අප මිනිසුන්ව අපේ මිණුම් දඬු වලින් මනිනා විටදී අප විසින් අනෙකාට සිදු කරන තුවාලයේ තරම මේ චතාරිකයේ මේ කුඩා දියණිය අපට පෙන්වාදෙයි. කිතුනුවන් ලෙස මේශුද්ධවූ සතියේ ඇය උදෙසා අපට පැහැර හැරිය නොහැකි වගකීමක් පැවරී ඇත!

ගම්පහ ගණේමුල්ල කුඩාබොල්ලන ශ්‍රී සුමංගල ප්‍රාථමික විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දියණියකට ඇගේ මව HIV ආසාදිත කාන්තාවක් වීම නිසා අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමිව ගොස් ඇත. උදුරාගෙන ඇත.

2017 වසරේ මාර්තු මාසයේදී මේ පාසලේ විදුහල්පතිතුමන් විසින් මේ දියණියට පාසල් නොපැමිණෙන ලෙස කරන ලද තර්ජන සහ ගර්ජන වලින්පසු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේත්,මාධ්‍යවේදීන්ගේත්, මානවහිමිකම් කොමිසමේත් අප්‍රතිහත වෙහෙසේ සහ ශක්තියේප්‍රතිඵලයක් ලෙස මේ දියණියට නැවත පාසලේ දොරගුළු විවෘත වූ අතර 2018 පෙබරවාරියේදී නැවතත් මේ විදුහල්පතිතුමන් ඇතුළු කණ්ඩායම මේදියණියට නැවත වතාවක් පාසල අහිමි කොට ඇත.

මේ වේදනාව, ප්‍රතික්ශේපය සහ අහිමිවීම දරාගත නොහැකිව මේ දියණිය ජනාධිපතිතුමන් හට ලිපියක් ලියා ඇත. එය මෙසේය.

තෙරුවන් සරණයි!

ආදරණීය ජනාධිපතිතුමනි,

මම ........... දියණිය. මම මේ දිනවල පාසල් ගියේ නැහැ. මට විදුහල්පතිතුමා බනිනවා. මට ඒකට හරිම දුකයි. අනේ ජනාධිපතිතුමනි මම ඉගෙනගන්න හරිම ආසයි. හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරියක් වීමට බලාපොරොත්තු වෙමි. මම මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ ශිෂ්‍යත්වය ලිවීමටසිටිමි. මට හරිම ආසයි ශිෂ්‍යත්වය ලියන්න. 2018.02.19 දින විදුහල්පතිතුමා තිර ගෙනවිත් මාව රූපවාහිනියේ පෙන්නපු දේවල් පෙන්නුවා. එවිටළමයි මට ඇහෙන්න කිව්වා අන්න ............ ගේ ඒඩ්ස් කතාව පෙන්නනවා යයි කියා. එවිට මම හුගක් ඇඩුවා. අම්මා එවිට මාව ගෙදර ගෙනාවා.විදුහල්පතිතුමා කිව්වේ අධ්‍යාපන චාරිකාව ගැන කියන්න එන්න කියලා.

මම රන්ජන් රාමනායක මැතිතුමාගේ ගෙදර ගියා. මට එයාට හැමවෙලේම කරදර කරන්න බෑ. මමයි තාත්තයි අම්මයි ඉන්නේ කුලියට. මේ ගෙදරගොඩක් සැප පහසුකම් නැහැ. අනේ ජනාධිපතිතුමනි මට ඉගෙන ගන්න මාර්ගයක් හදලා දෙන්න. මම හැම වාර විභාගයකින්ම පළමු වැනිය. මම ඔබ තුමාට කරදර කරාට සමාවෙන්න!

දළදා සමිඳු පිහිටයි!

මීට

ආදරණීය....

දියණිය

ශුද්ධවූ සතියට පා තබා ජේසු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය මෙනෙහි කිරීමට යන අපට මිහිපිට උන්වහන්සේගේ දුක්ප්‍රාප්තියේ සාක්ශිකරුවන් මුණගැසෙන විට කිතුණුවන් ලෙස අපි ඔවුනට කොතරම් සංවේදි වනවාද යන්න සිතා බැලිය යුතුම යුගයක අපි ගමන් කරමින් සිටිමු. මේ දියණිය අදදවසේ ජේසුව නිරූපණය කරනු ලබයි. ඇය අසරණව සහ උදව් රහිතව, ප්‍රතික්ශේප වෙමින් සිටිනා කාලවකවානුවක ඇය වෙනුවෙන් අපගේ හඬඅවදි කළ නොහැකිනම් මේ මහා සිකුරාදාවද තවත් එක් සිකුරාදාවක් වනු ඇත.

ජේසුස්වහන්සේ කියා ඇති ලෙසම උන්වහන්සේ අපට කාලයේ සලකුණු ලබා දෙන සේක. මේ චතාරිකයේ අවසාන සතිය වන විට උන්වහන්සේඅපට තවත් එක් සලකුණක් ලබා දී ඇත. විවාහයට පෙර ගැබ්ගත් මවකගෙන් උපත ලද ජේසු නම් වූ දරුවා ප්‍රතික්ශේප වීමේ වේදනාව සහසමච්චලයට ලක් වීමේ තුවාලයේ රිදුම් හොඳින්ම දැන සිටින්නට ඇත. වඩුවෙකුගේ පුතෙකු වූ ජේසු නම් තරුණයා සමාජයේ පහළ පන්තියේයෞවනයෙකු වීමේ රිදුම දැන සිටින්නට ඇත. විප්ලවකාරයෙකු ලෙස හංවඩු ගසනු ලැබූ ජේසු නම් මහා පුරුෂයා සමාජයෙන් පහත හෙලනුලැබීමේ වේදනාව දැන සිටින්නට ඇත. මේ චතාරිකයේ, මේ ශුද්ධවූ සතියේ උන්වහන්සේ මේ කුඩා දියණිය තුලින් ඒ ප්‍රතික්ශේපය නැවතත් අපටපෙන්වමින් සිටී.

හැකිනම් එයට සංවේදී වෙමු!

මනින්නට පෙර, ප්‍රතික්ශේප කරන්නට පෙර ආදරය කරන්නට උත්සහ කරමු!

6cac3e4af71ab8dda6dba234a97e4887ෂෙනූ පෙරේරා

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01

Comments powered by CComment