදු හා රූමත් විය යුතුයි                                  04
සුදු සිහින් සිරුරක් හා රූමත් විය යුතුයි                  10
සුදු හා ඉතා රූමත් විය යුතුයි                            03
සැබැවින්ම රූමත් තරබාරු නොවිය යුතුයි               01
මුලු ගණන                                                 65

හැට හය දෙනාගෙන් චාම් අයකු ප්‍රාර්ථනා කර තිබුනේ එක් අයෙකු පමණි. අනිත් හැටපස් දෙනාම ඉහත දැක්වු සුදුසුකම් ඉල්ලා තිබුණි. (ප්‍රතිශතයක් ලෙස 98.4%)
තමාගේ / තම පුතුගේ රූප ස්වභාවයද මේ මනාලයන් හා මනාලියන්ගේ මව්පියන් සඳහන් කර තිබුණි. ඒ මෙසේය.

ලක්ෂණ                                                   සංඛ්‍යාව

තමා කඩවසම් බව                                        20
තමා ඉතා කඩවසම් බව                                  03
තමා සුදු හා කඩවසම් බව                                03
තමාගේ වයස නොපෙනන බව                            01
මුළු ගණන                                                 27

තම රූපය ගැන පවසන පිරිස 41%කි.

මනාලියන්ගේ කැමැත්ත

මනාලියන් හා ඔවුන්ගේ දෙමව්පියන්ද තමන්ගේ රූපය ගැන මෙම දැන්වීම් වල සඳහන් කර තිබුණි.

ලක්ෂණ                                                 සංඛ්‍යාව
තමා රූමත්, පැහැපත්, ප්‍රසන්න බව                      21
තමන්ට සිහින් සිරුරක් ඇති බව                         10
තමන් සුදු හා රූමත් බව                                 05
තමන් ඉතා පැහැපත් බව                                 02
තමන්ට ළා බාල පෙනුමක් තිබෙන බව                   02
තමන්ගේ රූපය ගැන ප්‍රකාශ කල මුළු ගණන          40

ප්‍රතිශතය 63%

මනාලියන් අතරින් තමන් තම දියණිය /තමා චාම් බව පවසා තිබුනේ දෙදෙනෙකි. තවත් දෙදෙනෙකු තමන් තළෙළු බව පවසා තිබුණි.

මේ කිතුනු වටිනාකම්ද?

ප්‍රදීපය මෙන්ම වෙනත් සභාවල ප්‍රකාශන වලද විවාහ දැන්වීම් ඇත. පුවත්පත් කියන්නේ කතෝලික කිතුනු සහකරුවෙකු සොයා ගන්න මෙහි දැන්වීම් දමන්න කියායි. ඒත් මේ කතෝලික හෝ කිතුනු වටිනාකම්.

අප කිතුනු පවුල් වලට කිතුනු තරුණ තරුණියන්ට දී ඇති වටිනාකම් මොනවාද? යන්න ගැන බරපතල ගැටළුවක් තිබෙන බව පූජක පක්ෂයට සිතා බැලීමට කාලය එළඹි ඇත. මේ ලියුම්කරු නිතර පවසන දෙයක් වන්නේ ලංකාවේ මිනිසුන්ගේ ඇත්ත ආගම කිතුනු බොදුනු, හින්දු හෝ ඉස්ලාම් නොව ’වෙළඳපල ධනවාදය’ බවයි. ආගමේ කෙනෙකු සොයන්නට ආගමේ පත්තරයට දැන්වීමක් දැම්මාද ඔවුන් අදහන්නේ වෙළඳපළ වටිනාකම් බව මේ සංඛ්‍යා දත්ත පැහැදිලිව පෙන්වා දෙයි.

දේව මාතාවන් සේ චාම් සරල වන්නැයි කුඩා කල සිට ඉගැන්වේ. එහෙත් චාම් සරල බව වටිනාකමක් ලෙස සලකා ඇත්තේ එක් පිරිමි ළමයෙකු පමණි. එය තමන්ගේ වටිනාකමක් යැයි පවසා ඇත්තේ ගැහැනු ළමුන් දෙදෙනෙකු පමණි. මේ සංඛ්‍යා දත්ත අනුව මරියතුමිය වාගේ චාම් සරල වීම මනාලියක වීමට නුසුදුසුකමකි. දෙවියන් වහන්සේ තමාට ලබා දෙන කළු, තළෙලු වර්ණය මනාලියක වීමට බාධාවකි.

jesustodaysl 2 වන වසර 24 වන සතිය 2018 අගෝස්තු 19

Comments powered by CComment