දරුවො දෙන්නා අපෙන් අහද්දි "කෝ අපේ තාත්තා කියලා අපිව පිච්චෙනව. ඒක අපිත් අහනවා අපෙන්. කෝ අපේ මස්සිනා?

 අනාවරණ චාරිකා - 2

යිකිං හෙවත් පාගමන් අද අපේ තරුණ පිරිස අතර ඉතා ජනප්‍රියයි. ඒ වගේම පරිසර චාරිකා, විනෝද චාරිකා ආදියන් ජනප්‍රියි. ඒත් මිනිස් ජීවිත වෙත යොමුවන අනාවරණ චාරිකා වල යෙදෙන තරුණ පිරිස ඉතා අල්පයි. මේ කෙටි සටහන් මාලාව jesustodaysl වෙත ලියන්නේ තරුණ අනාවරණ චාරිකා වල අත්දැකිම් බෙදා හදා ගන්න.

එරාවූර් වල පළමු සැදෑවේ මට ඇය නැවත මුණ ගැසිනි. බොහෝ ආගිය තොරතුරුත් සමඟ අයිසින් කතා වලින් පසු අපි අපගේ ජීවිත වල Turning Points පිළිබඳව කතා කරමින් සිටියෙමු. ඇය ඇගේ හඬ අවදි කරන්නට තීරණය කළේ බොහෝ වේලාවකට පසුය. ඇයට පෙර ඇගේ කඳුළු ඉක්මන් වූ අතර අඳුරු වෙමින් සිටි එරාවූර් අහසත් ඇයත් එකම එකක් බවට ඒ මොහොතේ පත්වන බව අපි

වින්ඳෙමු.

රාජිණි අක්කා කටහඬ එළියට දමන්නේ ඉතා තද ආයාසයකිනි. වචන පැටලෙන සුළුය.

"මගේ පවුලේ ගෑණු ළමයි 4යි එක කොල්ලයි. අපි පස්දෙනාම හොඳට ඉගෙන ගත්තා. එක වතාවක් හැංඟෙන්න දුවද්දි බෝම්බෙකට අහුවෙලා එක අක්කා කෙනෙක්ගේ කකුල නැති වුණා."

" ඇගේ දෑස් ඉතා පාළුය. ඉතා කුඩා... ඉතාමත් කුඩා කඳුළු බිංදුවක් ඇගේ වම් ඇසින් ගලා යයි. නැවතත් කතාවට.

" අක්කට එතකොට බබාලා දෙන්නම ඉන්නවා. තව අක්කා කෙනෙක් කැම්පස් එකේ තුන්වෙනි අවුරුද්දේ හිටියේ. ඉන්න බැරිම තැන මෙහෙන් පැනලා ඉන්දියාවට ගියා"

ඇය දැන් ඉකිගසයි. කාගෙන්ද බේරෙන්න පැනලා ගියේ කියා අසන්නට උවමනා වුවද එසේ අසන්නට දිරියක් නැති බැවින් නිශ්ශබ්දවම හිඳිමි.

"අක්කට වීසා හම්බුණා...

ඒත් නැශනල්ටි නැහැ.

අක්කා කොහේටවත් අයිති නැති කෙනෙක් වගේ එහෙ ජීවත් වෙනවා. අපේ හැමදේම අපි එයාට කියන්නේ ෆෝන් එකෙන්. අම්මා ලෙඩ වුණත් එයා අම්මව දකින්නේ ෆෝන් එකෙන්. අම්මා මැරුණත් ඒක එහෙමයි. එයාට කවදාවත් මෙහෙ එන්න බැරි වෙයි. අපේම රටක් තිබිලත් මුකුත් නැති කෙනෙක් වගේ එයා කොහේදි හරි මැරිලා යයි. මේවා හිතලම අම්මත් අවුරුදු ගාණක් අඩනවා.

අක්කත් ලෙඩෙක්.

ඇඟෙන් නෙමෙයි පපුවෙන්.

මම එයාට තුරුල් වුණු දවසක් මට මතක නැහැ" ඇයගේ කටහඬ නෑසෙන සුළුය. හිරිවට්ටන සුළුය.

"කකුල නැති අක්කගේ බබාලා දෙන්නව හදන්නේ අපි.

අපිට පුළුවන් විදිහට අපි හදනවා.

එයාගේ මහත්තයව හමුදාවෙන් අරන් ගියා. එදා ඉදලා අදටත් තොරතුරක් නැහැ. අපි අපේ මස්සිනා එනකන් තාම බලන් ඉන්නවා.

හැම තැනින්ම අහනවා. ඒත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ. දරුවො දෙන්නා අපෙන් අහද්දි "කෝ අපේ තාත්තා කියලා අපිව පිච්චෙනව.

ඒක අපිත් අහනවා අපෙන්. කෝ අපේ මස්සිනා? අපිට අයියා කෙනෙක් වුණු මස්සිනා? කෝ අපේ අක්කගේ එකම බලාපොරොත්තුව? අක්කා එයාට ඉතුරු එකම කකුලත් එක්ක තාම බලන් ඉන්නවා දවසක මස්සිනා එයි කියලා. අපි එයාට එපා කියන්නේ නැහැ.

හැමදේම නැතිවුණු අපේ පවුලට ඉතුරු එකම බලාපොරොත්තුවත්

ඒක" දැන් ඇය හඬා වැටෙයි.... "මට කියන්න ඕන මෙච්චරයි.

අනේ කාටවත් ආයේ මෙහෙම දෙයක් වෙන්න එපා.

අපිට ආයේ යුද්ධයක් එපා.

තමන්ගේ අය නැතිවෙන දුක විඳින්න අපිට හයියක් නැහැ ආයේ.

දැනටත් අපි මැරිලා ඉන්නේ.

අඩුම ගාණේ මගේ අක්කගේ ළමයින්ටවත් එයාලගේ සහෝදරයෝ නැති වෙන්න හොඳ නැහැ ෂෙනෝ.

ඒක ලොකු දුකක්...

අනේ ආයේ යුද්ධයක් නොඑන්න අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරමු.

මට අක්කලව නැති වුණා.

මල්ලිව නැති වුණා.

මගේ ලොකු අක්කට එයාගේ බලාපොරොත්තුව නැති වුණා.

මගේ අම්මට.......

එයාට හැමදේම නැති වුණා...

මේක කාටවත් වෙන්න හොඳ නැහැ.

මගේ යාච්ඤාව ඒක..

එච්චරයි දෙයියන්ගෙන් මම ඉල්ලන්නේ"

ඇය කදුළු පිසියි. අපට කදුළු නවතා ගැනීම අපහසුය. සමහර කදුළු අපේ ඇස් වලින් ගලා යා යුතුමය. වසර ගණනාවක ඇගේ වේදනාව ගලා යමින් ඇත. ඒ කදුළු අපට සවිය දෙමින් ඇත. මේ රටට සාමයක් ඕනෑය. තුවාල සුවපත් වන සාමයක් ඕනෑමය. දේසපාලුවන් එය රැගෙන එන්නේ නැත. අපි කොහෙන් හෝ පටන් ගත යුතුය. කතෝලිකයා ළගම සිටින බෞද්ධයාගෙන්ද, සිංහලයා ළඟම සිටින දමිළයාගෙන්ද, ගොවිගම ඈයින් ළඟම සිටින කරාවේ මිනිසුන්ගෙන්ද මෙය පටන් ගත යුතුය!! රාජිණි අක්කා, නැවත මෙවන් දෙයක් සිදු නොවනු පිණිස මට කළ හැකි සියල්ලම කරන්නට මම ඔබට පොරොන්දු වෙමි! 

6cac3e4af71ab8dda6dba234a97e4887 ෂෙනු පෙරේරා

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

 

Comments powered by CComment