තාරුණ්‍ය හා චතාරිකය
චතාරික භාවනාවක් - 2

අම්මා තාත්තාගේ ජීවිත අරරැලයට උරදෙන නංගී මල්ලිගේ අධ්‍යපනයට අත දෙන ආච්චි සීයාගේ අවශ්‍යතාවය සොයා බලන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද ?

හිස් බස් වලින් කාලය කා නොදමන ජීවිතය දිනවන දැනුම සොයාගෙන ඇසෙන දේ අසනු වෙනුවට පෙනෙන දේ බලනු වෙනුවට සොයාගෙන හරවත් දේ අසන හරවත් දේ බලන ජීවිතයට දැක්මක් සොයන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද ?

ගම් පලාතේ අකුරු නූගත් නංගිලා මල්ලිගේ දෑස් පෑදීමට ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන හරවත් දෙයක් කිරීමට වෙහෙසෙන ප්‍රචාරක වාදයකට යට නොවී දකුණත කරන දේ වමතට නොදැනෙන සේ අසරණයාගේ අවශ්‍යතා සපුරන්නට වෙහෙසෙන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද?

යුක්තිය සාධාරණය උදෙසා වචනයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ක්‍රිය කරන ස්වභාව දහමට ආදරය කරන පරිසරය රැකගන්න වෙහෙසෙන යුද්ධයට ආ නොවඩන ආගම්වාදයට ජාතිවාදයට යට නොවී පුළුල් දැක්මකින් සියළු ජනතාවගේ දේව ස්වරූපය රකින්නට ක්‍රියා කරන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද?

පව්කාර ස්ත්‍රීයව තේරුම් ගත් ක්‍රිස්තු හදවතින් තම බේබදු තාත්තාව තේරුම් ගන්න... තමාව හැර ගිය වෙනත් විවාහයක් කර ගත් අම්මාව තේරුම් ගන්න.... අනියම් සබඳතාවලට යොමු වු මවට පියාට පවා සමාව දෙන තමාව අත්හැර දමණු ලැබු පෙම්වතාට පෙම්වතියට වෛර නොකරන පාපී මිත්‍රයන්ව මන:ස්ථාපනයට කැඳවන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද ?

වඩාත් සාධාරණ ප්‍රේමණීය ලෝකයක් ගොඩනැගීමට නිස්සරණද්‍යාශයෙන් ක්‍රියාකරන ලොව කොතැනක හෝ පීඩාවට පත් වන්නාගේ හිමිකම් උදෙසා ක්‍රියා කරන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද?

මත්පැන් මත්ද්‍රව්‍ය විලාසිතා භෞතික ලෞකික වත්පොහොසත්කම් ලඟ රූකඩ වෙස් නොගෙන, යුගයට ගැලපෙන අධ්‍යාත්මයක් ගොඩනගාගත්, රැල්ලේ ගසාගෙන යන අතට පා නොවී උඩුගම් බලා පිහිනන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපය නොවේද ?

සිතා බලන්න...

දෑවෑද්දක් නොමැතිව කොතැනක හෝ හිදිවී, කෙදිනක හෝ වඩිවී කියන හිමිකාරයා කිසි දිනක නොපැමිණි, අවස්ථාවාදි නරුමයන් පමණක් සමහර විට ලංවි අතර මං කර අනාථ කර දමන, යටලීයෙන් පමණක් නාරිලතා මල් දකින, යෞවනයේ කල දවස සෙමින් සෙමින් ගෙවී යන තරුණ තරුණියන් සිටියදී රුපියල් ලක්ෂ ගණනින් වැය කරන විවාහයේදි හිස් වටිනාකම් වලට යටවෙන තරුණයා තරුණිය ක්‍රිස්තියානිද ?

ලොව පුරා දිනකට 25000 කට වඩා දරුවන් මන්දපෝෂණයෙන් මැරෙද්දී සුවඳ විලවුන් රූපලාවන්‍ය ද්‍රව්‍ය ආදිය සඳහාත්, අත්‍යාවශ්‍ය නොවන ආහාර පාන සඳහාත්, අනවශ්‍ය ලෙස වැය කරන තරුණයා තරුණිය.... ක්‍රිස්තු පෞරුෂය වෙනුවට රූපවාහිනි, ගුවන් විදුලි නාලිකා ජනප්‍රිය කරවන බොල් ප්‍රතිරූප වන්දනාමාන කිරීම ක්‍රිස්තු නායකත්ව වෙනුවට ආගමෙ ජාතියේ ප්‍රදේශයේ නාමයෙන් හෝ ක්‍රීඩා භාණ්ඩ ටිකක්, මලගෙදරකට පැමිණීමක්, රස්සාවක් ලබා දීමක් කල පමණින් පවිටු දේශපාලකයින්ට හිස නැමීම, හුරේ දැමීම සැබෑ වු එකම දෙවියන් ප්‍රතික්ෂේප කිරිමක් නොවේද ?

අදත් ජීවමනාව රඟ දැක්වෙන ක්‍රිස්තු දුක්ප්‍රාප්තියට අප හදවත් අවධි නොකරන්නේ නම් පාස්කු නාට්‍ය පොලක් නොවේ.

පාස්කු නාට්‍ය්‍ය පාස්කු ගීතය, පාස්කු දේශනය ජීවමානව ජීවත්වන රඟදැක්වෙන නික්මයාමේ එතෙරවීමේ පෞද්ගලිකවුත් පොදුවුත් අරගලයට අප හදවත් විවෘත කළ යුතුය.

තරුණ ක්‍රිස්තුස් පෙන්වා දෙන ජීවන මාර්ගය අනුසාර කිරීමට අප අපගේ අධිෂ්ඨනය අළු කර ගත යුතුය. රූපවාහිනියේ කැමැත්ත ගුවන් විදුලියේ කැමැත්ත වෙළඳ සමාගම් වල කැමැත්ත පවිටු දේශපාලකයන්ගේ කැමැත්ත සමාජයේ ලෝකයාගේ කැමැත්ත වෙනුවට දේව කැමැත්ත ඉටු කිරීම සඳහා දේව කැමැත්ත සොයන්නට අපේ සිත නැමැති මල් උයනට නිරතුරුව අප ඇතුළු විය යුතුය.

ලොවේ කැමැත්තට මාගේ හදවත ඇදී යන විටදී
සිත් මල් උනයට ඇතුළු වෙන්න දෙන්න වරම් සමිදේ

එසේ ඇතුළු වු විට දේව කැමැත්තත් සමාජයේ හා මාගේ කැමැත්තත් හරස් වීම නැමැති අපගේ දිනපතා කුරුසිය අපට හමුවේ. එය දරාගෙන අපත් කිතුතුමන් ගමන් කර පටු මාවත තුළ ගමන් නොකරන්නේ නම් අප ක්‍රිස්තු අනුගාමිකයන් නොවේ.

දේව කැමැත්තට මගේ කැමැත්ත. සමාජයේ කැමැ්තත යට කිරීමෙන් ලබන කුරුසියේ විජයග්‍රහනයේ මහා සතුට (ලෝකයේ ඇති සිරාම සිරා ෆන් එක. මාවත් මාගේ පවුලත් මාගේ සමාජයත් ගලවනු ලබන ෆන් එක) අයිති කර ගන්නට සා පිපාසිත තරුණයෙක් තරුණියක් දෙවියන්ට අද අවැසිව ඇත.

ඔබ ඒ තරුණයා තරුණිය වීමට කැමැතිද ?

ඒ තරුණයා තරුණිය වීම සඳහා අප අද සිටින තැනින් එතෙර වීමට කාලයයි මේ ලෝකයම ගලවන අළුත් තාරුණ්‍යයක සුලකුණ වන කුරුසිය අනුගමනය කරනු සඳහා තීරණයක් ගැනීමට කාලයයි මේ.

 jesustoday 53 සතිය 2018 මාර්තු 04

Comments powered by CComment