රංජන් රාමනායක යනු මා ප්‍රියකරන නළුවෙක් නොවේ. නමුත් "මායා" හී ඔහුගේ රංගනය කුමක් හෝ හේතුවකට ඔහු ගැන යහපත් හැඟීමක් මා තුළ ඇති කරයි. "කාංචනා" මා නරඹා තිබුනද කාංචනාගේ අඳෝනාව මායාගේ මට හුරු බසින් ඇසෙන විට මගේ ජීවිත කාලයක් පුරාවට මා දුටු එවන් වූ මිනිසුන්ගේ විලාපය මගේ හඳවත අවුලුවාලයි.

 

මගේ ගමේද මායාගේ ස්වාභාවයේ මිනිසුන් කිහිප දෙනෙකු ජීවත් වන අතර ඉන් එක් අයෙක් මගේ අම්මාගේ ළඟම මිතුරෙකි. කුඩා කාලයේ පටන් ඔහුට විහිළු නොකෙරූ අල්පයක් දෙනා අතර මගේ අම්මා සිටීම නිසා අද වයස අවුරුදු 45දී ද ඔවුන් හොඳ මිතුරන්‍ ය. අම්මා නොදන්නා සමහර අළුත් කෑම වර්ග සාදන්නට අම්මාට කියාදෙන අම්මාගේ මිතුරිය ඇයය. මමත් මල්ලීත් කෙතරම් හොඳින් කා බී සිටියත් "හපෝයි බබාලා කෙට්ටු වෙලානේ" කියා කියන ඒ දයාබර මාමා ඔහුය. ඉන් නොනැවති අප දෙදෙනාට කන්න දෙන්නට හොඳ කෑම අම්මාට යෝජනා කරන ආදරණීය නැන්දා ඇයය.. ගමේ බොහෝ මඟුල් තුලා වල උයන්නට ආරාධනා ලබන මේ ගණයේ මිනිසුනට මඟුලකට හොඳින් ඇඳපැළඳ සහභාගී වන්නට ආරාධනා ලැබෙන්නේ කලාතුරකිනි.

බුකියේ මහා පථ දාර්ශනික කතන්දර කියන මිනිසුන් පවා පිරිමි දරුවෙක් සාමාන්‍ය ආකාරයට වඩා කුලෑටි හෝ වෙනස් චර්යා රටාවක් පෙන්නුම් කරන විට "ආහ් මූ සමනළයෙක්" කියා කියන්නට දෙවරක් නොසිතයි. මම උසස් පෙළ පන්ති ගිය එක්තරා පන්තියකට මායාගේ ගණයේ පිරිමි දරුවෙකු පන්ති ආ අතර ඔහු අසුන් ගත්තේ පිරිමි දරුවන් අසුන් ගන්නා පෙදෙසේය. නමුත් පන්තිය ආරම්භ වූ මොහොතේ පටන් ඔහුට විඳින්නට වූ නින්දා අපහස ඔහුගේ පන්ති ගමන ඉතා කෙටි එකක් බවට පත්කළේය. ඒ යුගයේ මා නොදන්නා ඒ මිතුරා වෙනුවෙන් පෙනී සිටින්නට මට ආත්මශක්තියක් තිබුණා නම් ඔහුත් අද විශ්වවිද්‍යාලයේ බව නොසිතා ඉන්නට මට නොහැකිය.

අපේ අසල්වැසි රට වන ඉන්දියාවෙන් මේ වන විට මායාගේ ගණයේ ප්‍රථම පොලිස් නිළධාරිනිය බිහිවීමට නියමිතය. ඇය නමින් කේ. ප්‍රීතිකා යශිනිය (K.Prithika Yashini). ඇය ඉන්දියාවේ තමිල්නාඩුවෙන් ඇගේ රැකියාවට පා තැබීමට නියමිතය. එමෙන්ම එම රටෙන්ම ඔවුන්ගේ ප්‍රථම සංක්‍රාන්ති ලිංගික විනිශ්චයකාරිනිය පසුගිය ජූලි මාසයේදී බිහි විය. ඇය නමින් ජොයිතා මොන්දාල් ( Joyita Mondal) වන අතර ඇය උතුරු බෙංගාලයේ මේ වන විට ඇගේ රාජකාරියේ නිරත වෙයි . නමුත් ඒ සියගණනක් වූ චරිත අතරින් දෙදෙනෙකු පමණි. ලොව ඕනෑ තරම් පොලිස් නිළධාරීන් හා විනිශ්චයකාරවරියන් සිටියදී මේ දෙදෙනා විශේශ වන්නේ ඔවුන් සංක්‍රාන්ති ලිංගිකයන් වීම නිසාද යන්න ඔබට ප්‍රශ්න කිරීමට හැකිය. නැත. සංක්‍රාන්ති ලිංගිකයන් යනු අමුතු ජීවින් කොට්ඨාසයක් නොවන අතර ඔවුන් අප වැනිම මිනිසුන්‍ ය. නමුත් ප්‍රීතිකා සහ ජොයිතාගේ ජයග්‍රහණයන් විශේෂ වන්නේ අප විසින් ඔවුනට යා හැකිව තිබූ මාවත් වසා සහ ඔවුනට බොහෝ අසාධාරණයන් සිදුවන විටදී ඒවා නොදැක්කා සේ හිඳින විටදී ඔවුන් ඒවා අත්කරගත් බැවිනි. එමනිසා මැයි පළවනදා ලොව පුරා වෙසෙන කම්කරුවනට විශේෂ වන්නේ යම් සේද, නත්තල කතෝලිකයන්ට විශේෂ වන්නේ යම් සේද එලෙසම මේ සුන්දර මිනිසුන්ගේ ජයග්‍රහණයන් මුළු මානව සංහතියටම විශේෂ වන්නේ නිතැනිනි.

මායා හී එක් දර්ශනයක මායා කදුළු පිරි දෙනෙතින් විමසන්නේ "අපි මෙහෙම ඉපදුණු එකේ වරද මොකක්ද?" කියාය. වරද ඇත්තේ ඔවුන් තුළ නොව ඔවුන් සාමාන්‍ය මිනිසුන් ලෙස පිළිගෙන ඔවුනටද අප මෙන් ජීවිතය දිනන්නට ඉඩ නොදී මග අහුරන, ඔවුන් දෙස බලා රහසින් හිනැහෙන අපේය.. එවන් මිනිසෙකු පාරේ දුටු විට පවා අමුතු සතෙකු දුටුවා සේ හැරි හැරී බලන අපේය. ඔවුනට පාසල් එන්නට හෝ පන්තියකට එන්නට ඉඩ නොතබන අපේය. ඉතින් අප වෙනස් නොවන තුරු මායාහී වෛද්‍යවරියක් වූ "මධූ" ලා මේ රටට ඉතා දුර සිහින වනු ඇත. මඟුල්ගෙවල් සහ මරණ ගෙවල් හී දානය උයන්නට පිළිකන්නෙන් ගෙට පිවිස පිළිකන්නෙන්ම පිටව යාම ඔවුන්ගේ උරුමය ලෙසට සදාකාලිකව තීන්දු වනු ඇත.

ෂෙනූ පෙරේරා

jesustoday 42 සතිය 2017 දෙසැම්බර් 17

Comments powered by CComment