මේ ගෙවෙන්නේ මළවුන්ගේ මාසයේ අන්තිම සතිය. තව සතියකින් මිනිස්සු දොර ළඟ හිනැහෙන නත්තල එක්ක සිහින ලෝක වලට යනවා. එතකොට ජීවිතය අමතක

වෙනවා. ඇත්තටම මිනිස්සු ජීවිතය ගැන හිතන්නේ මරණය අසලදී.

මිනිස්සු ජීවිතය තුල සොයන පූර්ණත්වය ‘ආදරය’ යි. ඇත්තටම මිනිසුන්ගේ මූලිකම අවශ්‍යතාවය ‘ආදරය’. මිනිහෙක්ව සැබෑ ලෙස ජීවත් කරන්නේ ‘ආදරය’ ඒ වගේම තමයි මිනිහෙක්ට කුරුලු පිහාටුවක් තරම් සැහැල්ලුවෙන් මරණයට මුහුණ දෙන්න හැකිකම ලබාදෙන්නෙත් ‘ආදරය’. සතුටින් මිය යන්න නම් ආදරය තුළ පවතින්න.

මිනිසාගේ ඇතුලාන්ත අවශ්‍යතාවය ‘ආදරය’ ඒ බව මට ඒත්තු ගැන් වු කවියක් තිබෙනවා. පස්සේ කවිය ගීතයක් ලෙස සංස්කරණ සහිතව පණ්ඩිත් අමරදේවයන් ගායනා කළා. ඒ කවිය තමයි ‘අන්තිම කවිය’ ඒ කවියා තමයි මහගම සේකර.

අන්තිම කවිය

මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාදුනනා ඔබගේ අත් අකුරින්

අඩ සඳ බැස ගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රැහැයි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසෙවි

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියා වී

(බෝඩිම පද්‍ය සංග්‍රහයේ අවසාන කවිය)

මහගම සේකර කියන්නේ පවුල් ජීවිතයක් ගත කළ බිරිඳකගේ දරුවන්ගේ ආදරය ලද ඊටත් වඩා මුළු මහත් රටක ආදරය ලද මිනිසෙක්, මහ කලාකරුවෙක්. මේ කවිය ඔහුගේ ආත්ම ප්‍රකාශනයක් කියලා ලියන්න මම ඉක්මන් වන්නේ නෑ. ඒත් මේ කවියේ කථකයා පවසන්නේ ඔහු ආදරයේ ඌනතාවයකින් පෙළෙන බව. ඔහුට මෙතෙක් සැබෑ

ආදරය හමු වී නැති බව,
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියාවී

මිනිසුන්ගේ සාතිශය සාතිශය සාතිශය බහුතරය මේ ආදරයේ ඌනතාවයෙන් පෙළෙනුවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන්ගේ ජීවිතය ඉතාම පටුවීම. ජීවිතය ඉතාම පටුවෙන කොට ආදරය ද ඉතාම පුංචියට තමයි අත්විඳින්න පුළුවන්. මොකද ආදරය සුවිසල්. ආදරය විශ්වීයයි.

මේ විශ්වීය ආදරයට කිතුනුවන් කියන්නේ ‘දේව ආදරය’ කියලා. පීඩිත මිනිස් ප්‍රාණින්ගෙ ආදරයෙන් අර අසීමිත ආදර අවශ්‍යතාවය පිරෙන්නේ නෑ. ඒ නිසාම සවිඥානිකව මරණය ඉදිරියට යන අයට දැනෙනවා ඒ හිස්තැන. සේකරගේ කවිය ඇතුලේ තිබෙන ඇත්ත ඒකයි.

අප ජීවත්වන මේ යුගය තුළ බොහෝ දෙනෙකුට ආදරය මඟ හැරීමට හේතුව තමයි අප ජීවත් වෙන්නේ ‘ආදරය’ වෙනුවට ‘මුදල්’ මුල් කරගත් සමාජයක වීම. ප්‍රේමයේ තැනට ධනය ආදේශ වුනාම ඇතිවන්නේ විශාල විකෘතියක්. ඒ විකෘතිය ඇතුලේ ප්‍රේමය සිඳි යනවා. මනුෂ්‍යත්වය සිඳී යනවා.

ඉතිං ආදරයේ ගැඹුරින් ගැඹුරට යාම හැර යහපත් මරණක් ලැබීමට වෙන මාවතක් නෑ. මළවුන්ගේ මාසය නිමාවේදි ඒ ගැන හිතන්න.

සේකරගේ කවිය සංස්කරණය කරමින් ගැයු ගීතය මට ඈතින් වගේ ඇහෙනවා. 

7

ඔබගේ අවසාන කවිය ගැඹුරු ආදරය අත්විඳි මිනිසෙකුගේ කවිය විය යුතුයි.


jesustoday 39 සතිය 2017 නොවැම්බර් 26

 

Comments powered by CComment