මගේ පෙනුම මොන වගේද ? එය අන් අයට ආකර්ශනීයද? කියන හැඟීම එක්ක හුඟ දෙනෙකු කරදර වෙනවා. ඇතැමුන් ඒ නිසා විශාල ලෙස මානසික පීඩාවකට පත් වෙනවා. ‘මගේ පෙනුම හරි නෑ’ ‘මම කැතයි’ ‘මම කෙට්ටුයි’ ‘මම මහතයි’ ‘මගේ කොන්ඬේ හරි නෑ’ ‘මගේ පාට තද වැඩියි’ ‘මගේ මූණේ කුරුලෑ වැඩියි’ ඔය වගේ දහසක් දුබලතා පේන්න ගන්නවා.

 

‘පෙනුම’ ගැන සිතන්න පටන් ගන්නේ නව යව්වනයේදි යි. කැඩපත ඉදිරියට ගොස් හැඩරුව බලන්න පෙළඹීමක් මේ වයසේදි ඇති වෙනවා.

ඔබත් එහෙම නේද?

ඒක බොහොම ස්වභාවික පෙළඹීමක්. ඒකට හේතුව තමයි ‘මම’ පිළිබඳ හැඟීම මේ වයසේදි ඇති වීම.

මගේ පෙනුම මොන වගේද ? එය අන් අයට ආකර්ශනීයද? කියන හැඟීම එක්ක හුඟ දෙනෙකු කරදර වෙනවා. ඇතැමුන් ඒ නිසා විශාල ලෙස මානසික පීඩාවකට පත් වෙනවා. ‘මගේ පෙනුම හරි නෑ’ ‘මම කැතයි’ ‘මම කෙට්ටුයි’ ‘මම මහතයි’ ‘මගේ කොන්ඬේ හරි නෑ’ ‘මගේ පාට තද වැඩියි’ ‘මගේ මූණේ කුරුලෑ වැඩියි’ ඔය වගේ දහසක් දුබලතා පේන්න ගන්නවා.

එහෙම වෙන්නේ ඇයි ? සම්මත සමාජය තුළ ‘ලස්සන’ ‘කඩවසම්’ පෙනුම ගැන තිබෙන මිනුම් දඩු නිසයි. විශේෂයෙන් ප්‍රචාරණ මාධ්‍ය මගින් ලස්සන බව ගැන, කඩවසම් බව ගැන ඇති කරන ප්‍රතිරූප නිසයි.

මේ සම්මත ප්‍රතිරූප එක්ක අපි අපේ පෙනුම සසදන්න බලනවා. අන්න එතකොට හුඟ දෙනෙකුට තමන් ගැන හීනමානයක් ඇති වෙනවා. මේ හීනමානය නිසා සමහරු කනස්සල්ලට පත්වෙනවා. තමන් විසින්ම තමන්ව කොන් කරන්න පටන් ගන්නවා. සමාජයෙන් ඈත්වෙනවා.

තව සමහරු තමාගේ පෙනුම වෙනස්කරගන්න බොහෝ දේවල් කරන්න පටන් ගන්නවා. කොන්ඩ මෝස්තරය වෙනස් කරනවා. ආහාර පාලනය කරනවා. ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. විලාසිතා වලට යොමුවනවා. මේ දෙකම අන්ත දෙකක්.

විය යුත්තේ තමාව භාර ගැනීම. කිතුනු දරුවන් ලෙස නම් දෙවිදුන් ඔබට දුන් ඔබේ ස්වභාවයට ආදරය කරන්න. ඔබ ඔබව හුඟාක් වෙනස් කරගන්න හදනවා කියන්නේ ඔබ දෙවියන්ට කියනවා ‘ඔයා මාව නිර්මාණය කරලා තියෙන්නේ වැරදියට කියලා’.

අප උනන්දු විය යුත්තේ ‘පෙනුම’ ගැන නොවෙයි. ‘චරිතය’ ගැනයි. ප්‍රසන්නව සිටීම වැදගත් හැබැයි ප්‍රසන්නව සිටිනවා කියන්නේ වෙළඳ පොළ පෙන්වා දෙන ආකාරයේ භාහිර පෙනුමක් ඇති කර ගැනීම නොවෙයි.

“ඔබගේ අලංකාරය කොණ්ඩා මෝස්තර ද රන් රිදි ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රදා නොබිතිය යුතුය. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙනි. හදවතින් නඟින කාරුණික තැන්පත් ගති පැවැතුම් මගිනි. ඒ අලංකාරය දිරා නොයන සුළුය.” දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේය. (1 පේදුරු 3/3-4)

දෙවියන් ඉදිරියේ ඉතා අගනා කෙනෙකු වීම සඳහා අත්‍යාවශ්‍ය වන්නේ කුමක්ද? යන්න දැන් නව යොවුන් ඔබ දන්නවා.

ඒ නිසා ඔබේ පෙනුම ගැන ඕනැවට වඩා කරදර නොවන්න. ඒ වගේම අන් අයගේ පෙනුම ගැන උසුළු විසිළු කිරීමත් පෙනුම මිනුම් දණ්ඩ කරගෙන සැලකීමත් නවත්වන්න.

මෑතකදි යොවුන් ගැහැනු දරුවෙකු දිවි නසාගෙන තිබුනේ යහළුවන් දිගින් දිගටම ඇගේ පෙනුම විහිළුවට ගැනීම නිසා. ඒ දරුවාගේ මරණයට ඒ අය වගකිව යුතුයි. ඔබ ඔබ වන්න. වෙන අයෙකු වෙන්න එපා.

සඳ සඳ වගෙයි
හිරු හිරු වගෙයි
මල් මල් වගෙයි
අපි අපි වගෙයි

ඒ ගීත කණ්ඩයේ අදහස තේරුම් ගන්න. ඔබ ඔබ වගේ වෙන්න.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 23

Comments powered by CComment