තමාගේ ගේට්ටුව අසල සිටි අසරණ ලාසරස්ගේ තැන තමා සිටි නම් කියා ධනවතා කිසි විටෙකත් සංවේදිව හෝ ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි හෘදය සාක්ෂියෙන් විමසුවේ නැතිව පව් කළා මෙන්, අපිද අපේ ගේට්ටුව අසල සිටින අසරණයාට විරුද්ධව පව් කරමු.

නිරක්ෂය ආසන්න අප්‍රිකාවේ වෙෙද්‍යවරයෙකු ලෙස සේවය කරනු සඳහා මම ස්ට්‍රාස්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය තනතුරුද පොත් ලිවීමද සංගීත වාදනයද අත්හළෙමි. එය සිදු වූයේ කෙලෙසින්ද ?

ප්‍රාථමික වනාත්රවල වසන ස්වදේශිකයින්ගේ ශාරීරික දුක්ඛීතභාවය ගැන මා පොතපතින් කියවා තිබුණි. ඔවුන් ගැන මිෂනාරින්ගෙන් අසා තිබුණි. ඒ ගැන වඩාත් සිතන විට මට වඩාත් පුද්මයක් ලෙස හැඟුණේ. ඒ දුර බැහැර රටවල් අප වෙත ඉදිරිපත් කරන ශ්‍රේෂ්ඨ මානව හිතවාදී කාර්යභාරය ගැන යුරෝපියයන් වන අප කිසිම තැකීමක් නොකිරීමයි. ධනවතා සහ ලාසරස් පිළිබඳ උපදේශ කථාව කෙළින්ම අප ගැනම කියන්නක් සේ මට හැඟුණි. අපි ධනවතා වෙමු. මක්නිසාද යත්, වෙෙද්‍ය විද්‍යාවේ දියුණුව නිසා අපි දැන් රෝග සහ වේදනා ගැන කරුණු ඉතා විශාල ප්‍රමාණයක් දන්නෙමු. ඒවා මර්දනය කිරීමට ක්‍රියා මාර්ග අප්‍රමාණ ගණනක් අපට ඇත. එසේ වූවත් මේ අලුතින් ලබාගත් දැනුම් සම්බාරය අපට දෙන මහාර්ඝ වාසි සමුදාය ගැන අප සලකන්නේ ඉතා සාමාන්‍ය දෙයක් ලෙසිනි. ඒ දුර බැහැර රටවල අවාසනාවන්ත ලාසරස් කළු ජාතිකයා වාසය කරයි.

ඔහු අප මෙන්, නැහැ ඊට වඩා ඉතා දරුණු ලෙස රෝග පීඩාවලින් දුක් විඳීයි. ඒවා මැඩලීමට කිසිම ක්‍රමයක් ඔවුන්ට නැත. තමාගේ ගේට්ටුව අසල සිටි අසරණ ලාසරස්ගේ තැන තමා සිටි නම් කියා ධනවතා කිසි විටෙකත් සංවේදිව හෝ ඔහු වෙනුවෙන් කළ යුත්තේ කුමක්දැයි හෘදය සාක්ෂියෙන් විමසුවේ නැතිව පව් කළා මෙන්, අපිද අපේ ගේට්ටුව අසල සිටින අසරණයාට විරුද්ධව පව් කරමු.

යුරෝපීය රටවල් යටත් විජිතවලට යවා ඇති වෛද්‍යවරුන් දෙතුන්සියයට කළ හැකි වන්නේ ඒ අති මහත් දුෂ්කර කාර්ය සම්භාරයෙන් ඉතා සුළු කොටසක් පමණකියි මම සිතින් වාද කළෙමි. ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාව එහි ගොස් ඇත්තේ එහි වසන සුදු ජාතිකයින්ට සහ යුද්ධ හමුදාවලට පමණක් ප්‍රතිකාර කිරීම සඳහාය. එසේ නොවුවත් ඒ තත්වය වෙනස් නොවේ. මනුෂ්‍ය වර්ගයා හට කළ යුතු මේ සේවය තම කාර්යභාරය ලෙස අපගේ සමාජය විසින් පොදුවේ පිළිගත යුතුය. තවද ස්වදේශිකයින්ගේ යහපත සඳහා සේවය කිරීමට වෛද්‍යවරුන් සිය කැමැත්තෙන්ම ඒ රටවලට යාමට කැමැති වන කාලයක් පැමිණිය යුතුවා පමණක් නොව, අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සෑහෙන වෛද්‍ය සංඛ්‍යාවක් යැවීමද ඔවුන්ගේ වුවමනා සපුරාලීමද සමාජයේ වගකිම විය යුතුය. ලෝක ශිෂ්ටාචාරයේ උරුමක්කාරයින් ලෙසට අප තුළ කළු ජාතිකයින් කෙරෙහි ඇති වගකිම වටහාගෙන එ අනුව කටයුතු කිරීමට අපට හැකි වන්නේ එවිටය.

මේ සිතුවිලිවලින් පොළඹවන ලද මම තීරණයක් ගත්තෙමි. එනම්, වයස අවුරුදු තිහක්ව සිටියදීත් වෛද්‍ය විද්‍යාව ඉගෙනගෙන මගේ ඒ සිතුවිලි අප්‍රිකානු රටක ක්‍රියාත්මක කිරීමය. 1913 මුලදි මම වෛද්‍ය විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය සමත් විමි. හෙදියක ලෙස සුදුසුකම් ලත් මගේ බිරිඳ සමඟ ඒ වර්ෂයේ වසන්ත සෘතුවේදිම මා ගමනාරම්භ කළේ, නිරක්ෂය ආසන්න අප්‍රිකාවේ ඔගෝවේ නදිය බලා ගොස් එතැන් සිට කටයුතු ආරම්භ කිරීමේ අරමුණින්ය.

මා මේ පෙදෙස තෝරාගත්තේ පැරිසියේ ඉවැන්ජලික මිෂනාරි සේවයේ නියුක්ත ඇල්සේස්වාසි මිෂනාරිවරුන් කීපදෙනෙකු මා හට කියා තිබුණ කාරණයක් නිසාය. එනම් ඒ ප්‍රදේශයේ නිද්‍රාබාධය හෙවත් නිද්‍රාරෝගය නොකඩවම පැතිරෙන හෙයින් වෛද්‍යවරයෙකුගේ සේවය ඉතා අවශ්‍යය යනුයි මිෂනාරි සේවය ලැම්බරේනේ ගමේ තමන් සතු නිවාසවලින් එකක් මගේ ප්‍රයෝජනය සඳහා දීමටද ඔවුන්ගෙ භූමියේ මට රෝහලක් ඉදි කිරිමට අවසර දීමටද තව දුරටත් මගේ කටයුතුවලට උදව් කිරිමටද එකඟ විය.

කෙසේ වූවද, මේ සමත්ත කාර්යභාරය සඳහා යන සැබෑ වියදම මා හට සපයාගැනීමට සිදු විය. මේ සඳහා මා යෙදවූයේ මා සංගීත වැඩ සටහන් පැවැත්වීමෙන් සහ බාක් සංගීතඥාය පිළිබඳව මා ලියු පොත (ජර්මන්, ප්‍රන්ස හා ඉංග්‍රිසි භාෂාවලින් පළ වූ පොත) විකිණිමෙන් ලැබු ආදායමයි. ප්‍රාථමික වනාන්තරයේ විසු නීග්‍රෝ ජාතිකයින් සඳහා රෝහලක් තැනීමට අවශ්‍ය මුදල් එකතු කිරීමේදි ලයිප්ස් නුවර තෝමස් කැන්ටර් පමණක් නොව යොහාන් සෙබස්ටියන් බාක් පවා මට උපකාරි විය. තවද ජර්මනියේ, ප්‍රන්සයේ හා ස්විට්සලන්තයේ විසු මගේ කාරුණික මිත්‍රයෝද මුදලින් දායක වූහ. අප යුරෝපයෙන් පිටත් වන විට වර්ෂ දෙකක් සඳහා අවශ්‍ය මුදල් නියතයෙන්ම ලැබී තිබුණි. අප්‍රිකාව බලා යන ගමන හා ආපසු ගමන සඳහා යන වියදම හැරෙන්නට මේ කාර්යය සඳහා යන වියදම වර්ෂයකට ප්‍රෑන්ක් 15,000 ක් පමණ වෙතියි මම ගණන් බැලිමි. එය බොහෝ දුරට නිවැරදි යයි පසුව සනාථ විය.

ගණන් හිලව් පවත්වාගැනීමත් සියළු භාණ්ඩ හා ද්‍රව්‍ය ඇණවුම් කිරීමත් ස්ට්‍රාස්බර්ග් නගරයේ විසු පරිත්‍යාගීලි මිතුරන් විසින් කරන ලද අතර, මිෂනාරි සේවය විසින් තම භාණ්ඩ සමග අපේ සියලු භාණ්ඩ ඇසුරු පෙට්ටි අප්‍රිකාවට යවන ලදී.

මේ අනුව මගේ කාර්යභාරය පැරිසියේ ඉවැන්ජලික මිෂනාරි සේවය සමඟ (විද්‍යාත්මක වචනයක් යොදන්නේ නම්) සහජීවනයෙන් පැවතුණේ වී වූවද එය වෙනම ගත් කල ආගමික නුවු සහ ජාත්‍යන්තර වූ කාර්යභාරයක් විය. එදා මෙන්ම අදත් මගේ දැඩි මතය වන්නේ ලෝකයේ මානව හිතවාදි කටයුතු සාර්ථක ලෙස කිරීමට නම්, මිනිසුන් එහි යෙදිය යුත්තේ මිනිසුන්ම ලෙසින් විනා යම් විශේෂ ජාතියක් හෝ ආගමික සංවිධානයක් ලෙසින් නොවන බවය.

ඔබ ඉහත කියවූයේ “මහ ගන වන මැද මිනිසෙක්” පොතේ පළමු පිටු තුනයි. මේ මිනිසා පොතේ රචකයා වෙයි. ඔහු නමින් ඇල්බට් ෂ්වයිට්සර්ය.

තවත් ඇල්බට් කෙනෙක්, එනම් 20 වන සියවසේ මහා ඇල්බට්, ඔව් 20 සියවසේ විද්‍යාඥ්ඥයා ලෙස විරුදාවලි ලත් ඇල්බට් අයින්ස්ටයින් මේ ඇල්බට් ගැන මෙසේ ප්‍රකාශ කර ඇත.

“අපගේ මේ ඛේදජනක ලෝකයෙහි ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් සිටියි. ඒ ඇල්බට් ෂ්වයිට්සර්ය. යහපත් බවද සෞන්දර්ය පිළිබඳ ඉමහත් රුචියද යන දෙකෙහි පරමාදර්ශි සංකලනයක් ඇල්බට් ෂ්වයිට්සර් වෙතින් මිස වෙන කිසිවෙකු වෙතින් මා දැක නැත”

මහා ගන වන මැද මිනිසෙක් ලෙස රාණි සේනාරත්න රාජපක්ෂ සිංහලට පරිවර්තනය කර ඇත්තේ ඇල්බට් ෂ්වයිට්නර් ලියු "The Primeval Forest", නම් කෘතියයි.

මේ කෘතියේ දැක්වෙන්නේ මේ මිනිසා අප්‍රිකාවේ ගාබොන් දේශයේ සිදු කළ සුවිශේෂි මෙහෙවරේ පළමු වර්ෂ තුනා මාර ගැන ඔහුගේම ආත්ම කථනයකි.

ඇල්බට් ෂ්වයිට්සර් (1875-1965) තරුණ වියේදීම පුළුල් විෂය ක්ෂෙත්‍ර ගණනාවක අසාමාන්‍ය කෞශල්‍යයක් ලැබු විද්වතෙකි. වයස 24 වන විට දර්ශනය පිළිබඳවත් දේව ධර්මය පිළිබඳ වෙන වෙනම ආචාර්ය උපාධි දෙකක් ලැබුවකි. ඉන්පසු එම විශ්ව විද්‍යාලයේම මහාචාර්යවරයෙකු ලෙස සේවය කළ වයස අවුරුදු 30 දි නැවත ශිෂයෙකු ලෙස වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී කමාට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූ වෛද්‍ය විද්‍යාව වර්ෂ හයක් පුරා දුෂ්කර ලෙස හදාරා තමන් සතු සියලු දේ අතහැර ගාබොන් දේශය බලා ගියේය. ඔහු එ් වන විට දේව ධර්මධරයෙකු දාර්ශනිකයකු සංගීතඥයෙකු විද්‍යාඥ්ඥයෙකු ලෙස සැලකිය යුතු කීර්තියක් ලබා සිටියේය.

ජේසුස් වහන්සේ පිළිබඳ සම්ප්‍රදායික මතවලට වඩා බෙහෙවින් වෙනස් මත දැරු ඔහු විශ්ව සම්භාවනාවට පාත්‍රවූයේ “මනුෂ්‍ය ජීවිතය පූජනීයය. එයට ප්‍රණාමය දැක්විය යුතුය” යන දර්ශනය ඉදිරිපත් කිරීම නිසාය.

තම දුටු දේව ධර්මය හා දර්ශනය ප්‍රායෝලික භාවිතාවක් බවට පත් කළ ඔහු 1952 දී තමන් හට නොබෙල් සාම ත්‍යාගය උදෙසා ලද ඩොලර් 35000 ක මුදල ගැබොන් දේශයේ ඔහු ඉදිකළ රෝහලට අනුබද්ධව “ලාදුරු ජනපදයක්” ඇති කිරීමට යොදවන ලදී.

ෂ්මයිට්සර් යටත් විජිතවාදය නිර්දය ලෙස විවේචනය කර කළ අයෙකි. නමුත් ඔහු තුළ සීමා සහිත කම් ද පැවැතුනි. විශේෂයෙන් ස්වදේශික ජනතාව දෙස ඔහු බැලුවේ කිසියම් ආකාරයකට කතෝලික මිෂනාරි ආකල්පය තුළමය. එනම් අප ශිෂ්ඨාරගතව සිටි ඔවුන්ව අප ශිෂ්ටාචාරාගත කළ යුතුය යන අදහසිනි. අප කියවු ඔහුගේ පොතේ මුල් පිටු තුන තුළ මෙසේ සඳහන් වේ. “ලෝක ශිෂ්ටාචාරයේ උරුමක්කාරයින් ලෙසට අප තුළ කළු ජාතිකයින් කෙරෙහි ඇති වගකීම වටහාගෙන ඒ අනුව කටයුතු කිරිමට හැකි වන්නේ එවිටය.

ඇතැමුන් ෂ්වයිට්සර්ට එල්ල කළ තවත් විචේනයක් වන්නේ “අප්‍රිකානු ජාතිකයා මගේ සහෝදරයාය. එහෙත් ඔහු මගේ බාල සහෝදරයා යැයි ඔහු ප්‍රකාශ කර ඇති බවයි. නමුත් මේ කෘතිය තුළ ඔහු තම කිතුනු ඇදහිල්ල තුළ පිහිටා අප්‍රිකානු සහෝදරය සමඟ අනන්‍යවන අවස්ථා දැකිය හැකිය.

“අප්‍රිකානු සූර්යය කෝපි වදුල හරහා ඒ අදුරු මඩුව තුළට රැස් විහිදුවයි. එහෙත් අපි සුදු ජාතිකයෝ සහ කළු ජාතිකයෝ එකට වාඩි වී සිටිමු. අප සියල්ලෝ සහෝදරයි වෙමුව යන මතෙව් 23/8 හි ඇති වචනවල අර්ථය පළපුරුද්දෙන්ම දන්නා බව හැගිමු.”

ෂ්වයිට්සර් මෙහිදි ගැඹුරින් මෙනෙහි කර ඇත්තේ මතෙව 23 සඳහන් විනයධරයින්ටය. පරිසිවරුන්ට ජේසු තුමා නඟන චෝදනාවන්ය. ඔව් හු තමන්ට උසස් බවක් හා ගෞරවයක් බලාපොරොත්තතු වෙති.

ෂ්වයිට්සර් ජේසුගේ ඉගැන්වීම තුළ තමන්ට එවැනි ගෞරවයක් හිමි විය යුතු නැති බව මෙනෙහි කර ඇති බව ඉන් ගම්‍ය වේ. ඔහුගේ සටහනට පාදක වන බයිබල් වගන්තිය මෙසේය.

“එහෙත් ඔබ ‘ගුරුදේව’ යැයි කියවා නොගන්න. ඔබේ ගුරු දේවයාණෝ. එක් කෙනෙක්මය. ඔබ කවුරුත් සහෝදරයෝය."

මෙවැනි කියවීමක් තුළම මෙහෙවර දකින මිනිසෙකු සැලකිය යුතු ආධ්‍යා්තමයක් ඇත්තෙකි යන්න අප පිළිගත යුතුය. ඔහු සතුව පීඩිතයාගේ විමුක්තිය පිළිබඳ දෘෂ්ටියක් නොපැවැතුන බව පැහැදිලිය. එවැනි සීමා සහිතකම් එක්තරා ආකාරයට ඒ යුගයට සාපෙක්ෂව අපව තේරුම්ගත හැකිය. එහෙත් ඒ නිසා ඔහුගේ විශිෂ්ඨ කැපවීම අපතේ නොයයි. මිනිසුන්ට අනුභාවය සපයයි.

jesustodaysl 2 වන වසර 21 වන සතිය 2018 ජූලි 29

Comments powered by CComment