හඬන්නට කඳුළු නැතිව යා හැකි තරම් දුක්ඛිත ළමා කාලයක් ගත කල ඒබ්‍රහම් ලින්කන් වහල් සේවය අහෝසි කරන්නට ක්‍රියා කරන්නේ ඔහු කඳුළු ඇති ජන නායකයෙක් වු නිසාමයි. මානව දයාවෙන් ආර්ද්‍ර වු හදවතක් ඇති ජන නායකයෙක් වු නිසාමයි. ඒ බව අපට කියාදෙන්නේ මේ නවකතාවයි.

”මිනිහෙක් සම්පූර්ණ වෙන්න නම් පොතක් ලියන්න ඕනැ. පුතෙක් හදන්න ඕනැ. ගහක් වවන්න ඕනැ”

මේ කතාව කිව්වේ එක් දිසාපතිවරයෙකි. 2001 දි අනුරාධපුරයේදි පැවැති වැඩසටහනකදි මේ ලියුම්කරුත් ඒ වැඩ සටහනේ කතිකයෙක්. දිසාපති තුමාට පස්සේ කතාව තිබුණේ මේ ලියුම්කරුට.

”ගසක් වැවීම නම් මිනිහෙක් වීමට අනිවාර්යෙන්ම කළ යුත්තක්. ඒක එහෙම රාව නංවන එක හොඳයි ඒත් ඉතිං දිසාපති තුමා කිව්වට හැමෝටම පොතක් ලියන්නත් බෑ. පුතෙක් හදන්නත් බෑ. ගෝත්‍රික යුගයේදි නම් තමන්ගේම පුතෙක් ගැන ලොකු බලාපොරොත්තු තිබුනු එක අපිට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඒ යථාර්ථවාදි නොවන හැඟීම නිසා පුතෙක් වඳන්න බැරි වුනු ස්තී‍්‍රන් කොයිතරම් දුක් වින්දද ? නින්නාදවට පත්වුනාද? අත්හැර දමනු ලැබුවාද?

ඇත්තටම අපි මේ කතාවේ කියන්න යන පුතා ඉපදෙන්නේ ගෝත්‍රික යුගයේ නොවෙයි උනත් වහල්කම පවතින යුගයක. ඒ යුගයට සාපෙක්ෂව නම් මේ පුතාගේ තාත්තාට තම පුතා කියන්නේ පුදුමාකාර වස්තුවක් වුනාට සැක නෑ.

පියෙක් පුතෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද ? අද කාලේ පියවරුන්ගේ සිහින මොනාද   තම පුත්තු ගැන ? ඒ ගැන ලියන්න යන්නේ නෑ. හැබැයි ඒ ගැන ටිකක් හිතන්න..............

දැන් අපි මේ සටහන නැවත කියමු. මේ තාත්තා පුතා ගැන දැක්ක හීනය කොයි වගේද ?.... ඒ හීනය ඔහු සටහන් කරන්නේ පුතා පාසල් යන දවස් පුතාගේ පාසලේ මුල් ගුරුතුමාට ලියන ලිපියක ඒ මෙන්න මේ විදිහට.

2018.03.28.02 

”මගේ පුතාට කියා දෙන්න හැම මනුෂයෙකුම සත්‍යවාදි සහ සර්ව සාධාරණ නොවන බව. මගේ පුතාට කරුණාකර උගන්වන්න හැම තක්කඩියක දුර්ජනයකු පාසාම ගුණයහපත් රටේ සුභසිද්ධියට කැපවුණු යහපත් දේශපාලඥයකුත් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.

සෑම සතුරෙකු පාසාම මිතුරෙකු සිටින බවත්, මගේ පුතාට කියාදෙන්න. ඒ වාගේම කියාදෙන්න නොමිලයේ කාගෙන්හරි කොහෙන්හරි ලැබෙන ඩොලර් පහට වැඩිය තමාගේ දාඩිය මහන්සියෙන් උපයන ඩොලරය වටිනාකමින් වැඩි බව,

පරාජය විඳදරා ගැනීමටත් ජයග්‍රහනය නිහතමානීව සතුටින් භක්ති විඳීමටත් මගේ පුතාට උගන්වන්න. ඇතැම් උදවිය ඊර්ෂයාකාරීව ඔහු යටහපත් කරන්නට ක‍්‍රියා කරන විට ඒවා ගැන කළකිරෙන්නේ නැතිව සන්සුන්ව සිටිමින් සිත යටින් සිනාසෙන්නට හැකි ශක්තියේ රහස ගැන ඔහුට උගන්වන්න.

මුල්ගුරුතුමෙනි, ඔබට හැකිනම් ඔහුට පොතපතේ ඇති චමත්කාරය පෙන්වා දෙන්න. එපමණක් නොවේ, අහසේ සැරිසරන කුරුල්ලන්, හිරු රැසේ පියාඹන මීමැස්සන්, නිල්වන් කඳු බෑවුමක පිපී හිනැහෙන වන මල් කියාපාන සදාතනික රහස ගැන ඔහුට නිවී සැනසිල්ලේ සිතන්නටත් ඉඩ හරින්න. වංචා කිරීමට වඩා හොර මැරකම් කිරීමට වඩා පරාජයට මුහුණදීම ගෞරවාන්විත බවත් අනෙකුත් අය කුමක් කීවත් තමන්ගේ අවංක අදහස ගැන විශ්වාසය තබා කි‍්‍රයා කිරීම ඉතා වටිනා බවත් මුල් ගුරුතුමනි, ඔහුට වටහා දෙන්න. තමන් වටේ සිටින උදවිය කරන දෙය අන්ධානුකරණයෙන් පිළිනොගෙන තමාගේම බුද්ධිය මෙහෙයවා යුතුකම් අයුතුකම් තේරුම් ගෙන ක්‍රියා කිරීමේ ශක්තිය ඔහුට ලබා දෙන්න. සෑම දෙනෙකුටම සවන්දීමට ඔහුට උගන්වන්න. එහෙත් ඔහු අසන දෙය සත්‍ය අනුව කිරා මැන බලා හොඳ දේ පමණක් ගන්නට ඔහුට හැකියාව ලබා දෙන්න.

කුමන දුකකට පත්වූවත් එයින් පරිපීඩිත නොවී සිනාසෙන්නට ඔහුට උගන්වන්න. කඳුළු සැලීම ලැජ්ජාවට කරුණක් නොවන බව ඔහුට කියාදෙන්න. හැම දෙයකම වැරදි සොයන්නන් ගණන් නොගැනීමටත් මිහිරි චාටු බස් දොඩවන්නන් ගැන පරිස්සම් වන්නටත් ඔහුට කියාදෙන්න. තමන්ගේ ගතේ සිතේ ශක්තිය වැඞීම මිළට ඉල්ලන්නට විකුණුවත් තමන්ගේ හදවත සඳහා කිසිවිටෙකත් මිළක් නොඉල්ලන්නට ඔහුට උගන්වන්න. බොරු ඝෝෂාවල් කරන සෙනඟ මධ්‍යයේ කන් පියාගෙන ඉන්නට ඔහුට ධෛර්යය දෙන්න. තමන් සත්‍ය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් ධෛර්්‍යමත්ව සටන් කරන්න උගන්වන්න.

මුල්ගුතුරුමෙනි, ඔහුට මෘදු ලෙස සලකන්න. නමුත් ඔහු සුරතල් කරන්න එපා. වානේ හොඳින් තැනිය හැක්කේ ගින්නෙන් රත් වූ විට බව ඔහුට පැහැදිලි කරන්න. ඒ නිසා ඔහුගේ ජීවිත ගමනේදි හැඩිදැඩි රස්නයක් දැනුනොත් එයින් තේරුම් ගන්නට සලස්වන්න. ඔහු කාටවත් යටත් කරන්න බැරි මිනිසෙකු හැටියට, ධෛර්්‍යය සඳහා නොඉවසිලිමත් වීමටත් පුරුදු කරන්න. ඔහුට ඔහු පිළිබඳ විශ්වාස ගොඩනගා ගැනීමට උගන්වන්න. එවිට ඔහු මනුෂ්‍ය වර්ගයා පිළිබඳවම විශ්වාසය තබනු ඇත.

මෙය ඉතා භාරධූර කාර්යයක් වනු ඇත. එහෙත් ඔබට කළ හැක්කේ කුමක්දැයි කියා බලන්න. මගේ කුඩා පුතු ඉතා හොඳ දරුවෙකි.”

ඇත්තටම අති විශිෂ්ඨ සිහිනයක්. නියම තාත්තෙකු පුතු ගැන දැකිය යුතු සිහිනය. අපිට පෙනෙනවා හැම වගන්තියකම තිබෙන්නේ සීමාරහිත වු අසිමිතවු නිකලැල් මිනිස්කම නියම පීතෘත්වය කියන්නේ මෙන්න මේ දැක්ම සහිත පීතෘත්වයට.

දැන් මේ තාත්තා මෙන්න මේ වගේ උදාර මිනිස් පුතෙක් දිනෙන් දින වර්ධනය වෙන දිහා ඉමහත් ආසාවෙන් බලා ඉන්නවා. ඇත්තටම මේ තාත්තා ඒ බලා හිදීම සමඟ මානව ඉතිහාසයේ සුවිශේෂි විප්ලවයකට දිවා  වෙහෙසනවා. ඒක දුෂ්කර අරගලයක්. බොහෝ දෙනෙකු ඒ අරගලයේදි ඔහුව අත්හරිනවා. මොකක්ද මේ විප්ලවය. ඒක තමයි ඇමරිකා එක්සත් ජනපදයෙන් වහල් මෙහෙය අවසන් කිරීම.

මේ තාත්තා කව්ද? 16 වන ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන්. මේ පුතා තමයි මේ තාත්තාගේ ප්‍රියතම දරුවා වු විලි ලින්කන්.

සමාජ විප්ලවයක බර හිසින් දරාගෙන දිවා ? නොබලා වැඩ කරන අතර මේ තාත්තා නිදි ඇදේ නිදි ලොව සැරිසරන තම පුතුව රාත්‍රින් වලදි සිප ගන්නවා. ඉඳහිට ළඟටගෙන තුරුළු කරගෙන අකුරු කියාදෙනවා.

සිය ළමා කාලය තුළ අප්‍රමාණ දුක් වින්ද තාත්තෙක් ඒ විදිහට ලෝකයේ මිනිසුන්ව දුකින් මුදාගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ පුතෙක් වැඩෙන හැටි බලාගෙන ඉන්නවා. ඉමහත් අපෙක්ෂාවෙන්. පුතුට ඉමහත් ආදරයෙන් යුතුව.

අනපේක්ෂිත මොහොතක ඒ බලාහිදීම අවසන් කරන්න සිදුවෙනවා. ඔව් අවුරුදු 11 දි විලි ලින්කන් මිය යනවා.

මේ වියෝව දරාගන්න අපිටත් අමාරුයි වගේ නේද?

පරාර්ථකාමි වූද උත්තෘෂ්ඨ වූද මනුෂ්‍යත්වයක් පිළිබඳ සිහිනයක් මේ මිය යන්නේ. මේ පුතුගේ මරණයෙන් පසු ලින්කන් නැමැති තාත්තා මුහුණ දුන් අත්දැකිම් ඇසුරින් ඓතිහාසික ලියවිල්ලක හා නාට්‍යමය ආකෘතියක් මුසුකොට GEORGE SAUNDERS ලියු LINCOLN IN THE BARDO නම් කෘතියට 2017 වසරේද ”ද මෑන් බුකර්” සම්මානය හිමිවෙනවා.

ලින්කන් තම පුතු මිය ගිය පුවත කිසි ලෙසකින්වත් විශ්වාස කරලා නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු පසුව පවා මේ පියා විශ්වාස කර තිබෙන්නේ තම පුතුට පැවැත්මක් ඇති බවයි. ලින්කන් නිතර නිතර තම පුතු මිහිදන් කර තිබු ඕක් හිල් සොහොන් බිමට ගොස් තිබෙනවා.

මෙම නවකතාකරුවා මේ කෘතිය ලිවීමේදි ලින්කන් ගැන ඔහුට දැනුනු ආකාරය ඔහු සිතු ආකාරය පවසන්නේ මේ විදිහට.

”1962 සීතල පෙබරවාරියේ මැදියම් රැයේ ඒ කියන්නේ 12.45 ට තමන්ගේ ලෙයින් මසින් හැදුණු හුරතල් දරුවාගේ ඔව් තමා වඩාත් ප්‍රිය කල, ආදරය කළ දරුවාගේ නිසල සිරුර විනාඩි පහක් දහයක් තරුල් කරගෙන හිටිය මිනිසෙකුට මොනවා නම් දැනෙන්න ඇත්ද ?”

තමන්ගේම ලෙයින් හැදුනු පුතෙක් නොවෙයි අපේම දරුවෙක් කියන අදහස පවා මා නම් දකින්නේ අද දවසට අදාල නොවි යුතු සංකල්පයක්. සැබෑ පියෙක් වෙන්න මවක් වෙන්න තමන්ගේම ලෙයින් දරුවෙක් තමන්ගේම කුසින් දරුවෙක් හැදීම අවශ්‍ය නෑ. මාතෘත්වය හා පීතෘත්වය කියන්නේ මහා පුළුල් මානව ගුණයක් මිස ලේ නෑකමක් නොවෙයි. වතුරට වඩා ලේ ඝනකමයි කියන එක මනුෂ්‍යත්වය කුඩා තැනකට පත්කරන අදහසක්. ඕනෑම දරුවෙක්ට මවක් වෙන්න පියෙක් වෙන්න බැරි කෙනෙකු ඇත්තටම මවක් පියෙක් වෙන්නේ නෑ.

අද අපි ඉන්නේ ලින්කන් බලාපොරොත්තු වෙච්ච දරුවා අතුරුදහන් වු සමාජයක. ඒකට හේතුව ලින්කන් වගේ පියවරු අතුරුදහන්වීම. ලින්කන් වගේ වගේ පියවරු නැති සමාජයක් මේක. ඔහු මුල් ගුරුතුරුමාගෙන් ඉල්ලා සිටි ආකාරය දරුවන් ඉල්ලන පියවරු නැති රටක් ලෝකයක්. ග්‍රෝත‍්‍රවාදය, ආගම්වාදය, පවුල්වාදය මමයි මගේ පවුලටයි කොටු වු කුටුම්භවාදය. ධනය බලය නිලය අත්පත්කර ගැනීමේ ධනවාදි අපෙක්ෂාවන්, ජීවිත අපෙක්ෂාවන් වූ නොමිනිස් මිනිස්කම ඉහවහා යන සමාජයක්.

ලින්නක්ට විලි පුතු නැතිවීම සදාතන වේදනාවක් වෙන්න ඇති. ඒත් ඔහු දහස් සංඛ්‍යාත දරුවන්ට පියෙක් වු පියෙක්. අඳුරු රුදුරු වහල්භාවය තුළ වහල් දරුවන් සේ දිවි ගෙවීමට සහස් දරුවන්ට නියමව තිබු ඉරණම වෙනස් කිරීම මගින් ඔහු සියළු දරුවන්ගේ පියාණන් වෙනවා. එයයි පීතෘත්වය. තාත්තා කෙනෙක් ලෙස මා ලින්කන්ගේ මහා පීතෘත්තවයට හිස නමනවා වැළඳ ගන්නවා.

දයාබර විලියම් පුත.

එකලොස් වසරකින් ඔබ දිවි සැරියෙන් සමුගත්තත් ඔබගේ තාතාත් ලියු ඒ මිනිස් සිහිනය තුළ ඔබත් අදත් හෙටත් ජීවමානයි.

   6cac3e4af71ab8dda6dba234a97e4887 මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01