දේව මෑණියන්ට යාච්ඥා කරන්නයි ගැහැණු ළමයින්ට ‘බඩුව’ ‘කෑල්ල’ ආදි වචන කියන්නයි කිසිදු කිතුනු යව්වනයෙකුට නොහැකි බව අද තිබුණු දහම් පාසල් චතාරික වැඩ සටහනේදි අපේ දේශකයා කියද්දී අපේ ටීන් සෙට් එකම මීයට පිම්බා වගේ ගල් ගැහුණා. ඒක කියලා ටික වෙලාවක නිහඬතාවයක් තිබුණා.

ඇත්තටම කව්රු හෝ ගැහැනු ළමයෙක්ව ශාරීරකව විතරක් නොවෙයි මානසිකවත් හිංසාවට ලක් කරන්න වචන වලට පුළුවන් නේද ? කියන කථාබහ ඇති වුනේ දේශනයෙන් පස්සේ.

අවුරුදු 12 - 17 අතර දැරියන් බිලියනයක් ගිය වසරේ වධ හිංසාවලට ලක්වෙලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ තවතම දත්ත වාර්තා වලින් හෙළිකර ඇති මේ කාරණයත් අපේ කථාබහට එක් කළේ රවින්. රවින් පත්තරයක ඒ ගැන සඳහන් වු වාර්තාවක් ගැන අපිට කිව්වා.

මෙවැනි හිංසා පීඩාවලට ලක්වන ගැහැනු ළමුන්ට මුළු ජීවිත කාලයටම බලපාන මානසික පීඩාවන් උරුම වෙනවා. එය විශාල පාපයක්.

“ඇත්තටම ගැහැණු ළමයින් ගැන අපි කොල්ලෝ විදිහට සිතන පතන විදිහේ මහා අක්‍රිස්තියානි බවක් තියෙනවා මචං”

“අඩෝ මු අක්‍රිස්තියානි කම් ගැන කතා කරන්නත් අරන් මු තමයි ඕන වලොවක “මාර කෑල්ල’ “පට්ට භාණ්ඬේ” කියන්නේ ?

චමත්ගේ ටෝක් එකට උන් දැම්මේ කෝචොක් එකක්. ඒත් චමා ඒ ටික කිව්වේ බොක්කෙන් අවංක සිත් හැරිමකින් කියලයි මට හිතුනේ.

මචං පසුගිය මාසේ ලංකාවේ සමූහ දූෂණ දෙකක් සිද්ධ වුනා. එකක් අපේ වයසේ කෙල්ලෙක්. බෝයි ප්‍රෙන්ඞ් තමයි රෑ ගෙදරින් ගෙන්න ගෙන යාළුවෝ එක්ක කෙල්ලව සමූහ දූෂණයට ලක් කරලා තියෙන්නේ. අන්තිමට කෙල්ල මැරුනා. අනිත් සීන්එක නර්ස් කෙනෙක්ව හමුදාවේ කට්ටියක් සමූහ දූෂණයට ලක් කරලා. රණවිරුවෝ කියලා මේ දූෂකයින්වත් ආරක්ෂා කරන්නද බං වෙන්නේ ?

රවිෂයා කියු දෙයින් අපේ කතාව සමාජය පැත්තට යොමු වුනා. ඡන්ද ගැන කියව කියව ඉන්න. ජාතිය ගැන කියව කියව ඉන්න. අපේ වැඩිහිටියන් මේවා ගැන නිහඬය. ඒත් අපි අලුතින් හිතන්න ඕනි. ගැහැනු ළමයි ගැන අපි හිතන විදිහ නම් වෙනස් වෙන්නට ඕනි. ජේසු සිතු විදිහට සිතන්න පුරුදු වෙන්න ඕනි.

jesustoday 52 සතිය 2018 පෙබරවාරි 25

 

Comments powered by CComment