ප්‍රගීතිකාවලෝකන

ගීතිකාවක පදරුත් විමසමින් එහි ආත්මයට ඇතුළු වන්නට යොමුවන ප්‍රගීතිකාවලෝකන විශේෂාංගයට මෙවර මා තෝරා ගන්නේ ටිකක් වෙනස් ගීතිකාවක්....

මම එහෙම කිව්වේ මේ ගීතිකාවේ කොතැනකවත් දෙවිදුන් ගැනවත්, කිතුතුමන් ගැනවත් මරියතුමිය හෝ ශුද්ධවන්යෙක් ගැනවත් පැවසෙන්නේ නෑ. එහෙමනම් මෙය ගීතිකාවක්ද ? එසේ ප්‍රශ්න කරන්න පුළුවන්.

නමුත්, මා මෙය උපුටා ගන්නේ, තෝමස් කුරේ කාදිනල් හිමි මුද්‍රණ අවසරය ලබා දුන් ජාතික ජනවන්දනා කමිටුව ප්‍රකාශිත, කිතුනු ගී පොතේ 1983 කල හතරවෙනි මුද්‍රණයේ 71 පිටුවෙන් ඒ අනුව එය කිතුනු ගීතිකාවක් ලෙස ව්‍යවහාරිතයි. මේ ඒ කව්රුත් දන්නා ඒ ගීතයයි.

දවසක දූවිලි පසට හැරේ
පසද ගලට පෙරලේ
දවසක ගුලකින් මැණික් සෑදේ
දහමේ සිරිත මෙයයි

දූවිල්ලෙන් මැණිකක් සෑදේ
මඩෙන් නෙළුම් මතු වේ
බෙලි කටුවෙන් මුතුවක් සෑදේ
කටු අග මල් පිබිදේ

එළියෙන් රැය දවසට පෙරලේ
මැණිකට ගලක් හැරේ
හැම දෙයටම සුභ මොහොත්ක ඒ
ඔබටද එය පැමිණේ

අද ගල් බිම හෙට මල් බිම වේ
මල් බිඳු පැණි බිඳු වේ
පැනි බිඳු බිඳු මී වදයක් වේ
සොබා දහම මෙයයි.

ඔබ අසා පුරුදු ගයා හුරු මේ ගීතය දුටු පමණින් ඔබ තුල අපූර්වත්වයක් මතු නොවන්නට පුළුවන්. ඒත් වරක් කියවන්න. හිතන්න. තව වරක් කියවන්න. හිතන්න. ඔබට දැනේවි සැබවින්ම මෙය අපූරු ගීතයක් බව..

ඇත්තටම කිතුනු නොකිතුනු හැමට දෙවියන්ට විශ්ව ධර්මතාවයට යොමුවන අපුරු නිමිත්තක් නොවේද මේ ගීතය...

දූවිල්ලෙන් මැණිකක් සෑදේ මඩෙන් නෙළුම් මතු වේ. නොවටිනා කැත, අප අගය නොකරන දේවල් තුනිල් උපදින, නිමැවෙන මහා ලස්සන, වටිනා දේවල්. දූවිලි වලට ආදරය නොකර මැණික් වලට ඇළුම් කිරීම මුලාවක් නේද ?

බලන්න. කටු අග මල් පිබිදේ. ඒ අකුරු පෙළ මතුකරන විශ්වීය දහම ජීවිතයට සපයන ධෛර්්‍යය.......

මී පැණිවල මිහිර විඳින අපිට පුංචි පැණි බිඳු දකින්නට, පුංචි පැණි පිරෙන මල් කෙමිය දකින්නට, මල් බිමක් වන ගල් බිමක් දකින්නට ගීත රචකයා කරන ආරාධනය අපුරු පාඩමක් නොවේ ද ? ජීවිතයට සොබාදහම තුලින් ගෙනෙන සුබවාදි දැක්ම ‘කොයිතරම් සූක්ෂමද ?

මර්සලින් ජයකොඩි පියතුමා මේ ගීතය හැඳින්වූවේ සොබාදහම් ගීයක් ලෙසයි. සැබෑ සොබාදහම් ගීයක් දෙවියන් හමුවන ගීකිතාවක් වීම විශ්මයක් නොවෙයි.


jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12

 

Comments powered by CComment