ඔයා මොසැයික් චිත්‍ර දැකලා තියෙනවාද? ඒ චිත්‍ර දුටුවාම ඕනෙම කෙනෙුට හැඟෙන්නේ පොඩි පොඩි වර්ණ කැබලි එක එක රටාවන්ට තියලා සමස්ත රූපයක් චිත්‍රපට නඟලා තියෙනවා වගෙයි. වෙලාවකට අපි ජීවත් වෙන ශ්‍රී ලංකාවත් ඒ වගේ, එක රූපයක් හැදිලා තියෙන්නේ. එක එක වර්ණ තල එකතු වෙලා ඒ වර්ණ තල හරියටම අපේ රටේ තියෙන එක එක කල්ට් වගෙයි. කොළඹ ඉඳන් කොයි පැත්තට ගියත් අපිට පොඩි පොඩි උප සංස්කෘතියන්ගෙන් මිදෙන්න බෑ. අපි පාසල් යනකොට, රැකියාව කරන කොට මිතුරු සමාජ එක්ක ගැටෙන කොට වගේම, සමාජ ජාලාවල ඉද්දීත් අපිට අනන්ත උප සංස්කෘතින්ගෙන් එන මිත්‍රයෝ හමුවෙනවා. ඔය අස්සේ කතෝලික යාළුවෙක් අනිවාර්යයෙන්ම ඉන්නවා. ඒත් අපි එයාලාගේ කල්ට් එක ගැන දැනුවත්ද ? අපිට ඒක දැනිලාවත් තියෙනවාද ?

ඔක්කෝම ගීතිකාවලට ‘කැරොල් කියනවා මිසක් පසම්, කන්තාරු, කැරොල් ගීතිකාවල වෙනස හුඟක් අය අඳුනන්නේ නෑ. මඤ්ඤ පඤ්ඤ කියන්නේ කවුද කියලාවත් අයිඩියා එකක් නෑ. ලොකු අම්මා කියලා ඒඅ ය කියන්නේ අම්මාගේ අක්කාට නෙවෙයි කියලා අහලා නෑ. හැබැයි මීගමුව පැත්තට ගියා නම්, ඔයාට ඔිනේ තරම් ඒ කල්ට් එකේ අහු මුලු පාදා ගන්න හැකි වෙයි. අද මගේ ඕනෑකම කතෝලික උප සංස්කෘතිය ගැන කතා කරන එක නෙවෙයි. නමුත් මං අද රසවිඳින කෘතිය කියවන ඔයා අනිවාර්යයෙන්ම කතෝලික උප සංස්කෘතික ගැන හොයා බලන්න නිරුත්සාහයෙන්ම පෙළඹෙනවා.
“ඔබේ හිතේ මා හැර අන් කිසිවකුට ඉඩ නොදෙන්න. ඔබේ අතින් අන් කිසිවකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවත්ය”


ප්‍රේම ගී 8:6 ප්‍රේමය කියන්නේ ගමනක්ද නැවතීමක් ද කියලා මං ඔයාගෙන් අහන්නේ නෑ. ඒකට දෙන්න මටත් උත්තරයක් නෑ. හැබැයි ප්‍රේමය කියන්නේ හිමි කර ගැනීමකින් එහා ගිය සුන්දර හැඟීමක්. හැබැයි පුංචි අයිතියක් කියා පාලා ප්‍රේම කරන එක අසුන්දර නෑ. අනුන්ට ඕනේ කරන කාටවත් කවුරුවත් ප්‍රේම කරන්නේ නෑ. කෙනෙක් ප්‍රේම කරන්නේ තමන්ගේ දෙයකට සහ තමන්ට ඕනැ යැයි හැඟෙන දේකට විතරයි. ප්‍රේමයට පුළුවන් කෙනෙක්ව මෙහෙයන්න. ඒ වගේම දරා හිඳින්න.


සෙව්වන්දි ඇන්ජෙලා දරු හිඳින්නෙත්, මෙහෙයවෙන්නෙත් ආදිත්‍ය පිළිබඳව උත්තානය වු ආදරය ප්‍රේමය කරුණාව ආදි මුදු මොළොක් හැඟීම් සියල්ල විසින් තරංගනි රෙසිකා ප්‍රනාන්දු හෙවත් තරුරසි විසින් ‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’ නවකතාව ලියන්නේ ඒ අනුභූතියේ පිහිටලා කියලායි නවකතාව කියවපු සැණෙකින් මගේ ඔළුවට ආවේ.
මුළු කෘතියම ලියැවි තිබුණේ සුමට කතා ශෛලියකින්, භාෂාව අපූරුවට පුංචි ඉඳිකටුවක් කරගෙන තමන්ගේ හදවතේ උපන් පාට පාට අකුරු නූල් අමුණාගෙන ලස්සනට ගෙත්තම් කරන්න තරු රසී සමත් වෙනවා. කතෝලික පරිසරයක් අස්සේ ස්ථානගත වුණත් මේ නවකතාව කතෝලිකයන්ට විශේෂ වු නවකතාවක් නෙවෙයි. මෙහි ප්‍රේමයේ අපූර්වත්වය ඔබෙ ඇස් ඉස්සරහට ගෙනන ආදිත්‍ය උපතින්ම බෞද්ධයෙක්. නිකම්ම නෙවෙයි වෙල්ලස්සේ බෞද්ධයෙක්.


මුළු කතාව පුරාම නොමඳව මානව ප්‍රේමය ලියලනවා. හරියට කුලය නිසා පන්තිය නිසා ජීවිතය පුරා දැනුවත්ව වගේම නොදැනුවත්ව පීඩාවට පත්වෙන මිනිස්සු දිහා හෙළන අනුකම්පිත ඇස් දෙකක් ඇහිපිය ගහනවා වගේ. ඒ වගේම ඒ සියලු මිනිස්සු කෙරෙහි වන මහා ප්‍රේමය සෙව්වන්දි එක් වරෙක ආදිත්‍ය කෙරෙහි මුදා හරිනවා. ආදිත්‍ය එය දැනගන්න ජීවත්ව සිටිනවාද නැද්ද කියාවත් නොදැන. බුත්සරණ විiාචක්‍රවර්ති හාමුදුරුවෝ, නාලාගිරියාට බුදුන් වහන්සේ කෝටියක් මවුවරුන්ගෙයි කෝටියක් පියවරුන්ගෙයි මෛත්‍රීය එකම නෙතකින් අමුණලා එකට මෙහෙයෙව්වා කියන්නේ කොයි ආකාරේද, අන්න ඒ තරම් ප්‍රේමයක් සෙව්වන්දි ආදිත්‍ය කෙසේ දැරුවාය කියලා දැනෙන තරම් ලස්සනක් මේ පොතේ තියෙනවා.


මට පුදුමේ කියන්නේ මේ වාගේ අසම සම අකුරු හරඹයක යෙදෙන තරු රසීට ආදිත්‍යගේ හුරුව වෙනස් විදියට පෙන්වන්න බැරි වෙච්ච එකයි. අපි හැම කතන්දරයකම, හැම නාට්‍යකම, හැම චිත්‍රපටයකම, බොහිමියානු හුරුව ගත් විප්ලවකාරි ප්‍රේමවන්තයාව දකින්නේ එකම බාහිර සංකේත සමූහයකින් පළමුවැන්න ඔහුට ගී ගයන්න පුළුවන්. දෙවැන්න ඔහුට ලස්සනට කතා කරන්න පුළුවන්. තෙවැන්න ඔහුට විප්ලවය උදෙසා හදවතින්ම ලියන්න පුළුවන්. ඉතිං ගී ගයනවා නම් ඔහු ගිටාරයෙන්ම ස්වර ඇමිණිය යුතුයි. විප්ලවකාරි ප්‍රේමන්තයා වයලින් ගහන්නේම නැද්ද ? එකෝඩියන් එකක්, මැන්ඩලීනයක් අල්ලන්නේම නැද්ද ? ඇයි හැමදාම ගිටාරයම විතරක්. කුඩා හං බෑගය සහ වයලීනය අත ගත් තරුණයා විප්ලවවාදිනයෙක් වීම, තරු රසීටත් පොදු වීම දුර්වලතාවක් කියලා ඔයා හිතනවාද? නෑ මං හිතන්නේ නෑ. ඒ විදියේ තරුණයෝ ඔක්කෝම එක වගේ.


දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය, නිර්මාණකරුවන්ගේ ප්‍රථම නිර්මාණ ස්තරායනය කළ හැකි රේඛාවේ ඉහළින්ම තියන්න හැකියි. එහි භාෂාව වගේම චරිත නිරූපණය කර ඇති ආකාරය බොහොම අගෙයි. වාර්තා ස්වරූයක් නැතිව හරි අපුරුවට කතාවට පදනම් වන සංස්කෘතිය පහදා දෙන්න තරම් නිර්මාණකාරිය දක්ෂයි. ඒ වගේම එක දිගට කියවාගෙන යා හැකි ගුණයක්ද එහි තිබුණා.
1960 න් පස්සේ උපන්න අයට 71 අමාරු අවුරුද්ද මඟ හැරුණා. පුංචි දරුවෝ වෙලා උන්න හින්දා. 1971 න් පස්සේ උපන්න අය 83 කලබල අවුරුද්ද මඟ හැරුණා. කුඩා දරුවෝ වෙලා හිටි හින්දා 1983 න් පස්සේ උපන් නඅයට 89 කරදර අවුරුද්ද මඟ හැරුණා. හුඟක් පුංචි හින්දා. ඒත් එහෙමයි කියලා කරදර මඟහැරුණෙ නෑ. එව්වා එක් එක් නම දාගෙන හැම අවුරුද්දකම පෙනී සිටියා. බහුතර පිරිස නිවැරදි වෙන සම්ප්‍රදායක් ඇතුළේ හැබෑම නිවරුදි මිනිහා තනි තනි වුණොත් වැරුදිකාරයෙක් වෙනවා. වැරදිකාරයෝ මේ සමාජය අතුරුදන් කරනවාත ඒත් සිස්ටම් එක පවතින තාක්කල් ප්‍රතිවිරෝධයක් ගොඩනැගෙන්නේ ඒ තුළින්මයි. මිනිසුන්ට ප්‍රේම කරන මිනිසා, මිනිහා මිනිසා තමාට වෛර කරන බව දැන දැනත් හුදකලා කැරැල්ල නතර කරන්නේ නෑ.


ආදිතය කියන්නේ සූර්යයාට සංස්කෘත භාෂාවෙන් සියල්ල කොහොම මොන විදියට සිද්ධ වුණත් හෙටත් ඉර පායනවා. ආදිත්‍යලා හෙටත් ඇති වෙනවා. සෙව්වන්දිලා සඳහටම එවන් මහා පුරුෂයන්ට ප්‍රේම කරනවා. ඇදැහිල්ල බලාපොරොත්තුව සහ ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනක් බවත් ඉන් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය බවත් ශුද්ධ වු බයිබලයේ කොරින්ති දහතුනේ, දහතුන්වැනි වගන්තියේ සඳහන් වෙන්නේ අන්න ඒ හින්දයි.


නෙරංජි සුලක්කනා

2017. 10. 17 යං අතිරේකයට ලියු ලිපියකි.


jesustoday 35 සතිය 2017 ඔක්තෝම්බර් 29

Comments powered by CComment