මේ සියල්ල තුළ මතුවන පොදු පණිවුඩය තමයි එකම අරමුණකින් එකතු වෙනවා නම් සියලු බේද ඉවතලා ජීවිතය වැදගත් කොට සලකා ක්‍රියා කරනවා නම් ලෝකය තුළ ජිවිතය විකසික කරන්න පුළුවන් කියන දේ. මේ ළමයි 12 වගේ මුළු මානව සම්මුතියම අද සිටින්නේ ලේසියෙන් ජීවිතය බේරාගන්න බැරි පවතින ක්‍රමය නැති උමං මාර්ගයේ අතරමං වෙලා. ඉන් මානව සම්මුතියෙන් මුදවා ගන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ වගේ, සැබෑ ගෝලීය මෙහෙයුමකට පමණයි. 

නම් තැබීම එතරම් අපහසු දෙයක් නාෙවේ. රුදුරු ත්‍රස්තවාදයක් "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" ලෙස නම් කොට පවත්වා ගත හැකිය. අමානුෂික සංහාරයකට "මානුෂික මෙහෙයුමක්" යැයි කිව හැකිය. එහෙත් සැබෑව කුමක්දැයි ඉතිහාසය පමාවි හෝ කියා දෙනු අැත.

2018.07.19.21

මානුෂික මෙහෙයුමකැයි නම් නොකළා වූවද සැබෑ මානුෂික මෙහෙයුමක් පසුගියදා තායිලන්තයේදි සිදු විය. එය අපට කියාදෙන ගැඹුරු සත්‍යයක් අැත. එනම් අවශ්‍ය නම් ලෝකය වඩා යහපත් තැනක් කිරීමට සීමා මායිම් වලින් තොරව එකතු වන මිනිසුන්ට හැකි බවයි. 

එ් මෙහෙයුමේ කතාව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර ලෝකය පුරා වාර්තා වුණා. ඉතිං අප මේ සටහන එහි විස්තර කථනයක් ගෙන්න නම් නොවෙයි. එහි තිබු මිනිස් අාලෝකය ගැන බිඳක් සටහන් කරන්නයි.

නව යෞවනයන් පිරිසක්.

වීරත්වයට, අභියෝග බාර ගැනීමට, ගවේෂණයට කැමැති කුතුහලයෙන් පිරුනු නව යව්වනයන් 12 දෙනෙක්. ඔවුන් "කැලෑ උෟරු පැටවු" නම් පා පන්දු කණ්ඩායමේ සාමාජිකයෝ. සහය පුහුණුකරුගේ වයසත් අවුරුදු 25 යි. පාපන්දු උණ ලොව පුරා පැතිරුණු කාලයක්. "මොන මගුලකට ඔය වගේ ගමන් යනවාද ?" "පුහුණුකරුට මොලේ නැද්ද" වැනි ප්‍රතිචාර අපේ රටේ නම් වැහි වහින ගමනක්. අනතුරුදායක උමං ගමනක් ඔවුන් ගියේ අැයි ?

2018.07.19.01

නුපුරුදු කෝඩුවෙන් ගිය ගමණක් නාෙවෙයි. තම කණ්ඩායමේ වැඩිමලා 17 හැවිරිදි පිරු පාට් ගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් මේ ගමන. කණ්ඩායමක ස්ප්‍රීතුව ගොඩ නගන්න මෙවැනි ගමන් වැදගත්. හරීම අහිංසක හරිම අව්‍යාජ හරිම සාමාන්‍ය ගමනක්. අාදරය සෙනෙහස මිත්‍රත්වය පිරි ගමනක්.

ඔවුන් උමගේ කිලෝමීටර් කීපයක් ගිය තැන වර්ෂාව බලාපොරොත්තු නොවු විදිහට අැද හැලෙනවා. උමගේ පිවිසුම් මඟ අවහිර වෙනවා. තව තවත් අැතුලට යාම හැර විකල්පයක් නැ. රෑ බෝවෙද්දි දරුවෝ අාවේ නෑ. ඔන්න ඔහොමයි කතාව අැරඹුනේ. දරුවන් සෙව්මේ හා බේරාගැනීමේ මෙහෙයුමට මඟ සැලසුනේ.

විදේශිකයෙක්ගේ මැදිහත්වීම.

උමඟ තුළට ළමුන් ගොස් තිබෙන බව උමං දොරටුව අසල තිබු පාපැදි හා බඩු භාණ්වලින් තහවුරු වුණා. එ්ත් වැස්ස, වතුර පිරිම, මඩ ඔවුන්ට කුමක් වෙලාද ? ජීවත් වෙනවාද? මිය ගිහිල්ලාද ? මේ අාරංචි එක්ක ළමුන් සොයන්නට පැමිණි තායි රාජකීය නාවික හමුදාවටත් ප්‍රශ්නයක්.

2018.07.19.03

ඔන්න ඔය අවස්ථාවේදි තායිලන්තයට පැමිණ එහි පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතික වර්නන් අාන්ස්වර්ත් මේ ස්ථානයට එනවා. දෙමව්පියන්ගේ කඳුළු, නාවික භටයන්ගේ දෙහඩියාව, ළඟ ළඟ එන මහාවැසි ගැන කාලගුණ අනාවැකි. වර්නන්ට ක්ෂණයකින් මතක් වෙන්නේ තමාගේ මිතුරන් වන දක්ෂ කිමිදුම්කරුවන්. වර්නන් බ්‍රිතාන්‍ය මිතුරන් අමතනවා. එ් වන විටත් මේ සිද්දිය ලෝකයේ අවධානයට ලක්වෙලා. වර්නන්ගේ යාළුවෝ දෙන්නෙක්  බ්‍රිතාන්‍යයේ සිට මුලින්ම පැමිණෙනවා. ජොන් හා රිචඩ්. ඔවුන් සීතල පතල් වල පවා කිමිදෙන දක්ෂයන්. ළමුන් ජීවත්වෙනවාද නැද්ද දෙහඩියාව නිම කරන්නෙ එ් දෙන්න. දුෂ්කර උමං මගේ කිමිද ගිය ඔවුන් දෙදෙනා ළමුන් නිරුපද්‍රිතව ඉන්න බවට අාරංචිය රැගෙන එනවා.

එ්ත් සමඟ අළුත් බලාපොරොත්තු සමඟ ගලවා ගැනීමේ මෙහෙයුම නව ජවයකින් අාරම්භ වෙනවා. මිනිස්සු 10 000 ක් පමණ එක්වෙනවා. කිමිදුම්කරුවන් 90 ක් ඉන් 50 ක් විදේශිකයින්. අනිත් අය තායි ජාතිකයින්. අාහාර පාන සෑදීම, මෙහෙයුමට උදව් කිරීම, ජලය හිස් කිරීම, දරුවන්ට අවශ්‍ය දෑ සැකසීම, වෙෙද්‍යවරු, මනෝ වෙෙද්‍යවරු, යාච්ඥා කරන්නන්, නොනිදන මෙහෙයුමක්.

සරණාගත පුතෙකුගේ භාෂා පිහිට

ළමුන් වෙත මුලින්ම ළඟා වුනේ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙක් බව අපි කිව්වනේ. ගැටළුව වුනේ ළමුන් සමඟ තොරතුරු හුවමාරු කර ගැනීම. භාෂා ප්‍රශ්නය. විසඳුමක් ළමුන් 12 දෙනා අතර තිබුණා. එ් ඔවුන් අතර සිටි 14 හැවිරිදි අවුල්. අවුල්ට ඉංග්‍රීසි කථා කරන්න පුළුවන් වුණා. එ් කොහොමද ? අවුල් තායිලන්ත කැලෑ උෟරු පැටව් කණ්ඩායමට එක් වුණාට ඔහු මියන්මාර ජාතිකයෙක්. ඔහු තායිලන්තයට එන්නේ මියන්මාරයේ පවතින ප්‍රශ්න නිසා සරණාගතයෙක් ලෙස, ඔහු සරණාගත බවින් මිදෙන්න උත්තරය ලෙස අධ්‍යාපනය දුටු දරුවෙක්. භාෂා පහක් කතා කරන්න ඔහුට පුළුවන්.

2018.07.19.07

භාෂාව මිනිසුන් බෙදීමට නොව එකතු කිරීමට අැති මාධ්‍යයක්. භාෂාව බාබෙල් කොතක් නොවෙයි. සමනල කන්දක් කරගන්න අවශ්‍යයි කියන පණිවුඩය මේ කතාවේ තිබෙනවා. එ් විතරක් නොමෙයි සරණාගතයින් භාර නොගෙන එලවා දමන  බලවතුන්ට සරණාගතයෙකුගේ වටිනාකම පෙන්වා දෙනවා.

සෙනෙහස අහිමි සෙනෙහසක්.

පුහුණුකරු දරුවන්ව ශක්තිමත් කරමින් රැක නොගන්නට ඔවුන්ගේ ජීවිත බේරාගන්න නොහැකි වෙන්නට තිබුණු බව මෙහෙයුම්කරුවන් සනාථ කර තිබෙනවා. අැත්තටම මේ 25 හැවිරිදි පුහුණුකරු චිකා පොලි මව්පියන් මිය ගිය නිසා ඥාාති නිවසක හැදි වැඩෙන්නෙක්. ඔහු ටික කලක් පැවිදි වී සිටි නිසා භාවනාව උගත් අයෙක්. දරුවන්ව කලබල නොවී ශක්තිමත්ව සිටින්නට ඔහු භාවනාව උපයෝගි කරගෙන තිබුණා. 

මව්පිය සෙනෙහස අහිමි ඔහු දරුවන්ට මව්පිය සෙනෙහස ලබාදෙනවා. තිබුණු බිස්කට් කීපය ළමුන්ට කෝටා ක්‍රමය දෙමින් ඔහු බඩගින්නේ ඉන්නවා. මේ නිසාම ගලවාගැනීමේ වෙෙද්‍යවරු පරීක්ෂා කරන විට වඩා දුර්වලට ඉන්නේ ඔහු. උමඟ තුළ සිටිමින් ව ඔහු මව්පියන්ගෙන් සමාව ඉල්ලා ලිපියක් ලියනවා වගකිම තමා පිට පටවා ගනිමින්. ඔහු පිටතට එන්නේ සියලු ළමුන්ව පිටත් කර යැවිමෙන් පසුවය. සැබෑ නායකයෝ එහෙමයි. මානසික ශක්තිය නායකත්වයේ ස්ව ත්‍යාජය මිනිසුන් ගලවා ගැනීමට අත්‍යාවශ්‍යයි.

සාමත් ගුනන් ගේ අාත්ම හරණය.

ගලවා ගැනීමේ මාර්ගය සකස් කරන තුරු දහසක් වැඩ තිබුණා. දරුවන්ට අාහාර පාන, ඔක්සිජන් රැගෙන යාම, අාලෝකය රැගෙන යාම, පටු මාර්ග පුළුල් කිරීම. මේ මෙහෙයුමට ස්වේච්ඡාවෙන් පැමිණි හිටපු හමුදා සෙබළෙකු වූ සාමත් ගුනන් ඔක්සිජන් අවසන් වීමෙන් උමඟ තුළ මිය යන්නේ අන් අය උදෙසා ජීවිතය පූජා කිරීමේ මනුෂ්‍ය වීරත්වය ලොවට පවසමින්. තම ස්වාමි පුරුෂාගේ මරණය බිරිඳ දරාගන්නේ මනුෂ්‍යත්වයේ මහිමය මේ යැයි කියාපාමින්.

2018.07.19.04

"ඔබ අහනවා මගෙන්, ඔබේ ස්වාමි පුරුෂයා මිය ගියා. ඔබ ජීවතුන් අතර. ඔබට දුක නැද්ද කියලා. ඔව් මට දුකයි. නමුත් ඔහුගේ උතුම් බව මගේ දුක තුනි කරාවි. මගේ හදවතේ වීරයා දෙසට සියලුම අාදරණිය දෑස් යොමුවේවි. ඔහු හැම තැනම හැම මොහොතකම සිටිවි. මම ඔහුට කියනවා ඔබයි මගේ ප්‍රේමය. ඔබයි මගේ අාඩම්බරය. ඉතිං සුවසේ සැතපෙන්න"

සමාන්ගේ බිරිඳ කිව්වේ එහෙම. එක් සඟයෙකු මිය ගියද අන් අය මෙහෙයුම් අත්හැර නොදැමීමයි මනුෂ්‍යත්වයෙ අසිරිමත් බව.

මළවුන්, මළවුන් වළලා ගනිවා, රිචඩ් හැරිස්.

ගුහාව තුළ සිර වී සිටි ළමුන් කිමිදෙමින්  පිටතට ගැනීමට තරම් සුදුසුද කියලා තීරණය කිරීමේ වගකිම පවරාගත්තේ ඔස්ට්‍රිලියානු ජාතික වෙෙද්‍ය රිචඩ් හැරිස්. ඔහු ගුහාව තුළට ගොස් දරුවන් සමඟ රැඳී සිටියා. ඔහු තමන්ව ශක්තමත් කිරීමට කියු දේවල් නොතේරුණත් ඔහුගේ ගැඹුරු ශාන්ත කටහඬ තමන්ව ශක්තිමත් කළ බව දරුවෝ පවසනවා.

2018.07.19.05

ජූලි 10 වෙනිදා පළමු දරුවන් හතර දෙනාව නිරුපද්‍රිතව බේරාගත් පසු වෙෙද්‍ය රිචඩ්ට ලැබෙන්නේ දුක්මුසු සංවේදි පණිවුඩයක්. එ් ඔහුගේ පියා මිය ගිය බව. තාත්තාගේ වියෝව ඔිනෑම පුතෙකුට කම්පනයක්. එ්ත් මළවුන් වැළලීමට යෑම පමා කරන වෙෙද්‍ය රිචඩ් ජීවත් වන්නවුන් මුදවා ගැනීම නිමාවන තුරු එහි රැඳි සිටිමට තීරණය කරනවා. ගැලවීම ලෝකයට ගෙන අා හැක්කේ එවැනි කැපවීම් මගින්.

වැන්දඹුවකගේ පඬුර.

ස්වාමි පුරුෂයා මිය ගිය වැන්දඹු බිරිඳ ක වු මායි බු දරුවන් දෙදෙනා සමඟ ජීවත් වුනේ කුඹුරු වැඩ කරමින්. අැය ළඟ එන වැස්සට සූදානම්ව සති කීපයකට පෙර ඉතා වෙහෙස වී කුඹුරේ පැල සිටවා තිබුණා. තම කුඹුරට අාසන්නයේ තිබෙන කන්දේ උමගේ සිර වූ ළමයි ගැන දැනගත් අැ කුඹුරත් දාලා ගියා ගලවා ගැනීමේ මෙහෙයුමට ස්වේච්ඡාවෙන් උදව් කරන්න. 

2018.07.19.06

ළමයි බේරාගන්න, උමගේ වතුර හිස් කරන්න අවශ්‍ය වෙනවා. විශාල නල දමා දවස් ගානක් හිස් කරපු වතුර අැගේ කුඹුරට ගලාවිත් කුඹුර විනාශ කර දමනවා. අැය එ් දිහා බලා සිට නැවත මෙහෙයුම වෙනුවෙන් වැඩ කරන්න එනවා.

"කුඹුර නම් නැවත අැය වගා කරන්න බැරියැයි කවදා හරි. එ්ත් දරුවෝ එ් වගේද ? අපි දැනගන්න ඔිනා බත්වලට වඩා වටින්නේ දරුවෝ"

තවත් කතා සිය ගණනක්.

කැපවීම හා මිනිසත් බව ගැන කතා තව සිය ගණනක් තිබෙනවා. තායි පුවත්පත් ළමයින්ගේ නම් ඵල නොකර වාර්තා කළ අාචාර ධාර්මික වෘත්තීයභාවය. හැඟිම්වලට වහල් නොවී වෙෙද්‍ය විද්‍යාවට ඉඩ දෙමින් ගලවාගත් දරුවන් මව්පියන් අතට කෙලින්ම පත් නොකර ප්‍රතිකාර වලට යොමු කරමින් ගත්තු බුද්ධිමත්තීරණය. මව්පියන් ඊට විරෝධය නොදක්වා එ් තීරණය බාර ගැනීම. පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නරඹන්න දරුවන්ට වෙන්වෙනු අාසන 12 මෙන්ම හැඟිම් බර නොවී එ් අාසන 12 හිස්ව තබන්නට හැර  ඔවුන්ගේ නිරාේගී බව සිතා එ් ගමන නොයාමට තීරණය කිරීම. ධන කුවේරයෙකු වූ එලොන් මස්ක් මෙහෙයුමට රැගෙන අා පුංචි සබ්මැරිනය ඉන් කිපයක්.

2018.07.19.08

2018.07.19.09

මේ සියල්ල තුළ මතුවන පොදු පණිවුඩය තමයි එකම අරමුණකින් එකතු වෙනවා නම් සියලු බේද ඉවතලා ජීවිතය වැදගත් කොට සලකා ක්‍රියා කරනවා නම් ලෝකය තුළ ජිවිතය විකසික කරන්න පුළුවන් කියන දේ. 

මේ ළමයි 12 වගේ මුළු මානව සම්මුතියම අද සිටින්නේ ලේසියෙන් ජීවිතය බේරාගන්න බැරි පවතින ක්‍රමය නැති උමං මාර්ගයේ අතරමං වෙලා. ඉන් මානව සම්මුතියෙන් මුදවා ගන්න පුලුවන් වෙන්නේ මෙන්න මේ වගේ, සැබෑ ගෝලීය මෙහෙයුමකට පමණයි. 

jesustodaysl 2 වන වසර 20 වන සතිය 2018 ජූලි 22

 

 

Comments powered by CComment