මැතිවරණය නිමාවීමත් සමඟම ඇතැම් පටු ජාතිවාදින් නැවත වෛරය වැපීරිමට පෙරට විත් තිබේ. ‘අපි ඡන්දේ දිනුවා මරක්කලයොයි කුරුස කරාරයෝයි පරිස්සම් වෙයව්.’ ඒ මුහුණු පොතේ පෝස්ටුවකි. එය දුටුවේ 22 වෙනිදාය. එදිනම මේ ලියුම්කරු නුගේගොඩ පාසලකට හැරෙන හංදියකදි දුටුවේ පහත පෝස්ටරයයි.

“සිංහල ජාතිය රැක ගන්නට නම් මාරක මරක්කල කඩවලින් බඩු නොගෙන සිටිය යුතුයි”

අපට ඒ සමඟම මතක් වූයේ පසුගිය අලුත් අවුරුදු සමයේ සුධාන නගර වල ඇලවු පෝස්ටරකි.

“සිංහල කමට සිංහල අවුරුද්දේ සිංහල කඩවලින් බඩු ගනිමු”

මේ වෙළඳ වසල කුලයේ ජාතිවාදය තම ලාභය සඳහාම වන්නක් වූවත් ඒ මගින් රට තුල ඇති කරන්නේ අනාගත විනාශයකි. මේ අගතිගාමි ආකල්ප අවසානයේදි ජාතින් අතර මහා ගැටුවමක් වර්ධනය කරනු ඇත.

මේ ව්‍යාධියෙන් අපේ අනාගත සිංහල දෙමළ ඉස්ලාම් දරුවන්ගේ සිත දුෂ්‍ය වීම වළක්වන්නේ කෙසේද ? යන්න හදවත රිදුම් දෙමින් තිබියදි පසුගිය 23 සිකුරාදා අප වාද්දුුව මැදි මහා විදුහලේ වාණිජ දිනයට සහභාගි වුනෙමු.

එදින එහි දරුවෝ ආර්ථිකයේ විවිධ යුගයන් ගැන රඟ දැක් වු නාට්‍ය අප හදවතට ගෙනාවේ බලාපොරොත්තුවකි.

නාට්‍ය ඇරඹුනේ සෙල්ෆෝන් කාඞ් ආදිය විකුනන ව්‍යාපාරයක් කරගෙන යන සිංහල තරුණයෙකු කඩය විවෘත දර්ශනයකිනි. ඒ සමඟ ඊට අල්ලපු කඩය ‘සලාම්’ නම් මුස්ලිම් ජාතිකයාගේය. සලාම් හා මේ සිංහල තරුණයා සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරගනි. සිංහල තරුණයෝ සිතින් මුමුනන්නේ සලාම් අයියා නම් දවසින් දවස දියුනු වෙනවා. ලැප්ටොප් ගන්නවා, වැනි කරුණු කීපයකි.

මේ ආරම්භය අප තුල සැකයක් ජනිත කළේ සමාජ මාධ්‍ය හරහා හමායන පටු ජාතිවාදි අදහස නාට්‍යයෙන් ඉස්මතු වේදොයි යනුවෙනි.

එහෙත් නාට්‍ය නිමාවුයේ පටු ජාතිවාදින්ට ඉතා වැදගත් පණිවුඩයක් ලබාදෙමිනි. සිංහල තරුණයා පට් පට් ගාලා දියුනු වීමට මඟ සොයන මුත් වෙළඳාමට ඔහු දක්වන්නේ දුර්වලතාව්‍යකි. ඔහුගේ ක්‍රම විධි දුර්වලය. ඔහු රැවටිලිකාර සාමි කෙනෙකුට හසු වි අමාරුවේ වැටෙන්නට යන විට රහස් පොලිසිය ඇවිත් ඒ සාමි හා ඔහුගේ රැවටිලි කාර සහයකයා අත් අඩංගුවට ගනී.

තරුණයා ඉන් තමා බේරිම ගැන දණගසා දෙවියන්ට තුති දෙයි. තමා වැටෙන්න ගිය අමාරුවෙන් ඉන් පුදුම විදිහට බේරීමක් ගැන ඔහු තම අසල්වාසි සලාම් ට පවසයි.

පොලිසිය නිසි වේලාවට එව්වේ සලාම් බව තරුණයා දැනගනි. තරුණයා අමාරුවේ වැටෙන බව දැනගෙන මේ අසල්වාසි මුස්ලිම්මානුවා ඒබ ව පොලිසියට දැනුම් දෙයි.

සිංහල තරුණයා ව්‍යාපාරික කටයුතු හොඳින් කරන හැටි සලාම්ගෙන් ඉගෙනීමට එකඟ වෙමින් දෙදෙනාම කරට අත් දමාගෙන පිටව යාමෙන් නාට්‍ය අවසන් වේ.

වෛරය, හිංසාව, වපුරන ප්‍රචාරයන්ගෙන් ජාතිවාදය ව්‍යාප්ත කිරිමෙන් මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ වෙළඳපොළ කොටස අල්ලා ගැනීම වෙනුවට ඔවුන් ජාතියක් ලෙස වෙළඳාමේදි දක්වන විශේෂ ප්‍රාගුණ්‍ය හඳුනාගෙන, ඔවුන්ගෙන් ඉගෙන ගැන තරඟකාරිව ව්‍යාපාරික කටයුතු කරමින් යහපත් වෙළඳාමකින් රට ඉදිරියට ගෙන යාමයි විය යුතු යන්න පෙන්වා දීමට මේ දරුවෝ සමත්වීම විශිෂ්ඨය.

ඔවුන්ට මඟ පෙන්වු විදුහල්පති තුමා ඇතුළු අදුරු මඩුල්ලට අපේ ස්තූතිය හිමි විය යුතුය. බොහෝ පාසල් වේදිකාද ටියුෂන් වෙළඳුන්ගේ හෝ පටු මතවාද වපුරන්නන්ගෙන් තෝතැනි බවට පත්ව ඇති කාලයක මෙවැනි සහනශීලි ආකල්ප මතු කිරීමට ධෛර්යවන්ත වීම පැසසුම් කටයුතුය.


සුභාෂ් කළුතරගේ

jesustoday 53 සතිය 2018 මාර්තු 04