ඇත්තටම අපි විශේෂ අවශ්‍යතා ඇති අපේ සොයුරු සොයුරියන් ගැන කතා කරන විදිහ පවා වැරදි බව අපට වැටහුනා. අපේ ආකල්ප වෙනස් වෙන්නට මේ ගමන හේතු වුනා. ස්නෙහයේ අත්වල ඇත්තටම අත්වැලක් වුනේ අපට අප ඔවුන්ට රැගෙන ගිය ද්‍රව්‍යමය ආධාරවලට වඩා සිය දහස් ගුණයක ආධ්‍යාත්මික පෝෂණයක් ඔවුන් අපට දුන් බව අපට පසක් වුණා.

ඕනෑම ආයතනයක් එය පිහිටා තිබෙන සමාජයෙන් පෝෂණය වේ. ඒ නිසාම එකි සමාජය පිළිබඳ එම ආයතනයට සමාජ වගකිමක් පවති. පාසලකට ද ඒ ධර්මතාවය පොදුය. එම සමාජ වගකිම ඉටුකිරීම සඳහා සෑම වසරකම කළුතර ශුද්ධ වු පවුලේ කන්‍යාරාමයේ වාණිජ අංශය සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සිදු කළ යුතු අතර මෙවර එය "ස්නෙහයේ අත්වැල" නම් විය.

ගරු විදුහල්පතිනි ප්‍රියන්ති ජයතුංග පැවිදි සොයුරියගේ හා ගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ආර්ථීක විද්‍යා අධ්‍යයන කවය තම වැඩසටහනට තෝරාගනෙ තිබුණේ දයාවේ පැවිදි සොයුරියන් විසින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පවත්වාගෙන යන "සුපෙම් උයන" පුහුණු මධ්‍යස්ථානයයි.

හික්කඩුවේ සිට බද්දේගම පාරේ කිලෝමීටර් 4 ක ගිය තැන ගොනුපිනුවල හන්දියෙන් වමට හැරි කිලෝමීටරයක් පමණ ගිය පසු ඉතා සුන්දර පරිසරයක සුපෙම් උයන පිහිටා ඇත.

1964 වර්ෂයේදි ආරම්භ කෙරුනු සුපෙම් උයන වචනයේ පරිසමාප්ත අරුතින්ම ආදරය උතුරා යන සොඳුරු නිවහනකි. එය ළමුන් පවුල් කණ්ඩායම් ලෙස පිටත සොඳුරු නිවහන් කීපයක එකතුවකින්, පාසලකින්, පුහුණු මධ්‍යස්ථානයික් සමන්විතය. එහි විශේෂ්‍යත්වය වන්නේ එය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් රැක බලා ගන්නා තැනකින් ඔබ්බට ගොස් ඔවුන් තුළ ඇති දක්ෂතා ඔප්නංවන කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් වීමයි.

අවුරුදු 3 සිට 25 දක්වා වයස් කාණ්ඩයේ දරුවන් 50 දෙනෙකු එහි විය. සාමාන්‍ය යැයි සැලකෙන ළමුන් වන අපව විශ්මපත් කරන දක්ෂතා අප එදින ඔවුන්ගෙන් දුටුවෙමු. මැහුම් ගෙතුම්, අත්වැඩ මෙන්ම නර්තන හා රංගන කුසලතා නොඅඩුව ඔවුන් තුළ සැඟවි ඇත.

පැවිදි සොයුරියන් හා කාර්ය මණ්ඩලය කොරතම් අනගි මෙහෙයන් ඉටුකරනවාද යන්නට ජීවමාන සාක්ෂිය වන්නේ මෙම දරුවන් විසින් දක්වන දක්ෂතාවයන්මය. සුපෙම් උයනේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වන තැනම බිත්තියේ එල්ලා ඇති කවි පදයක මෙසේ සඳහන් වේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ද
වර්ධනය වීමට ඉගෙන ගත හැකිය
සෙමින් වූවත් ඔවුහු වර්ධනය වේ
ඔබ ඔවුන්ට අත දෙන්නේ නම්
ඒ බව සනාථ කර පෙන්නාවි
අනිත් දරුවන් සේම ඔවුහුද
ප්‍රීතියට ඇළුම් කරයි
ආදරය ආදරය කරයි
සමහර අවස්ථාවලදි ඔවුන්ගේ සිතුවිලි
බොහෝ දුර ඈත ගමන් කරයි

සුපෙම් උයනට අප ළඟා වන විට උදෑසන 8.30 පමණ වු අතර පැය එකහාමාරක පමණ කාලයක් අපි එහි විවිධ කටයුතු වලට ශ්‍රමදානයෙන් සහය වුනෙමු. වැසි සහිත දිනයක් වූවද එළිමහනේදි ශ්‍රමදානයට අවශ්‍ය තරමට ඒ මොහෙතේ වැස්ස අඩුවීම අපිට ආශිර්වාදයක්ම විය.

ඉන්පසු අප හා ඔවුන් තේ පැන් සංග්‍රහයක් එක්ව භුක්ති වින්දෙමු. අප රැගෙන ගිය කිරි පැකට් එලෙසම පිළිගැන්වීමට අප සුදානම් වූවද එහි සිටි ඇතැම් සොයුරු සොයුරියන්ට ඒවා පැකට් ලෙස බීමට ගත නොහැකි බව අපට පෙනී ගියේ පැවිදි සොයුරියන්ගේ මඟ පෙන්වීම නිසාය. එක් එක් කෙනා වෙතම විශේෂ අවධානයක් දෙන පැවිදි සොයුරියන් හා කාර්ය මණ්ඩලය ඉටු කරන මෙහෙයේ අගය ඒ කුඩා දේ කෙරෙහි ඇති අවධානයෙන් අපට දැනුනි.

ඉන් අනතුරුව අපි ඒ අපේ සොයුරු සොයුරියන් සඳහා ක්‍රීඩා වටයක් පැවැත්වෙමු. ඔවුන් ඉතා සතුටින් හා හොඳින් ඒහි දී ක්‍රීඩාශීලි විය. ජය පරාජය විඳ ගැනීමට ඔවුන් පුහුණු වී සිටින බව අපි දුටුවෙමු. එය මහා පුහුණුවක ප්‍රතිඵලයක් බව අපට වැටහුනේ ඔවුන්ගේ වාර්ෂීක ක්‍රීඩා උත්සවය ගැන තොරතුරු දැනගෙන එහි ඡායාරූප නැරඹීමේදීය.

ක්‍රීඩා වටයෙන් පසු ඔවුන්ගේ රංගන හා නර්ථන කුසලතා වලින් ඔවුන් අපට ලබාදුන්නේ රස සංග්‍රහයකි. සැබැවින්ම එය ප්‍රාතිහාර්යයක් බඳුය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේදි අප දුටුවේ මැහුම් ගෙතුම්, අත්කම් හා චිත්‍ර ආදියට ඔවුන් දක්වන දක්ෂතාවයන්ය. නිවසකදි බොහෝ මව්පියන්ට මෙවැනි අවශ්‍යතා ඇති දරුවෙකුට එම පුහුණුව ලබා දිය නොහැකිය. මෙම ආයතනය සුවිසල් දූත මෙහෙවරක් වන්නේ ඒ නිසාය.

“මේ දරුවන් මෙවැනි පුහුණුවකින් පසු ඔවුන්ගේම පවුල සමඟ එකතුව වෙනසක් නැතිව සතුටින් ප්‍රීීතියෙන් ජීවත්වීම තමයි අපේ අපෙක්ෂාව. ඒ සඳහා දෙමව්පියන් සහෝදර සහෝදරියන් සේම ප්‍රජාවද සම්මත ආකල්පයෙන් බැහැරව කටයුතු කළ යුතු.” ගරු හැරියට් සොයුරිය අප සමඟ පැවසුවේ ඔවුන්ගේ අනාගතය ගැන විමසු විටදීය.

ඔවුන් සඳහා වන පවුල් ඒකක ලෙස සලකන නිවාස හතරට (කොටේජ්) ද පැමිණන්නට අපට ඇරයුම් ලැබුණි. අපගේ කාමර හා නිවාස වලට වඩා ඉතා පිළිවෙල පිරිසිදු නිවාස දැකිමෙන් අප තුල ඇති වුයේ ලැජ්ජාවක් බව අවංකව කිව යුතුය. මන්ද අප බහුතරයක් සතුව එවැනි පිළිවෙලක් නොමැති නිසාය.

සාමාන්‍ය ළමුන්ට උගන්වන පාසලක සිට මෙම ස්ථානයේ සේවයට පැමිණි සිටි ගුරු නිර්මලා සොයුරියගෙන් අප විමසුවේ එතුමිය අත්දකින වෙනසයි.

’ඇත්තටම ඔවුන්ගේ විශේෂතාවයට අනුගත වෙන්න ටික දිනක් ගත වුණා. ඒත් මම මෙතනට ආවේ සතුටින්. අපේ පැවිදි නිකායේ මූලිකම අරමුණක් වුනේ මෙවැනි දරුවන්ගේ ජීවිත පිලිගනිමින් ඔවුන්ට මේ ලෝකය තුළ නියම වටිනාකම ලබා දීම. සාමාන්‍ය ළමයින්ට සේවය කරද්දි ස්තූති ප්‍රශංසා ඇගයුම් ලැබෙනවා. නමුත් මේ දරුවන් බොහෝමයකට අපට පෙරලා දේවල් දෙන්න බෑ. ඒ නිසාම මම මේ මෙහෙවරට කැමැතියි.’

පැවිදි සොයුරින් අට දෙනෙකු අපට එහිදි හමුවුනා. තව ගිහි යුවතියන් අට දෙනෙකුද ඔවුන් හා එක් ව සිටියා. ඊට අමතරව තවත් සහයකින් රැසක් සිටියා. එක් පැවිදි සොයුරියක් අවුරුදු 34 ක් තිස්සේ මේ සේවය තුල යෙදී සිටිනවා. තවත් පැවිදි සොයුරියන් මුළුතැන්ගෙයි ආහාර පිළියෙල කරනවා.

කැපවුනු ජීවිත නොවන්නට මෙවැනි වෙනස් දක්ෂතා ඇති දරුවන්ගේ ජීවිත විකසිත වෙන්නේ කොහොමද ? තම අධ්‍යාපනයේ කොටසක් ලෙස මාස හයක් මෙහි ස්වේච්ඡාවෙන් සේවය කරන්නට පැමිනි ඕස්ටි්‍රලියානු ජාතික තරුණියන් දෙදෙනෙකුද එහි සිටියා. ඔවුන් තමන් විසින්ම මුදල් සොයාගෙන මෙ රටට පැමිනි ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපනයේ කොටසක් ලෙෂ. ඔවුන්ගේ උපාධිය සඳහා එය අනිවාර්ය දෙයක්. මෙවැනි ව්‍යාපෘති අපගේ අධ්‍යාපනයට අනිවාර්ය නොවුණත් මුදල් සොයාගෙන මෙවැන්නක් කිරීමට අපව යොමු කිරීම කොරතම් වටිනවාද කියලා සිතුනා.

ඇත්තටම අපි විශේෂ අවශ්‍යතා ඇති අපේ සොයුරු සොයුරියන් ගැන කතා කරන විදිහ පවා වැරදි බව අපට වැටහුනා. අපේ ආකල්ප වෙනස් වෙන්නට මේ ගමන හේතු වුනා. ස්නෙහයේ අත්වල ඇත්තටම අත්වැලක් වුනේ අපට අප ඔවුන්ට රැගෙන ගිය ද්‍රව්‍යමය ආධාරවලට වඩා සිය දහස් ගුණයක ආධ්‍යාත්මික පෝෂණයක් ඔවුන් අපට දුන් බව අපට පසක් වුණා.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ගැන ලියවුනු ඉතා අර්ථවත් අදහස් රැසක් අපට මූණ ගැහුනේ සුපෙම් උයනේදී. ඉන් එක් අදහසකින් මේ සටහන නිමා කරන්න අපි සිතුවා. 

දෙවිඳුන්ගේ ඉතා විශේෂ දරුවා 

මිහිකතට බොහෝ ඈතින් හමුවක් පැවැතුනි. එහිදි නව ඉපදීමකට කාලය පැමිණ ඇතැයි දේව දූතයන් දෙවිදුන්ට හඬා නගා කීය. එම දරුවාගේ සංවර්ධනය සෙමෙන් සිදුවන්නක් විය හැකිය. මෙම දරුවා එක් වරම පෙනෙන්නාවූ ප්‍රගතියක් නොපෙන්වනු ඇත. එසේ හෙයින් මනුෂ්‍යයෝ මෙම දරුවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. 

ඔහුගේ / ඇයගේ සිතුවිලි හැම විටම ඈත දුරක තිබෙනු ඇත. ඔහු / ඇය සාමාන්‍ය ලෙසින් සිනාසීමට දිවිමට හෝ ක්‍රීඩා කිරීමට නොපෙළබෙනු ඇත. එහෙත් ඔහු ඇය තුල ඒවා විකසිත වන මිනිසකු සිටි.

ඔහු / ඇය බොහෝ විට සාමාන්‍ය පරිදි අනුකරණය නොයෙදෙන හෙයින් බොහෝ දෙනෙකු ආබාධිතයෙකු යැයි හඳුන්වනු ඇත. එසේ හෙයින් අපි ඔහු / ඇය සිටින ස්ථානය ගැන පරීක්ෂාකාරි වෙමු. ඒ ජීවිතය සතුටින් පුරවාලමු.

දෙවිඳුනි කරුණාකර මැනවි. ඔහුට / ඇයට විශේෂ මෙහෙවර කරන දෙමව්පියන් ලබා දෙනු මැනවි. ඒ දෙමව්පියන් එක් වරම තමාට පැවරුනු විශේෂ මෙහෙවර වටහා නොගනු ඇත. නමුත් දෙවිදුන් එවා ඇති මේ දරුවා විශ්වාසය හා විශේෂ ආදරය සමඟ එවා ඇත. ස්වර්ගයෙන් එවන ලද මේ ත්‍යාගය ආදරයෙන් භාර ගෙන ආදරයෙන් රැකබලා ගැනීම විශේෂ වරප්‍රසාදයක් බව ඔවුහු ඉක්මනින් වටහා ගනු ඇත. (සැමුවේල් ස්කැටොන්)

සජිනි කෝෂිලා
jesustodaysl 2 වන වසර 19 වන සතිය 2018 ජූලි 15

Comments powered by CComment