ඔබ දකින්නේ, ආසියාවේ ආශ්චර්මයත් දූපතේ මව්පිය යුවලකි. මේ මුහුණුවල ඔබ දකින්නේ කුමක්ද ?

දිළිඳුකම, පීඩාව, වේදනාව අසරණකම මිස අන් කුමක්ද ?
මේ කැකිරාවේ පාසලක විදුහල්පති ගුරු මඩුල්ල හා ඇතැම් දරුවන්ද එකතුව පාසලෙන් නෙරපා හැරිය දියණියගේ මව්පියන්ය.

මේ වියපත් මව්පියන්ගේ දියණිය 10 ශ්‍රේණියේය. පාසලින් අස් කිරිමට හේතු වූයේ වමනයයි. වමනයට හේතුව දරු ගැබැකෙයි කියාය විදුහල්පති ගුරු මෑණියන් ඇතුළු ගුරු මව් පියන් හඳුනාගෙන තිබුනේ, වෛiවරු හේතුව හඳුනාගෙන තිබුනේ කුසගින්න ලෙසයි.

නිසැකවම මේ මවත්, පියාත් කටුමැටි පැළත් ඒ කුසගින්නේ ජීවමාන සාක්ෂි නොවන්නේද?
දැන් ඒ දියණියට නගරයේ හොඳ පාසලක්, ශිෂ්‍යයත්වයක්, ඉදිරියේ නිවසක්ද ලැබුනු බව, ලැබෙන බව ප්‍රකාශයට පත් වී ඇත. විදුහල්පතිනියගේ වැඩ තහනම් වී පරීක්ෂණ පැවැත්වේ.

එහෙත්, මේ යොවුන් දියණියට ඇති වු අපහාසය කම්පනය ඉන් මැකෙන්නේ නැත.

ජයට හැඳ පැළඳගත්, තෑගි භෝග මල්ලක් අතින් ගත්, වාහනයකින් පැමිණෙන මව්පියන් යුවලකට මේ විදුහල්පති තුමිය හා ගුරුවරු මෙවැනි කී ප්‍රතිචාරයක් දක්වයිද.

උස්තැන් දැක හැකිලෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
කව්දැයි එස් මහින්ද හිමියන් ලියා ඇත. මේ සිදුවූයේද එවැන්නක් නොවන්නේද
පහත දැක්වෙන්නේ මෙම සිදුවීම ඇසුරින් එම මව්පියන්ගේ ඇසින් බලා තුෂාරි ප්‍රයංගිකා විසින් ලියු කවියකි.

අපේ හුස්ම බිංඳුව
තියෙන්නේම
උඹ ළඟයි දුවේ !

කුලියක් කරන් රෑ දාවල පිරිමහලා
දවසට වරක් විතරම විටෙකදි කාලා
දරුවට උගන්නන්නම වීර්ය යොදලා
අතපය වාරු නැති තරමට අපි දිරලා

ඉගෙනුම තමයි ඈ පළඳන රන් මාලේ
ඒකම තමයි අපි දෙන්නගේ එක හීනේ
හීනෙට වෙඩි තබා විසිරුණි මුතු මාලේ
කෙලෙසක එකතු කරමුද ජීවිත නූලේ

අකුරින් අකුර බැඳි පොත්වල කොල ඉරිලා
අකුරක් කියා ගන්නට බැරි මුව වැහිලා
වෙනදා වගේ හිස ඔසවන්නට හැරිලා
බැරි තරමටම මගේ දූ අඬනවා වැටිලා

තේ කහටකින් කුස පිරෙනා දවස් වැඩි
පොතපත ගන්න රුපියලයත් එකතු වෙතී
ඇඳුමක් වුණත් කහ ගැහිලා තැනක ඉරි
පිරිමහගන්න දුක විතරයි පපුව පැළි

වමනය දමන හිස් බඩවල් නිමක් නැතී
කුසගිනි නොදත් උන්හට ඉන් වගක් නැතී
තනතුරු මිසක මිනිසත්කම ඇත්ද සකී
ඇස් කන් පියන් ඉන්නා හැටි පුදුමයකී

මගේ දුව තමයි අපේ ලෝකයේ රජ කිරුළ
හිරු සඳු ලෙසින් දිලෙනා අහසට එළිය
සියපත නැගෙන්නේ මඩ කළලක මතුය
මගේ දුව පිපෙන්නේ වැව්දිය ඉහළකය

මගේ දූ වගේ දූවරු ඇති ඉකි බිඳිනා
කාටද ඇහෙන්නේ මහතුනි කෑ ගහනා
බලයට තමයි කොයි කවුරුත් හිස නමනා
යුක්තිය මොටද රෙදි පොටකින් බැඳ දමනා ?

Comments powered by CComment