ඉරුදය මේරි මිත්තනියගේ මරණයටත් වඩා අප හද සසල කළ කථාව වුයේ අනුන්ගේ යුද්ධයක ගොඳුරක්ව මිය ගිය ඇයට රජය ලබාදුන් වන්දිය රු 5000 ක් පමණක් බව ඇසීමයි.

 අනාවරණ චාරිකා - 1


ඇගේ තම ඉරුදය මේරිය. ඈ අපට හමුවූයේ මඩකලපුවේදීය. එය අපේ මිතුරිය ලක්ෂිගේ නිවසේදීය. ඔව් ඒ නිවසේ සාලයේ බිත්තිය මත මල් මාලයක් පැලැන්දු ඇගේ ඡායාරූපය තුළිනි. ඒ නිසල ඡායාරූපය මෙන් නොව ඇගේ කථාව අප සසල කරවු කතාවකි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජීවත් වු ඉරුදය මේරි අම්මාගේ පවුලට හදිසියේ ඇවිල ගිය යුධ ප්‍රහාර මැද දිය යන්නට සිදුවූයේ ඇදිවත පිටිනි. හැත්තෑ හතර හැවිරිදි මේ මිත්තනිය තම දරු මුණුබුරන් සමඟ දිවගියේ ජීවිතය බේරා ගැනීමටය. හත් හැවිරිදි වියේ පමන වු අප මිතුරිය හා ඇගේ සොයුරන් ද, මව්පියන්ද එක දිගට දින තුනක් දිව ගියෝය. ඒ ති‍්‍රකුණාමලයේ සිට මඩකලපුව දෙසටය. ඔවුන් ආ දුර කිලෝමීටර් 100 කට වැඞීය.

දෙපසින් ෂෙල් වෙඩි වරුසා එල්ල වෙල්දී දරු මුණුබුරන් භීතියෙන් ඇලලෙද්දී හැත්තෑ හතර හැවිරිදි ඉරුදය මේරි අම්මාට ද ඒ සියල්ල පොදු වූවාය. හැකි තරම් වෙර යොදා දිව යාම හැර වෙන කිසිදු විකල්පයක් නොවීය. මරණ බියෙන් ජීවිතය සොයා දිවයන අතර පියඹා ආ ෂෙල් ප්‍රහාරයකට ගොඳුරුව මේ මිත්තනිය මැරි වැටුනේ ඒ දිවිල්ල අතරය. තම සදාදරණීය මිත්තනියගේ ඡායාරූපය ඒ නිවසේ සාලයේ ඇති ප්‍රධානම සැමරුමයි.

අද භද්‍ර යෞවනයේ සිටින මිනිපිරිය හා මුණුබුරන් යුද්ධය නැති වටපිටාවක ජීවිතය ඉව කරනු ලැබුවත් ඔවුන්ගේ අත්දැකීම වන්නේ සැබෑ සාමයක් තවමත් නැති බවයි.

ඉරුදය මේරි මිත්තනියගේ මරණයටත් වඩා අප හද සසල කළ කථාව වුයේ අනුන්ගේ යුද්ධයක ගොඳුරක්ව මිය ගිය ඇයට රජය ලබාදුන් වන්දිය රු 5000 ක් පමණක් බව ඇසීමයි.

ආයුධ වෙළෙන්දන් බිලියන ගණන් හම්බනකරන දේශපලාකයින් හා ප්‍රධානින් මිලියන ගණන් හම්බ කරන යුද්දය සාමාන්‍ය ජනතාවගේ ජීවිතය තක්සේරු කරන්නේ සොච්චමකටය. මිලියනයක වන්දියකට වුවද මිත්තනියගේ අඩුව පිරිවිය නොහැකි බව සැබෑය. එහෙත් ජීවිතයක් රු. 5000 කට තක්සේරු කරන රටක් ධාර්මික වන්නේ කෙසේද?

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

 

 

Comments powered by CComment