n1


නුදුටු නත්තල හා ඔබ

නෙක නෙක වර්ණයෙන්
නෙක නෙක හැඩයෙන්
නත්තල නාමයෙන්
සුවිසල් විලාසිතාගාර වල ද
පදික වේදිකාවේද
පිරි ඉතිරි යන
ඇඳුම් පැළඳුම් අතර
සාන්ත නිකුලෙස් තුමා
සෙල්ස් රෙප් කෙනෙකුවීමෙන්
විදහා දැක්වෙන

 

නත්තලේ නිරුවත

දුටුවාද ඔබ?.......
නෙක නෙක සුවඳින්
නෙක නෙක රසයෙන්
නත්තල නාමයෙන්
තරු හෝටල් වල ද
කිතු නිවෙස්වල ද
පිරි ඉතිරි යන
ආහාර අතරේ
දිනකට 20 000 කට වඩා
කුසගිනිව මැරෙන
ළමුන් තුළ

නත්තලේ කුසගින්න

දුටුවාද ඔබ?
නෙක නෙක පදමින්
නෙක නෙක නාමයෙන්
නත්තල වෙනුවෙන්
සව්දිය පුරන
මත්පැන් ලීටර්
බිලියන ගණනක් අතරේ
පිවිතුරු වතුර පොදක් නැතිව
දිනකට මිය යන
ළමුන් විසි දහසක් තුළ

නත්තලේ පිපාසය

දුටුවාද ඔබ?
නෙක නෙක පැහැයෙන්
නෙක නෙක විසිතුරින්
නත්තලේ නාමයෙන්
දැල්වෙන විදුලි එළි
රතිඤ්ඤා මල් වෙඩි
ආලෝක ධාරා මැද්දේ
ධර්මයේ ආලෝකයට පිටුපා
මිථ්‍යයාවේ අඳුරට
ජාතිවාදයේ අඳුරට
ආගම්වාදයේ අඳුරට
ඇදි යන දහස් සිත් තුළ

නත්තලේ ඝනඳුර

දුටුවාද ඔබ?
ඔව්,
දුප්පත් ම ගවලෙන ළඟ
හිස් පාත් කරගෙන
සිතනු මැන මොහොතක්
ඔබත්

නත්තලේ නිරුවත

ලොවට ප්‍රකාශ කරන්නෙක්ද?

මේ ඉපදි ඇත්තේ....

n2

මරිය මාතාවෝ කියති

මේ ඉපැදි ඇත්තේ
තම දයානුකම්පාව
පරපුරෙන් පරපුරට
පතුරුවාලන දෙවිදාණෝය.
උඩගු සිත් ඇත්තන්
විසුරුවා හැර
මහා නරපතින් සිනසුනින්
පහත හෙලා
දීනයන් ඉහල නංවන
දේව පුත්‍රයාණෝය.
සාගිනි වුවන් යහපත් දෙයින්
සතපවා
ධනවතුන් හිස් අතින් හරින
මනුෂ්‍ය පුත්‍රයාණෝය.

ශාස්ත්‍රවන්තයින් කියති

මේ ඉපැදි ඇත්තේ
පීඩිත ඊශ්‍රායලුන්ව
මිසර ආධිරාජ්‍යයෙන් මුදාගත්
ජනයා නිදහස් කරන
යාවේ දෙවිදාණන්ව
ජුදා මහා ජාතිවාදයට
ජුදා මහා ආගම්වාදයට
කොටුකල පටුකල
නායක පූජකයින්ගේ
පරිසිවරුන්ගේ විනයධරයන්ගේ
නිරුවත හෙලි කොට
ගැලවීම යනු
විශ්වයක් ලෙස අත් දකින
යථාර්ථයක් බව
පෙන්වා දෙන දෙවිදාණෝය.
අන්‍යජාතිකයින් යැයි
පිළිකුල් කරන ‘සමරිකානුවා’
ඔසවා තබන දෙවිදාණෝය.
ඊශ්‍රායල් නොවන ඇදහිලිවතා
අගය කරන දෙවිදාණෝය.
සමාරියන්ගේ ගම
විනාශ නොකරන්නැයි
තරවටු කරන
සියලු ජාතින්ගේ
ගැලවුම්කරුවාණෝය.

එඬේරුන් කියති

මේ ඉපදි ඇත්තේ
පීඩිතයාගේ දෙවිදුන්ව
පීඩකයින්ගේ භුක්තියට
ලියාදීම අහෝසි කොට
අන්ධයන්ට පෙනීම ද
බිහිරන්ට ඇසීම ද
වහලුන්ට මිදීම ද
පීඩිතයින්ට මිදීම ද
ප්‍රකාශ කරනා
දේව පුත්‍රයාණෝය.
වෙහෙස වන්නාවුද
බර උසුලන්නාවුද
සියල්ලන්ට සහනය දෙන
නැතිවුනු බැටළුවන්
සොයා යන එඬේරාණෝය.
ධර්මයේ උරුමය
එහි සැබැ හිමිකරුවන්වන
පව්කරුවාට, පීඩිතයාට
අසරණයාට නැවත
අත්පත් කර දෙන
රජෙකැයි අපිට නොසිතෙ
අප රාජණෝය.

 

jesustoday 43 සතිය 2017 දෙසැම්බර් 24

 

Comments powered by CComment