කිතු හද ගැස්ම - 2

පස්වරු 2.30 දුම්රිය එනතුරු කටුකුරුන්ද දුම්රිය පොළට වී සිටියෙමු. කළුතර සිට දකුණු පයාගල දක්වා දෙවන දුම්රිය මාර්ගය විවෘත කිරිම සඳහා වැඩ කරන සේවයකියින්ගේ දිවා විවේකය තවමත් නිමා වී නැත.

ඔව් හු විවිධ කථා බස් වල නිමග්නව සිටි. ඇතැමුන් උස් හඬින් ද, තවකෙකු පහත් හඬින් ද. අප අසලම සිටිනා දෙදෙනාගේ කතාව තම ප්‍රධානියෙකු ගැනය. ප්‍රධානියාට ගොට්ට අල්ලන සහෝදර සේවකයෙකු ගැනය.

“ඌව ඉතිං ලොක්කා හැදුවේ නත්තලට මරන්න හඳන පයාගල ඌරෙක් වගෙනේ”

සම්මතයේ නැති එම උපමාවෙන් අපගේ සම්පූර්ණ අවධානය ඔවුන්ගේ කතා බහ වෙත යොමු විය. “හරි ආදරෙන් කන්න දීදි බඩ බිම වදින කල් හදලා නත්තලට ෂෝට් එක දෙනවා. ඒ වගේ තමයි ලොක්කා ඕකට කිසි වැඩක් දුන්නේ නෑ. නිකම්ම තියා ගත්තා අන්තිමට ඌව කපලා දැම්මා”

නත්තලට මරන මයාගල ඌරාගේ උපමාව පිළිබඳ සවිස්තර තොරතුරු එසේ දිග හැරෙද්දී අප ඔවුන් දෙස ඕනැ කමින් බැලුවෙමු. ඔව් හු කිතුනුවන් නොවන බව නිරීක්ෂණය කළ හැකි විය.

නත්තල සමඟ බැඳි ඇති ඌරු මැරිල්ල අපගේ මතකයට නැගුනි. සැබැවින්ම මීට වසර 10 කට පමණ ඉහත දෙසැම්බර් 23, 24 දිනවල නත්තල් සාදය පිණිස මස් කරන්නට හදා මරන ඌරන්ගේ විලාප හඬ අප සවන් පෑරු හැටි දැනුදු දැනෙන්නා සේය. මාස ගණනාවක් කන්න දී හැදු ඌරන්ව මරන ඒ දර්ශන ‘ඌරු මස්’ අනුභවයට අප තුළ තිබු කැමැත් මුළුමනින්ම මකා දැමුවා නේද යන සිතුවිල්ල අප හදට ඇතුළු විය. දැන්නම් ඌරන්ගේ මර ලතොනි අපේ ගම්වලින් නොඇසෙන තරම්ය. ගං ඌරන් හැදීම දැන් සිදු නොවන ගානය.

ඒ සමඟම අප මතකය දිව ගියේ හරක් මස් අනුභවය අපට එපා කළ අප යොවුන් කළ අප හද පෑරු තවත් සිදුවීමක් වෙතයි.

එකල අපගේ දෙව්මැදුරේ මංගල්‍යයට නුවාන ආරම්භ වන විටම වාගේ පල්ලිය වත්තේ හරකෙකු ගෙනවිත් ගැට ගසයි. දවස් කීපයක් නුවානයට යද්දී දකින මේ හරකා වෙස්පර්ස් දා රෑ මරා දමන්නේ මංගල්‍යය දා දෙනු ලබන දානය වෙනුවෙන් බව දැනගත් පසු යොවුන් අප හද කම්පා විය.

පසුව එම හරක් මැරිල්ල නවතා දැමුවද ඒ ඉතා අවලස්සන ක්‍රියාව වර්ෂ ගණනාවක් ක්‍රියාත්මක වූ සැටි නම් මතකය.

‘නත්තලට මරන ඌරා වගේ’ වැනි උපමා අපගේ නත්තල් සංස්කෘතියේ ඇති එක් පැත්තක් අනාවරණය කරයි. බොහෝ අන්‍යාගමික මිතුරන් හා නෑයින්ද නත්තලට පැමිණියේ ඒ නත්තලට මරණ ඌරු මංශද රස විදීමට බවද ඇත්තකි.

jesustoday 43 සතිය 2017 දෙසැම්බර් 24

 

Comments powered by CComment