මෝසැසි පෙරේරා පියතුමාගේ ගීතිකා මෙහෙවරේ සුවිශ්ෂී බව වන්නේ, ශුද්ධ වු බයිබලයේ ගීතාවලියේ එන ගීත පොදු ජන වන්දනාව තුළ සාමුහික ගායනයට රිසිසේ අර්ථාන්විතවත්, සුගමවත් සුගායනීයවත් පබැඳීමයි.

කිතුනු ගීතිකා අතරේ ප්‍රගීතිකාවන්ගේ රසුණ මිහිර විමසන ‘ප්‍රගීතාකාවලෝකන” සඳහා මෙවර අප තෝරාගත්තේ සිංහල කිතුනු ගීතය තුළ සිය ලකුණ ප්‍රබලව සටහන් කළ මාහිම් මෝසැසි පෙරේරා පියතුමාගේ අනගි නිමැවුමෙකි.

මෝසැසි පෙරේරා පියතුමාගේ ගීතිකා මෙහෙවරේ සුවිශ්ෂී බව වන්නේ, ශුද්ධ වු බයිබලයේ ගීතාවලියේ එන ගීත පොදු ජන වන්දනාව තුළ සාමුහික ගායනයට රිසිසේ අර්ථාන්විතවත්, සුගමවත් සුගායනීයවත් පබැඳීමයි.

අරුත හදතවට කිඳා බසින සේ විරිත යොදාගන්නා එතුමාගේ බස්වහර ගීතවත්ය. ඒ ගීතවත් බව සංගීත රචකයාට භක්ති රසයෙන් අනූන ස්වර රචනාවකට මං සලසා දෙයි.

එකී ගීතාවලිය අතරින් ගීතාවලියේ අංක 15 ගීතය (බැතිමතුන්ගේ චරිත ලක්ෂණ) ඇසුරින් නිර්මිත ගීතිකාව සරලය. ප්‍රබලය.

සමිදේ ඔබේ කූඩාරමේ
සැරි සරන්නෝ කව්රුන්දෝ
ඔබේ පිවිතුරු කඳුකරේ
පා නගන්නෝ කව්රුදෝ

ගීතයේ කෝරස් කොටස සේ ගත හැකි ඉහත කොටස තුළින් ප්‍රශ්නයක් නඟයි. සමිඳුන්ගේ කූඩාරමට, ගෘහයට, කඳුකරයට, දෙව්මැදුරට ඇතුළු විය හැක්කේ කාටද? කාටද එ සඳහා සුදුසුකම ඇත්තේ?

ගීතිකාවේ අන්තරා කොටස් ලියැවෙන්නේ එකී ප්‍රශ්නයට පිළිතුරු වශයෙනි.

හිතේ කිලුටක් නැතිව
හැසිරෙන්නෝ
යුක්ති සහගත දෙසට
සිත දෙන්නෝ
නොවක් සිතකින් ඇත්ත
පවසන්නෝ
අනුන් අවමන් දිවෙන්
නොකියන්නෝ

මේ ගීතිකාව දෙව් මැදුර තුළ ගයන විට ඉබේටම වාගේ ගායනා කරන අයට තමන්ගේ සුදුසුකම ප්‍රශ්න කරන බව හැගී යා යුතුය.

සොහොයුරන් හට නපුර
නොපතන්නෝ
අනුන් හොඳ නම කිළිටි
නොකරන්නෝ
සියළු දුසිරිත් කෙරෙන්
දුරුවන්නෝ
සුසිරිතට නිරතුරුව
හිතදෙන්නෝ

මෙකි ලක්ෂ තමන් තුළ නැත්නම් තමන් දෙව් මැදුර තුළ සිටීමට නුසුදුසු අයෙක් නේද? යන හැඟීම ගයන්නා තුළ ඇති විය යුතුය. ‘මම තුළ මේ ලක්ෂණ තිබෙනවාද? යන පැනය ඔහු ඇය තුළ මතු විය යුතුය.

මුදල් දී ගිනි පොළී
නොකරන්නෝ
අල්ලසක් ගෙන අනුන්
නොපෙළන්නෝ
අහිංසකයින් පෙළා
නොතලන්නෝ
නිදොස් අය පිට වරද
නොබන්නෝ

මේ ගීකිතාව ගායනා කරන්නා යම්කමින් හෝ එහි පදවැලේ අරුතට අවදිවන්නේ නම් ඔහු තුළ ගැඹුරු බලපෑමක් ඉන් සිදු විය යුතුය.

සමාජයේ පවතින විෂම දෝෂාකාරි මානව ඇවැතුම් පැවැතුම් මින් ප්‍රශ්න කෙරෙන අතර එවන් වැරදි වලින් මිදිය යුතු බවට හැඟවුමක් එහි අන්තර්ගතය.

ගීතාවලිය තුළ අඩංගු දේව වචනය අපගේ හුරුපුරුදු පැවැත්ම සමඟ තදානුබද්ධව ඉදිරිපත් කිරීමට මේ ගීතිකාවේ පද රචනය සමත් වෙයි.

Jesustodaysl වන වසර 29 වන සතිය 2018 සැප්තැම්බර් 23

 

Comments powered by CComment