සංහාරික භූමියකදි සැබැ මිනිසාගේ හදවතට වඩාත් කථා කරන්නේ මිය ගිය මිනිසුන්ගේ මළ සිරුරු වලට වඩා ජීවත්වන කුඩා දරුවන්ගේ මුහුණුය. අප සිදු කළේ කුමක්ද අප කළ යුත්තේ කුමක්ද යන්න මතක් කර දෙන්නේ ඔවුන්ය.

(ටෙරන්ස් පියතුමාගේ තල් අරඹක හද ගැස්ම පොත ජනගත කිරීමට මාර්තු 05 පැවැත්වුනු කතිකාවේදි මහින්ද නාමල් සොයුරා පැවැත් වු කතාව.)

අද දවසේ පොත් දෙකක් ජනගතකර සංවාදයකට මුල පුරයි.

මා සූදානම් වන්නේ 

1. ඉන් දෙවැන්න ගැනත්

2. පොත් දෙක මගින් අපට ගෙන එන පණිවුඩය ගැනත් අදහස් බිඳක් දැක්වීමටයි.

දෙවැනි පොත ටෙරන්ස් ප‍්‍රනාන්දු පියතුමාගේ ”තල් අරඹක හද ගැස්මයි”

එය තල් අරඹේ අපේ සහෝදර දෙමළ ජනතාවගේ හදගැස්ම සේම ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමාගේ ද හද ගැස්මයි.

මේ  පොත් පිළිබඳ සාමාන්‍යයෙන් ඇති වර්ගීකරණයන් තුල කුමන ප්‍රවර්ගයට අයත් වේ දැයි ස්ථානගත කිරීම දුෂ්කර පොතක්.

මෙය කවිපොතක්, නව කතාවක්, ශාස්ත්‍රීය ග්‍රන්ථයක්, අධ්‍යයන වාර්තාවක් යනාදි කිසිවකට අයත් නොවේ. මෙය අත්දැකිම් එකතුවකි. ඇසු දුටු, කියවු සාක්ෂි එකතුවකි. නිර්භය සාක්ෂි දැරිමක් පිලිබඳ සටහන් එකතුවකි.

මෙය කුමන පොතක්දැයි සොයනු වෙනුවට මේ පොතින් කියැවෙන්නේ කුමක්දැයි අපි විමසමු.

මෙම පොත් ද්විත්වයේ පළමු ජනගත කිරීම පසුගිය 19 වනදා මීගමුවේ සිදු වුණා. ඊට පසු ඇතැමුන් නැවත නැවතත් අසන පුරුදු ප්‍රශ්නය අසා තිබුණා. ඇයි මෙහි යුද්ධයෙන් බැට කෑ සිංහල ජනයා ගැන සඳහන් නොවන්නේ ?

පැහැදිලිව හා තිරසරව කිව යුත්තේ සිංහල ජනතාව යුද්ධයෙන් අත්විදි දැ  ඕනැවටත් වඩා ජාතිවාදයෙන් තෙම්පුරුදු කොට අතිශෝක්තියටද නංවා සිංහල පාඨකයා අතට පත් වී තිබෙන බැවින්, මෙය සිංහල ජනයාට ඔවුන් හරි හැටි නොදන්න, ඔවුන්ගෙන් සැඟ වු උතුරේ ජනයාගේ අත්දැකිම සිංහල පාඨකයාට කියවීමට සලස්වන පොතකි.

(යුද්ධයෙන් දෙමළ ජනයා විඳි පීඩාව හා සිංහල ජනයා විඳී පීඩාව සමඟ කිසි ලෙසකින්වත් සමබර කල නොහැකි.) එවන් කියවීමකට කැමැති අය උදෙසාය. මේ පොත. ටෙරන්ස් පියතුමා හා දකුණ පොත ගැන කතා කිරිමට පෙර කෙටියෙන් ටෙරන්ස් පියතුමා හා දකුනේ සමාජය අතර සබඳතාවය ගැන පැවසීම වැදගත් යැයි මා සිතනවා.

ටෙරන්ස් පියතුමා කතෝලික පූජකයෙකු ලෙස පීඩිතයා සමඟ අනන්‍යවන දෙවිදුන්ට සාක්ෂි දැරිම ආරම්භ කරන්නේ දකුණේ ‘තරුණ සංහාරය’ සිදුවන අවදියේදිය. ඒ වචනය නැවත කියන්න මම කැමැතියි ‘තරුණ සංහාරය’”මේ සංහාරය නවත්වන්න” කියන හඬ ඒ මොහොතේ දේශද්‍රෝහි හඬක් වුනේ නෑ. ඒ හඬ එකල ධාර්මික හඬක් වුනා. ටෙරන්ස් පියතුමාට ඒ හඬ නොනගා සිටීම දෙවියන්ට අපහාස කිරීමක්. කිතුනුකමට නින්දාවක් කියලා හැගුනා.

එවකට රජය රජයේ හමුදා යොදාගෙන කළ තිරිසන් මර්ධනය ඊට විරුද්ධ වන්නන් වෙතද යොමුවෙද්දී ටෙරන්ස් පියතුමා පරාල ඇණ ගසා මරා දැමු. ත්‍රිමාවිනාරන  සිසුවාගේ අවමගුල් පෙරහැරට එක්වන්නේ තම කිතුනු යුතුකම සලකාය. එතුමා ජන අරගලයට ප්‍රසිද්ධිෙය් පිවිසුනේ එලෙසිනි. ඒ ඉතිහාසය ගැන මේ පොතේ සංස්කාරක සටහනින් ඔබට කියවන්නට පුළුවන්. ටෙරන්ස් පියතුමා උතුරේ යුද්ධයට විරුද්ධ වන්නේද දකුණ සංහාරයට විරුද්ධ වු අධ්‍යාත්මය තුළ පිහිටාමය.

ටෙරන්ස් පියතුමා හා උතුර

උන්වහන්සේ උතුරේ ජනතා ප්‍රශ්නයට අවදි වන්නේ නිල සභාවේ දූත කාර්යයක් ලෙස නොවේ. රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක කොටසක් ලෙස නොවේ. දේව ධාර්මික වැඩ සටහනකට අවශ්‍ය ව්‍යාපෘතියක් වෙනුවෙන් හෝ පර්යේෂණ නිබන්ධනයක් වෙනුවෙන්ද නොවේ. යුධ වාර්තාකරුවකු හෝ නිර්මාණකරුවෙකු ලෙසද නොවේ. ඔහුගේ හෘද සාක්ෂිය ඔහුට කරන ලද ඇරයුමට පිළිතුරු දීමක් ලෙසය. ඔහුගේ ඇදහිල්ල තුළය. ඒ ඇදහිල්ල කුමක්ද ?

”හිමි තුමාණෝ තැළුණු බිදුනු සිත් ඇත්තන්ට ළංව සිටින සේක.....

”හිමි තුමන්ගේ අනුගාමිකයාද එසේ කළ යුතු නිසාය.

 ”දුබලයන්ට අනාථයන්ට යුක්තිය පසිඳලන්න. පීඩිතයින්ට හා දිළිඳුන්ට යුක්තිය ඉටු කරන්න.” 

දෙවිදුන්ගේ ඒ නියමය ඉටු කරනු පිණිස එතුමා උතුරට ගියේය.

"මරණයට ගෙන යනු ලබන අය මුද ගන්න."

"ඝාතනයට ගෙන යනු ලබන අප ගලවා ගන්න."

ඔබ ඒ ගැන කිසිත් නොදනිමියි ඔබ කියතත්ය ටි සිත විමසන දෙව් තුමන් එය නොදන්නේද ?
යටි සිත විමසන දෙවිඳුන්ගෙන් පලා යා නොහැකිවු ටෙරන්ස් පියතුමා ඝාතනයට ගාල් කරන ලක්ෂ ගණනක් ජනයාගේ ඉරණම වෙනුවෙන් කෑගැසුවේය. 

ටෙරන්ස් පියතුමා ඇවිලෙන ගිනි පඳුරෙන් ඇසුනු ආරාධනයට පිළිතුරු දුන් අයුරු ගැන මේ පොත ඔබට පෙන්වා දෙනු ඇත. එතුමා දෙමළ භාෂාව උගනියි. යාම් ඊම් කරයි. උතුරේ නේවාසික වෙයි. ලිපි ලිය ඉල්ලිම් කරයි. මිනිසුන් හමුවෙයි කතා බහ කරයි.

දැන් මම මේ පොතේ ඇතුලත් පුංචි තැන් කීපයක් ගැන ඔබ හා කථා කරන්නට කැමැතියි.

ටෙරන්ස් පියතුමාගේ පොතේ පළමු හෝ දෙවන ලිපිය ළමුන් ගැනයි.

වන්නියේ පුංචි මිතුරෝ හා දයාබර චූටි දුවේ.

මා වන්නියට යන හැම විටම මට හමුවන කුඩා දරුවන් ඡායාරූපයට නඟා පසුව ඒවායේ මුද්‍රිත පිටපත් ඔවුන් වෙත යවන්නට ආශා කළේමි. මේ පුංචි ක්‍රියාවේ අරමුණ වෙත කිසිවක් නොවේ. එම පුංචි එවුන් සතුටු කිරිමයි. එය ඉතා සරලය. පැහැදිලිය. එහෙත් ඔවුන්ගේ සුන්දර සිනහව තුළ හෝ ඔවුන්ගේ අහිංසක පෙනුම තුළ හෝ අපේ පියවි ඇසට නොපෙනන ඔවුන්ගේ සැබෑ ජීවිතය ගැන යමක් ඔබට අනාවරණය කරනු කැමැත්තෙමි. ඒවා නිකම්ම නිකම් ඡායාරූප නොවේ. ඒ උහුලාගත නොහැකි තරම් වද වේදනා වින්ද හා තවමත් විඳින්නා වු සැබෑ අහිංසක ජීවීතය.

සංහාරික භූමියකදි සැබැ මිනිසාගේ හදවතට වඩාත් කථා කරන්නේ මිය ගිය මිනිසුන්ගේ මළ සිරුරු වලට වඩා ජීවත්වන කුඩා දරුවන්ගේ මුහුණුය. අප සිදු කළේ කුමක්ද අප කළ යුත්තේ කුමක්ද යන්න මතක් කර දෙන්නේ ඔවුන්ය. 

මෙහිදි මගේ මතකයට නැගී ආ චරිත දෙකකි. පළමුව මතකයට පැමිණියේ මොහොමඞ් අලිවය. මොහොමඞ් අලි නම් වු ශ්‍රේෂ්ඨ බොක්සිං කී‍්‍රඩකයා යුද්ධයට එරෙහිව අභීතව හඬ නැංවූයෙකි. ඒ සඳහා ඔහුට බෙහෙවින් බලපෑවේ කුඩා දරුවන් බව ඔහු ලියා ඇත.

”මා පුංචි ළමයින්ට හරි ආදරෙයි. ජීවිතය ආපසු පටන් ගන්න  ඕනා කියලා ඔවුන් දකින විට හිතෙනවා මොනවා හරි කියන්නේ නැතිව මට කවදාවත් ළමයෙකුව පහුකරගෙන යන්න බෑ”

ජාතික ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් සඳහා අපි මේ ජාතිවාදයට යට නොවී දේශපාලන බල අරගල තුළ එකල මෙකල නොවී ක‍්‍රියා කළ යුතු බව පවසන්නේ වන්නියේ කුඩා දරුවන්ගේ මුහුණුය. ඔවුන්ගේ ගෙලේ අනාගතයේදි සයනයිඞ් කරල් නැවත එල්ලන්නේ නිස්සාර උම්මන්තක ජාතිවාදියෝ පමණක් නොවෙයි. ඒ ජාතිවාදය ඉදිරියේ වෙන දෙයක් බලාගෙන ඉන්න අපි සියලූ දෙනා.

මොහොමඞ් අලි හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කිරීම සඳහා යන අතර තුර ඔහුගේ හදවතට බලපෑ දරුවෙකු ගැන නැවත නැවත අවදි වු මතකය ගැන මෙහෙම ලියනවා.

”දිනක් මට තවත් දැරියක් හමුවුනා. ඇය හමුවුණේ පුවත්පත් ඡායාරූපයකින්. ඡායාරූපයේ තිබුණේ මිය ගිය වියට්නාම් ජාතිකයින් කීප දෙනෙකුගේ මළ සිරුරු ගණන් කරමින් සිටින ඇමරිකන් සෙබළුන් පිරිසක්. මේ දැරිය ඒ දෙස බලාගෙන අඩමින් සිටිනවා. මේ සංවේග ජනක සිද්ධිය දැක ගන්න එතැන ඉතුරු වෙලා ඉන්නේ මේ අහිංසක දැරියයි. පිංතූරය ගත්තු ඡායාරූප ශිල්පියයි විතරයි. මම ඒ ඡායාරූපය කපල පොතක අලවා ගත්තා. ඒ දැරියගේ අසරණ මුහුණ මට කවදාවත් අමතක වෙන්නේ නෑ”

මොහොමඞ් අලිගේ යුධ විරෝධි අස්ථානයට ඒ දැරියව බලපානවා. 

දෙවැනි චරිතය ප‍්‍රැන්සිස් සුදතුම් පියා

2018 ජනවාරි 01 වෙනිදා එතුමා ලෝක සාම දිනයට නිකුත් කල තැපැල්පත. එහි දැක්වෙන්නේ කුඩා දරුවෙක්ගේ ඡායාරූපයක්. ඒ ඡායාරූපය ගැන ඡායාරූප ශිල්පියා පැවසු කතාව මෙයයි. 

”වසර දහයක පමණ කුඩා පිරිමි ළමයෙකු මා අසලින් ගමන් කරනු දුටුවා. ජපානයේ බොහෝ දරුවන් තම කුඩා සොහොයුරෙකු හෝ සොහොයුරියක පිටේ එල්ල ගෙන කෙළි සෙල්ලම් කිරීම සුලබ දසුනක් වූවද මා දුටු පිරිමි දරුවාගෙන් දිස් වූයේ ඊට වඩා හාත්පසින්ම වෙනස් හැසීරීමක් මා ඔහුගේ හැසිරිම් දෙස ඉතා  ඕනැකමින් බලා සිටියා. ඔහුගේ මුහුණෙන් සිනහවක ලකුණක් හෝ මා දුටුවේ නෑ. තම පිට මත එල්ලා ගෙන ආ කුඩා සොහොයුරා ගේ බෙල්ල එල්ලා කඩා හැලෙන ආකාරයක් මා දුටුවා. සුදු පැහැති මුහුණු ආවරණයක් සහිතව පැමිණි ජපන් ජාතිකයෙකු ඔහුගේ කර මත එල්ල රැගෙන ආ කුඩා දරුවා දෝතට ගන්නා ආකාරය මා දුටුවා. ඉන් මා සිදු වී ඇති දේ ක්ෂණිකව වටහා ගත්තා. බුර බුරා නැගෙන ගිනි දැල් වෙත මියගිය සිඟිත්තා වීසි කරන අයුරු මා බලා සිටියේ හදවතේ නැගෙන ගිනි දැල් අතරින්, අනතුරුව මාගේ දෙනෙත ඇදී ගියේ මියගිය කුඩා සිඟිත්තා රැගෙන ආ දරුවාගේ හැඟිම් බර මුහුණ වෙතය. තම සොහොයුරා ගින්නට වීසි කිරිමෙන් පසුව ඔහු තමාගේ යටි තොල ලේ එනතුරු සපා ගන්නා ආකාරය මා දුටුවා. අනතුරුව ජපන් සම්ප‍්‍රදායට අනුව ඔහුගේ හිස ගිනි උඳුන වෙත පාත් කර සෙමෙන් සෙමෙන් එම ස්ථානයෙන් නික්ම ගියා.

මේ පීඩිත දරුවන්ගේ මුහුණු තුළ දෙවිදුන්ව දකින එක ගැලවීමට අත්‍යාවශ්‍යයි. එවැන් දරුවන් ගැන කථා ගණනාවක් මේ පොතේ ඇතුලත් වේ.

ටෙරන්ස් පියතුමාගේ පොතේ තිබෙන තවත් ලිපියක් වන්නේ A 9 පාරෙන් ඔබ්බට ”යුද්ධයෙන් පසු ‘මුදාගත් ප්‍රදේශ’ වෙත විනෝද ගමන් යන බොහෝ දෙනා උතුර දකින්නේ A 9 පාරේ කාපට් අතුරුම හා ඔවුන් ආහාර ගන්නා ආපනශාලා හෝ නවාතැන් ගන්නා තැන්වලින්. ඒ චිත‍්‍රය කොයිතරම් ව්‍යාජද ? A 9 පාරෙන් ඔබ්බට යථාර්ථය කොයිතරම් ඛේදනීයද ? ටෙරන්ස් පියතුමා ඒ යථාර්ථය දැක බලා ගන්නවා. අපටද එය කියවීමට ආරාධනා කරනවා.

මගේ මතකයට උතුරේ වත්මන් යථාර්ථය හෙලි කරන ලිපි දෙකක් එනවා. ඒ ලිපි දෙකම ගිය වසර අග භාගයේ පළවු ඒවා. එකක් මහ නගර අමාත්‍යාංශය තම සේවාවන් ගැන ඵල කළ දැන්වීමක්. රට පුරා සංවර්ධනයට වැය කළ මුදල් හා සිදුකළ ව්‍යාපෘති ගණන. ලංකා සිතියමේ පළාත් තුළ ඒ සංඛ්‍යා පැහැදිලිව දමා තිබුණා. උතුර පලාතට හා නැගෙනහිර පලාතට තමයි අඩුම ව්‍යාපෘති. ඒ පලාත් දෙකකට වැය කළ මුදල 4% කට අඩුයි. පලාත් 9 ගැන හිතුවොත් මේ පලාත් දෙකට 22% ක් ලැබිය යුතුය.

දෙවැන්න ”ඇගට  දැනෙන සංවර්ධනය උතුරු නැගෙනහිරට හැර” කියන ලිපිය ඒක ලියා තිබුණේ ආචාර්ය මොහොන් සමරජීව බවයි මට මතක. මේ තමයි අදටත් උතුරු නැගෙනහිරට කරන සංවර්ධනයේ ඇත්ත. උතුරු නැගෙන හිරට ගෙවල් 1000 ක් පමණ හදන්න ලැබුනු මුදලින් එක ගෙයක්වත් නොසාදා කෝටි ගණනක මුදල වංචා කිරීම ගැන අලස් මහත්තයා ඇතුළු පිරිසට විරුද්ධව චෝදනාවට නඩු අසා දඩුවම් දීම තවමත් සිදු වී නැහැ. මේ තමයි උතුරු වසන්තය. නැගෙනිහර නවොද්ය රාජපක්ෂ ගජ මිතුරන් උදා කල හැටි.

ටෙරන්ස් පියතුමාගේ තවත් ලිපියක් තමයි යුද්ධය හා දන්සල ඒකට නිමිති වන්නේ යුධ ජයග්‍රහනය සැමරීම සඳහා පවත්වන දන්සලක් ගැන. කතෝලික සිංහල පුවත්පත ඵල කළ ලිපියක්. දන්සල විවෘත කිරිමට එකතු වෙන්නේ පැවිදි සොයුරියක්. ටෙරන්ස් පියතුමා යුද්ධයේදි තම ආගමික සංස්ථාවේ වැරදි ස්ථාවරයන් නිර්දය ලෙස විචාරයට ලක් කරනවා. යුධ ජයග්‍රහනය සැමරීමේ, කුප්‍රකට කිරිබත් කෑමේ ඇති අධාර්මික බව, අක්‍රිස්තියානිකම, අකතෝලිකකම නිබයවම පෙන්වා දෙනවා.

පියතුමා යුධ ජයග්‍රහනයට ආ වඩන කිතුනු පූජක පැවිදි සැමට මතක් කරන්නේ අවම වශයෙන් ඔබලාගේ පූජක සහෝදරවරු තිදෙනෙකු ඝාතනය වීම, එක් අයෙකුට පාදයක් අහිමි වීම. අට දෙනෙකු රැදවුම් කඳවුරු වල ගාල් කිරීම ගැනවත් හැඟීමක් නැති අය සේ මේ ජය සැමරීම කරන්නේ කෙසේද ? කියායි.

කිතුනුවන්ට ආදර්ශයක් වශයෙන් පියතුමා එක් බෞද්ධ මවක් යුධ ජයග්‍රහනය ගැන කියු ප්‍රකාශයක් එම ලිපියේ උපුටා දක්වනවා.

”වගකිම් සහිත පුරවැසියන් ලෙස අප ජනතාව අතර නැවත එක්සත්කම ගොඩනැගීමට පැහැදිලි තෝරා ගැනීමක් කළ යුතුය. මෙම සිද්ධින් මෙම අවස්ථාවේදි සැමරීම සුදුසු නැත. මම බෞද්ධ කාන්තාවක් වෙමි.  අපගේ ඉගැන්වීම් දෙස බලන්න. ඝාතනය දිරි ගන්වන එකඳු වචනයක් හෝ බුදුන් වහන්සෙගේ ඉගැන්වීම තුළ මට හමු වී නැත. මෙය ඝාතනයේ ජයග්‍රහනයකි. අපි බොදුනුවන්, ශී‍්‍ර ලාංකිකයින් ලෙස සිය ගණනක් අහිංසක ජනයාගේ මරණ හේතු කොටගෙන කා බී සිනාසි ප්‍රීති විය හැකිද ?

මෙවන් ප්‍රකාශයක් කිරීමට කිසිදු කිතුනු නායකයෙකු ඉදිරිපත් වුයේ නැත. යුධ ජයග්‍රහනය වෙනුවෙන් රජයට හා හමුදාවට සුබ පැතීමට පමණක් ඔව් හු එක් විය. එමගින් ඔව් හු ක්‍රිස්තියානි මරා වළලා දැමුහ. ටෙරන්ස් පියතුමා ඒ අපරාධය දරා ගැනීමට නොහැකිව මේ සටහන ලියු බව පෙනේ. එතුමා යුධ ජයග්‍රහනය සමරන මොහොතේ පහත ඊමෙල් පණිවුඩය උතුරේ හිතවතුන් වෙත මුදා හරි.

මනුෂ්‍යත්වයට එරෙහි මේ අපරාධය ඉදිරිපිට දකුණ සභාව උදාසිනවද, නිහඬවද සිටිනු දක්නට ලැබීම හඳවත කඩා වැටෙන කල හිරවන සුළු මහා ඛේදවාචකයකි. කරුණාකරණ අපට සමාවෙන්න. ඔවුන් නොදැන කරන දෙයට ඔවුන්ට සමාව දෙන්න. මොවුන් කිසිවක් නොකරන නිසාද මොවුන්ට සමාව දෙන්න.

මම දැන් පොත ගැන කතා කිරීම නතර කර මේ පොත ජනගත කරන්නේ ඇයි ? කියන දේ ගැන කතා කරමි.

එහෙමත් නැත්නම් මේ පොත් දෙක මගින් ඇති කරන්න යන සංවාදය කුමක්ද යන්න ගැන අදහසක් බෙදා ගන්න කැමැත්තෙමි.

මේ පොත් කුමකටද ?

දෙමළ ජාතිකයෙකු වු සත්‍යවේල් පියතුමාගේ පොතත් හා සිංහල ජාතිකයෙකු වු ටෙරන්ස් පියතුමාගේ පොතත් එක විට ජනගත කිරීම එක්තරා සංඛේතාත්මක ක්‍රියාවක්. අරමුණුකාරි ක්‍රියාවක්, දැනුවත්ව කළ ක්‍රියාවක්. බොහෝ දෙනා විසින් විවිධ හේතු දක්වමින් පසුමුනට ඇද දමා ඇති ජාතික ප්‍රශ්නය හෙවත් ශී‍්‍ර ලාංකික බව තුළ සියළු ජාතින් සමාන හිමිකම් ඇති පිරිසක් ලෙස සලකන රටක් ගොඩනැගීමේ ප‍්‍රශ්නය සංවාදයේ පෙරමුණට රැගෙන ඒම මෙහි ප්‍රමුඛ අරමුණක්.

විශේෂයෙන් ශී‍්‍ර ලංකාව එහි වෙසෙන සියලූ දෙනාට යහපත් ජීවිතයක් සහතික කරන රටක් බවට පත් කිරිමට නම් ලංකාව විසින් ගොඩනගා ගත යුතු පුරවැසියා කෙබඳු කෙනෙක්ද?

මගේ අදහස වන්නේ එවැනි රටක් ගොඩනගා ගැනීමට නම් සත්‍යවේල් පියතුමා හා ටෙරන්ස් පියතුමා වැනි පුරවැසියන් පුරවැසි සමාජය තුළ නිර්මාණය කරගත යුතුය යන්නයි. ලංකාවට අවැසි සිංහලයා යනු ටෙරන්ස් පියතුමා වැනි සිංහලයකි. ලංකාවට අවශ්‍යය ද්‍රවිඩයා යනු සත්‍යවේල් පියතුමා වැනි ද්‍රවිඩයකි. මේ පොත් දෙක ආරාධනා කරන්නේ ඔවුන් මෙන් වීමටයි. මා කැමැතියි ඒ ගැන පැහැදිලි කරන්න. ලංකාව නිදහසින් පසු මුහුණ දුන් ප්‍ර්‍රධාන අභියෝගයක් තිබේ. එය දෙයාකාරයකින් සූත්‍රගත කළ හැකියි.  

1 අනන්‍යතා දේශපාලනය හා පීඩිත ජනතාවගේ දේශපාලනය එකනිකෙනට ප්‍රතිවිරෝධි නොවි එකිනෙක පෝෂණය කරන දේශපාලනයක් ලෙස පෝෂණය කිරීම.

2 බාහිර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය හා අභ්‍යන්තර ස්වොත්තමවාදයට එරෙහි අරගලය. එකිනෙකට ප්‍රතිවිරෝධි නොවි එකිනෙකට බැදුනු අරගලයක් ලෙස පවත්වා    ගැනීම.

මෙහි රැස්වී සිටින බහුතර කිතුනු ජනයාට කෙරෙන භාෂාවෙන් කියන්නේ නම් අලූත් අහසක් අලූත් පොළවක් මෙරට තුළ ගොඩනැගෙන්නට නම් ඒ සඳහා අරගල කරන අනුගමිකයින් ශිෂ්‍ය ප්‍රශ්න, ජාතිය, භාෂාව, පිළිබඳ ප්‍රශ්නය ආදි අනන්‍යතා ප්‍රශ්න සඳහා කරන අරගලය පීඩිතයාට නිදහස, විමුක්තිය, ලබාදෙන අරගලය සමඟ එකිනෙකට බද්ධ කරගත යුතුයි. එයින් තොරව හුදු ආගමික පිළිවෙත්වල යෙදීමෙන් දේව රාජ්‍ය උදාකරගත නොහැකිය.

එසේම ශී‍්‍ර ලංකාව දේව රාජ්‍යයෙන්, සාම රාජයයෙන් ඈත් කරන ශී‍්‍ර ලාංකේය ජනයා පොදුවේ ආර්ථික පීඩාවට පත් කරන ඇමරිකන්, චීන, ඉන්දිය බාහිර අධිරාජජ්‍යවාදයට එරෙහිව කටයුතු කිරීම මෙන්ම රට තුළ පවතින ජාතිවාදය, ආගම්වාදය හෙවත් අභ්‍යන්තර ස්වොත්තමවාදයන්ට එරෙහිව කටයුතු කිරීමටද අත්‍යාවශයය.

ජේසුස් වහන්සේ සිදු කළේ ඒ අරගලයයි. උන්වහන්සේට ජීවිතය පූජා කිරීමට සිදුවූයේ ඒ අරගලය වෙනුවෙන්. රෝම අධිරාජය නැමැති බාහිර අධිරාජ්‍යවාදයේ බලපෑමෙන් පීඩාවට පත්වූවන්ගේ මෙන්ම ජුදා සියොන් ස්වොත්තමවාදයෙන් පීඩාවට පත් වු සමරිතානුවන් වැනි පීඩිත ජනතාවගේ පැත්තේ උන්වහන්සේ සිට ගන්නේ කොන්දේසි විරහිතවයි.

ශී‍්‍ර ලංකාවේ ආගමික ප්‍රගතිශීලින් මෙන්ම අනාගමික රැඩිකල් පිරිස් පවා මේ අභියෝගය ඉදිරියේ පසුබෑ ගියා. ඒ සඳහා බලපෑවේ අධිරාජ්‍යවාදින් විසින්ම ගොඩනැගු මතවාදි ව්‍යාධින්, ජේසුගේ භාෂාවෙන් කීවොත් පිලාත් හා නායක පූජකයින්ගේ මුහුන් වලට හසුවීම. ටෙරන්ස් පියතුමා හා සත්‍යවේල් පියතුමා කියන්නේ මේ අභියෝගය ජයගත් දෙදෙනෙක්. ඔවුන් එකවිටම පීඩිතයාගේ අරගලයත් අනන්‍යතා අරගලයත් සමඟ සිට ගන්නවා. බාහිර අධිරාජ්‍යවාදයට මෙන්ම අභ්‍යන්තර ස්වොත්තමවාදයට එරෙහිව කටයුතු කරනවා. 

මෙකි ද්වීත්ව අරගලයේ අවශ්‍යතාවය අපට දැක ගත හැකි වු සංඛේතාත්මක අවස්ථාවක් ඔබ සමඟ බෙදා ගන්නට කැමැතියි. ඒ තමය පසුගිය දා පැවැති 70 වන නිදහස් සැමරුම. එය පැවැත්වුනේ ගෝලෆේස් පිට්ටනියේ. වේදිකාව ඉදිකර තිබුනේ නව අධිරාජ්‍යවාදින්ගේ ආර්ථික ආක‍්‍රමණන පෙන්වන චීන හා වෙනත් විදේශික දැවැන්ත ගොඩනැගිලි වලට පිටුපා ඒවායේ දැවැන්ත ප්‍රචාරක පුවරු තාවකාලික වේදිකාවෙන් වැසිලා. ජනපති අගමැති මුහුණලා සිටින්නේ මුහුද දෙසට. ඔවුනට පේන්නේ චීනයට පැවරු දකුණු කොළඹ වරාය පර්යන්තය හා පෝට් සිටිය. ඒ නව අධිරාජ්‍යයේ සංඛේත. ඒ මධ්‍යයේ නිදහස් සැමරුම් උළෙල. එය තනිකරම මිලිටරි හා සිංහල ස්වොත්තමවාදය කුළු ගන්වන පෙළපාලියක්. මේ තමයි වත්මන් ශී‍්‍ර ලංකාවේ ජනයා භූක්ති විදින පීඩාවේ මූලයන්. ශී‍්‍ර ලංකාවේ නිදහසක් නැති නිදහස. මින් නිදහස් වීමයි දේව කැමැත්ත. ඒ සඳහායි සතී හා ටෙරන්ස් අරගලය.

අද අප මේ සාකච්ඡාව පවත්වන මොහොතේ මහනුවර දිගන ප්‍රදේශයෝ ජාතිවාදි ගිනි ඇවිලී යන බව ආරංචි අපට ලැබෙනවා. මුස්ලිම් ජනතාවට එරෙහි වෛරි ප්‍රකාශ හා ප්‍රචණ්ඩ ක්‍රියා මගින් අලූත් සතුරෙකු නිර්මාණය කරමින් රට තවත් සංහාරක ගැටුමක් වෙත ගෙන යාමට පසුබිම සකස් කර තිබෙනවා. ඒ තත්වය වෙනස් කිරීමට මැදිහත්වීමේ වගකිම අප සැමට පවතිනවා. එය අභියෝගයක්. මහා කැපවීමක්. එය සිදු නොකළොත් අපිත් වගකිව යුතු වෙනවා අනාගතයේ ලේ වැගිරිම්වලට. ගිනි අවුලන්නන්, පිදුරු දමන්නන් පමණක් නොවෙයි. ඔහේ බලා සිටින්නන්ද ගින්නට වගකිව යුතුයි.මේ අවස්ථාවේ මෙහි රැස් වී සිටින සැමට ටෙරන්ස් පියතුමාගේ හා සතිවේල් පියතුමාගේ භාවිතයට ගරු කිරිමක් ලෙස මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වය විරුද්ධව අවම වශයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් කිරීමටවත් ඉදිරිපත් වෙන්නැයි මා ඉල්ලා සිටිනවා. ජාතියේ සැබැ සතුරා වන්නේ දෙස් විදෙස් ධනලෝභින් හා බලලෝභින්ය. ඒ වෙනුව දෙමළ ජාතිකයා හෝ මුසල්මානු ජාතිකයා සතුරා බවට පත් කරමින් සැබෑ අරගලය යටපත් කරන බලවේග පැරදවීමට අප එක් විය යුතුයි. ඒ සඳහා වන කතිකාවක් සඳහා මේ පොත් ද්වීත්වය නිමිත්තක් කරගත යුතුයි. ඒ සඳහා ආරාධනා කරමින් මේ අදහස් බෙදා ගැනීම නිම කරන්න මා කැමැතියි.

6cac3e4af71ab8dda6dba234a97e4887මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08

Comments powered by CComment