තාරුණ්‍ය හා චතාරිකය
චතාරික භාවනාවක් - 1

කුරුස සුරුවම් තුළ ඒ තරුණ බව එතරම් දැකිය හැකි නොවුනත් ඔව්, ඒ ඇණ ගසා සිටින්නේ අවුරුදු 33 ක මිනිසෙකි.

පාස්කුව තරුණයෙකුගේ ප්‍රේමයේ විප්ලවයකි.

 

ඒත්, වත්මන් තරුණ අපි ඒ ක්‍රිස්තු තාරුණයාගේ ප්‍රේමයේ විප්ලවයට සාක්ෂි දරමුද ?

අපේ චතාරිකය සැමරුම් ක්‍රිස්තු තරුණයා සතු වු ජීවිත දැක්ම, ජීවිත දර්ශනය, ජීවිත ආකල්ප, ජිවිත පැවැත්ම අපට අයිති කර දෙන්නේ නැත්නම් එකි සැමරුම්, පැවැතුම් භක්ති අභ්‍යාස, හුදු සිත් රවටා ගැනීම්ක පමණි.

මේ ආත්ම සෝදිසිය එවන් අයිති කර ගැනීමක් උදෙසාය.

අද අපේ කාලය තුළ ක්‍රිස්තු තරුණයා ජීවමාන වන්නේ කොතැනද ?

සෙල්ෆෝන් කන තබාගෙන පැය ගණන් බොළඳ සුරතල් බස් දොඩන සෙල් ෆෝනයට ඇගිලි තුඩින් ඇන ඇන කෙටි පණිවුඩ වලින් ජීවිතයේ ෆන් එක සොයන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

රැකියාවක් සොයාගත් විට අම්මා, තාත්තා, නංගි, මල්ලි, පවුලේ අගහිඟකම්, අත්‍යවශ්‍යතා පසෙකලා සෙල්ෆෝන්, විලාසිතා, මෝටර් සයිකල් පසුපස “මම පිපාස වෙමි” යි හදවතින් කියමින් දිව යන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

විරැකියාවෙන් පෙළමින් නමුත් මිරිස් පැල දෙක තුනක් කෙසෙල් පැලයක් හෝ වවන්නට උනන්දු නොවෙමින් කුණු රොඩු ටික වළ දමන්නට වලක් කපන්නටවත් ඉදිරිපත් නොවෙමින්, වලං පිඟන් ටික සේදීමත් අතපසු කරමින් නිකරුනේ කාලය කා දමන යව්වනයා, යව්වනිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමානය රූපයද ?

ඉතාලි, ප්‍රංශ, කොරියන් සිහින දකිමින්, ලොතරැයි දිනුම් සුපිරි තරු වරම් වලින් ජීවිත ගොඩයන්න පෙරුම් පුරමින්, නමුත් දෑතේ වැඩක් ඉගෙන නොගමින් ජීවිතයට අවශ්‍ය කුසලතා නොඋපයමින් කාලය කා දමන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

පෙම්වතා පෙම්වතියක වීමේ සුදුසුකම අලුත්ම පන්නයේ මෝටර් සයිකලය, විලවුන් වර්ගය සුදු කෙට්ටු ශරීරය මස්පිඩු සහිත හැඩි දැඩි සිරුර යැයි සිතමින් ප්‍රචාරණ දැන්වීමෙන් පෙන්වා දෙන ද්‍රව්‍ය හා දිරායන සිරුර ප්‍රේමයේ සුදුසුකම ලෙස සලකා එය හිමිකරගන්නට වෙහෙසෙන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?
දෙවිදුන් ලබාදුන් තම රූප ස්වාභාවය ගැන හීනමානයෙන් පෙළෙමින් මැවුම්කාර දෙවිඳුන්ට ව්‍යංගයෙන් අපහාස කර ආලේප මගින් කොන්ඩ මෝස්තරය මගින් බඩගින්නේ සිටීම මගින් තම රූප ස්වාභවය වෙනස් කරගනිමින් තමාගේ ඉරණම වෙනස් කර ගන්නට සිතන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

සමාජ රෝග හා ලිංගික ආශ්‍රීත රෝග සඳහා වැඩි වැඩියෙන් ගොඳුරුවන, අනවශ්‍ය ගැබ් ගැනිම් තුළින් ගබ්සාවන්ට බහුලව යොමුවන ප්‍රේමය යනු ඇඟ මසට ලොබ බැඳීම යැයි වරදවා වටහාගත් තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

හිස්කල බියර් හා අරක්කු බෝතල් ගැන පුරසාරම් දොඩන කංසා අභිං මර්ජුවානා, හෙරොයින් පමණක් නොව කැස්සට දෙන පැණි කොන්ඩෙට දාන ජෙල් පවා මත්වෙන්නට බොන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

කැපිපෙනීම පිණිස සමාජ තත්වය පිණිස අයුතු ලාබ ලබාගනු පිණිස සමිති සමාගම්වල වැඩ කරන ධනය බලය උදෙසා වංචාකාරි දේශපාලනඥයින්ගේ අතකොලු වී ක්‍රියාකරන ආගම දහම විලාසිතාවක් කරගෙන මවාපෑම් කරන අන් අයට අවස්ථාවක් නොදෙන තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

ජාතිවාදයෙන්, ආගම්වාදයෙන්, කුලවාදයෙන්, කල්ලිවාදයෙන්, පක්ෂවාදයෙන් මං මුලා වී සියල්ලන්ගේ තාත්තා වන දෙවිඳුන්ට දැන හෝ නොදැන අපහාස කරන පටු ජීවිත දර්ශනයක් ඇති තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

‘ජීවිතේ මල් අම්මා ඉන්න කල්’ යැයි පවසන තම යට ඇඳුමත් අම්මාට හෝදන්නට දෙන, කාලා පිඟාන නොසෝදන, ගෙයක් දොරක් අතුගාගන්නට උනන්දුවක් නැති අම්මා තාත්තා කෑවා දැයි නොඅසන අම්මා තාත්තා දවස් තිස්සේම නැහීගෙන වැඩ කරන විට රූපවාහිනිය ළඟ වාඩි වී සිහින කුමර කුමරියන් අගයමින් ආතල් ගන්නා තරුණයා තරුණිය ක්‍රිස්තු තරුණයාගේ වර්ථමාන රූපයද ?

jesustoday 51 සතිය 2018 පෙබරවාරි 18

Comments powered by CComment