ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්.

ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, අශෝක හඳගම ත්‍රිමූර්තිය විසින් නිර්මාණය කළ ‘‘තුන්දෙනෙක්‘‘ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ප්‍රදර්ශනය වූ දා අශෝක හඳගම අදහස් දැක්වීම...

‘‘අපි යුද්දය මොකුත් සිද්ද නොවුණා සේ අමතක කරන්න හදනවා. එහෙම යුද්දයක් තිබුණෙ නෑ වගේ ඉන්න හදනවා. හැබැයි ඒ අමතක කිරීම් ඇතුළෙ, යටකිරීම් ඇතුළෙ අපි විශාල ගිනි පුපුරක් යට කරනවා. ඒ ගිනි පුපුර නිවල දාන්නෙ නැතුව යටකරල දානවා. ඒක තමයි ඇත්තටම අපි පහුගිය කාලෙ අත්වින්දෙ. යුද්දෙ ඉවරවෙලා දශකයක් ගෙවෙන්නත් කළින්, ඒ යුද්දය පටන්ගත්ත මූලික ආකෘතියෙ ගැටුම් ටිකක් මේ රටේ නිර්මාණය වුණා. අම්පාර, තෙල්දෙණිය. යටගැසීමේ ප්‍රතිඵලය තමයි ඒ.

උදාහරණයක් හැටියට යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු දහයක්. තව දහයක් යන්න ඕන නෑ, පහක් ගියාම යුද්දයේ අත්දැකීම් නැති, පොඩ්ඩක්වත් අත්දැකීම් නැති තරුණ පරම්පරාවක් මේ රටේ ඉන්නවා. යුද්දය කියන්නෙ එක්තරා හේතුවක ඵලයක් විතරනෙ. මේ ඵලය තමයි කඩල දාලා තියෙන්නේ. නමුත් ගහ එහෙම්මම තියෙනවා. ඒ ගහ ගළවල දැම්මෙ නැත්නම් මේ ඵල නැවත නැවත හට ගැනීමට නියමිතයි.

ඇත්තටම මේ චිත්‍රපටිය සංහිඳියාව පිළිබඳ චිත්‍රපටයක් නෙවෙයි. සංහිඳියාව මේ රටට ඇවිල්ල තියෙනවා අපි හැමෝම අත්වැල් බැඳගෙන ඉම්මු කියන පණිවිඩය ගේන චිත්‍රපටයක් නෙවෙයි. මේ චිත්‍රපටය මේ රටේ සංහිඳියාව ඇණ හිටින තැන ප්‍රශ්න කරන චිත්‍රපටයක්. ඇයි අපිට සංහිඳියාව ඇතිකරගන්න බැරි වෙලා තියෙන්නෙ කියන ප්‍රශ්නය එකක්. අනෙකාව තේරුම් නොගන්නා තාක්කල් මේ විදියට ප්‍රශ්නය ජයගන්න හම්බවෙන්නෙ නෑ. මේ චිත්‍රපටය හරහා අපි ප්‍රශ්නය යට ගහන්න නොදී ප්‍රශ්නය අභිමුඛ වෙන්න අරිනවා. එතකොට එය වේදනාකාරීයි තමයි ඇත්තටම. වේදනකාරීයි තමයි, ඒ තුවාලය පෑරෙනවා තමයි. නමුත් පාරල තමයි හොඳ කරන්න වෙන්නේ. පාරල හොඳ කළේ නැත්නම් ඒක යටින් කුණු වෙනවා. ඊට වඩා දරුණු ව්‍යාධියක් විදියට තමයි ඊට පස්සෙ එන්නෙ. ඒ නිසා තමයි අපි මේ චිත්‍රපටිය මේ විදියට කළේ.

ඔයගොල්ලො දන්නව ඇති, අපි විමුක්ති, මම සහ ප්‍රසන්න යුද්ද කාලෙදිත් යුද්දයේ තියෙන ආදීනව මොනවද, යුද්දය ගමේ වටිනාකම්, ජීවිතවල වටිනාකම් වෙනස් කරපු විදිය ගැන චිත්‍රපටි කරපු කට්ටිය. ඒ හින්දා අපි දේශදෝහීන්, ජාතිද්‍රෝහීන් විදියට විශාල චෝදනාවලට ලක්වෙච්ච කට්ටිය. එහෙම වෙලා තමයි හිටියෙ. යුද්දය ඉවරවුණාට පස්සෙත් අපිට කියන්න කතාවක් තියෙනවා. යුද්දය ඉවරවුණාට යුද්දය අපි දිනල නෙවෙයි ඉවර වෙලා තියෙන්නෙ. පිටිපස්සෙ සහෝදරයා කිව්වා අපිට යුද්දය විසින් අහිමිකිරීම් ගොඩක් හිමිකරල තියෙනවා කියල. අහිමිකිරීම තමයි අපිට හිමිවෙලා තියෙන්නෙ. වෙන මොකුත් අපි දිනාගත්ත දෙයක් නෑ. ඉගෙනගත්ත පාඩමක් නෑ. ඒ පාඩම ඉගෙනගන්න තමයි මේ චිත්‍රපටි කරන්නෙ.

තව සහෝදරයෙක් ඇහුවා ජාතිවාදය පිළිබඳ පාඩම, සිංහල අධිපතිවාදය පිළිබඳ පාඩම අපිට කියල දෙනවා කිව්වා. මං ඒ ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ, විමුක්තිගෙ චිත්‍රපටියෙ ඇතුළෙ එන්නෙ ඒ කතාව විමුක්ති ඒ ගැන කතා කරයි. විමුක්තිගෙ චිත්‍රපටයෙ එනවා කොහොමද භාෂාව ඉගෙනගන්න ව්‍යාපෘතියක් ඇතුළෙ සිංහල උත්තමවාදය කියන එක උගන්නන්නෙ. ළමයෙක්ගෙ මනසට දාන්නෙ කියන එක. ඒ චිත්‍රපටය ඇතුළෙ තියෙන්නෙ ඒක. අපේ හෘද සාක්ෂිය පිළිබඳ අපි කාටත් තියෙනවා ගැටලුවක්.

ප්‍රසන්න තමන්ගෙ චිත්‍රපටිය ඇතුළෙ නගන ප්‍රශ්නය ඒක. අපේ හෘද සාක්ෂියට විවෘත වෙන්න ඉඩදෙන එක. අපේ හෘද සාක්ෂියට කතා කරන්න ඉඩදෙන එක. අපි කොහොමහරි චිත්‍රපටි හදමින් අපට දැනෙන දේ කියනවා. නමුත් දෙමළ ජනතාවට අවස්ථාවක් ලැබිල තියෙනවද, දෙමළ සිනමාකරුවන්ට අවස්ථාවක් ලැබිල තියෙනවද තමන්ගේ පැත්තෙන් තමන්ගේ දේ කියන්න. මේ සිංහල සමාජයට කියන්න. එහෙම අවස්ථාවක් ලැබිල නෑ. එහෙම වෙනවනම් ඒක අපි පිළිගන්න සූදානමකුත් නෑ. දැන් අපේ වීරයොයි ඒගොල්ලන්ගෙ වීරයොයි අපට දෙන්නෙක්. අපේ වීරයා සමරන්න පුළුවන්, ඒගොල්ලන්ගෙ වීරයා සමරන්න බෑ. එහෙමනෙ දැන් මේ රටේ තියෙන්නෙ. ඒගොල්ලන්ගෙ දේ ප්‍රකාශ කරන්න ගත්තම අපි කොච්චර සූදානම්ද මේ ප්‍රකාශනයට ඇහුම්කන් දෙන්න. තියන ගැටලුව ඒක. ඒ නිසා ඒ සමාජයෙන් ඒ කතාව ඇවිල්ල නැහැ. අපි තමයි ඔවුන්ගෙ කතාව කියන්නෙ. ඒත් අපි නෙවෙයි කියන්න ඕන එයාල. ඒගොල්ලන්ට ඒ අවස්ථාව දෙන්න ඕන. ඒක දීල තියෙනවද කියන ගැටලුව අපිට තියෙනවා.‘‘

6cac3e4af71ab8dda6dba234a97e4887 තරංගී රෙසිකා ප්‍රනාන්දු

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

      

Comments powered by CComment