කෙටි කතාව
ජෝර්ජ් ස්ටීවන් කුරේ -පයාගල-

උඳුවප් සීතල කියාපාන්නේ නත්තල් මාසය උදා වූ බවය. සුපුරුදු පරිදි මෙවරද නත්තලට කළුමහත්තයාගේ නිවස තීන්ත හා අලංකාර කරයි. ගස් වටා ලයිට් වැල්ද එතෙමින් පවතී. දිළිඳු බවින් මිරිකී ඇති ගමේ බොහෝ ගෙවල් අළුත් වැඩියාවකින් තොරව ගරාවැටෙන සේයාවක් දිස් වේ. කළු මහත්තයා ගමේ පමණක් නොව පලාතේම සිටින ලොකුම ධනවතාය. රජයේ කොන්ත්‍රාත්තු ෙබහොමයන්ම ලැබෙන්නේ ද ඔහුටය.

 

උදැසන සීතල නිසාම උණුසුම් ඇඳුමක් ඇඳ සුපුරුදු පරිදි කළුමහත්තයා එදින පත්තරය කියවමින් සිටියේය. එක් ප්‍රතෘතියක් දුටු ඔහුගේ ඇස්ගෙඩි දෙක ලොකු විය. උපැස් යුවල අතට ගත් කළුමහත්තයා “හාමිනේ..... හාමිනේ..” කියමින් තම භාර්්‍යාවට බෙරිහන් දීමට පටන් ගත්තේය.

“ඉක්මනට මෙහේ එමුකො, මේ පාර නත්තල් කාල ඉවරයි බොලේ”

ඔහුගේ ගෝරනාඩුව ඇසුණු හාමිනේ පමණක් නොව ඔහුගේ දියණියන් දෙදෙනා ද “මොකද ප්‍රශ්නය” ද අසමින් දිව ආවෝය. කළුමහත්තයාගේ බිරිඳ එවිටද සිටියේ හැඩ වැඩ වෙමිනි. ඇය මැදිවිය ද ඉක්මවා සිටියද ඇගේ ගතී පැවතුම් තරුණ කෙල්ලක් හා සමානය. ඇගේ වයසට ඇඳුම් පැළඳුම් කොහෙත්ම ගැළපෙන්නේ නැත. නොයෙක් නොයෙක් විලාසිතාවන් කිරීමට කැමැත්තක් දක්වන ඇය බොහෝ විට ගෙදරම සිටින්නේද ගමනක් යාමට සේය. වැඩිමහල් දියණියද ඇයගේ ගතිගුණවලට නොදෙවිනය. ඇයගේ අල්මාරිය පිරි ඇත්තේ නොයෙක් නොයෙක් විලාසිතාවන්ගෙන් යුත් වෛයිවාරන ඇඳුම් අයිත්තම් වලිනි. එහෙත් කළුමහත්තයාගේ බාල දියණිය එයට ඉඳුරාම වෙනස් චරිතයකි. ඇය යහපත් ගති ගුණවලින් හෙබි තැනත්තියක් වූවාය. ඇගේ සමීපතාවයන් වූයේ අසරණ දිලින්දන්ය. ඇයගේ කිට්ටුම යෙහෙලිය වූයේද ගම කෙලවර මුඩුක්කු පේලියේ පදිංචි කමලාය. ඇය උත්සවවලට යාම ප්‍රතික්ෂේප කලාය. ඇයගේ ප්‍රියතම ඇඳුම වූයේ චීත්ත ගවොම්ය. තම පවුලේ අය දුක්ගන්නාරාල යන අන්වර්ථනාමයක්ද ඇයට පටබැඳි තිබුණී. ඒ ඇය නිතරම දිලින්දන්ගේ දුක සැප සොයාබලන හෙයිනි.

“අද පත්තරේ දැක්ක් නැද්ද හාමිනේ. ඔව් ඉතින් අම්මයි දුවයි බලන්නේ නළු නිළියන්ගේ ඕපාදූත විතරයිනේ” යයි කළුමහත්තයා කෝපයෙන් පැවසීය

“හරි හරි තාත්තා කියන්න ඔය මහලොකු ප්‍රවෘත්තිය මොකක් ද කියලා ? ලොකු දුව නියපොතු පාට කරමින් ම ඇසීය”

“මොකද නත්තල් කන්න බැරිවෙන්න මිනිසුන්ගේ කටවල් මහල දැයි” හාමිනේ තම කොට සාය හරිගස්සමින් කළුමහත්තයා අසල වාඩි විය”

“නෑ නෑ යෝදියේ අරක්කු මිල වැඩිකරල. ඉතින් මිනිස්සු නත්තල් කන්නේ කොහොමද?

හරි ෂෝක් හරි ෂෝක් ආණ්ඩුව ඉඳලා හිටලා හරි ඔයාවගේ හොඳ වැඩක් කරනවා” සිනාමුසුණින් යුතුව බාල දියණිය කීවාය.

“අනේ මගේ කට ඇයි යකෝ අරක්කු ටිකක් බොන්නැති නත්තලක් තියෙනවාද? නත්තලට දුප්පත් පොහොසත් බේදයක් නැතිව සෑම මිනිහෙක්ම සංතෝස වෙනවා” බොන්න සල්ලි නැත්තත් ඉතින් අපට කරන්න දෙයක් නෑ යකෝ එතනමයි දේව කැමැත්ත කියන්නේ. උඹ රිංගන අර මුඩුක්කුවේ උනුන් අරක්කු නැත්තත් කසිප්පු හරි ගහනවා”

“තාත්තේ නොදන්න දේවල් කියලා පව්පුරවගන්න එපා. නත්තල කියන්නේ ජේසු මේ ලෝකයට බිහිවෙච්ච දවස. ඒ ශුද්ධ වු දවසට අරක්කු බීලා පිස්සු කෙලින්නේ සැබෑ ක්‍රිස්තියානිකාරයේ නොවෙයි. ඔය තාත්තලා වගේ නරුමයෝ”

“හරි හරි මම නරුමයා. එතකොට උඹ කව්ද? උඹ අර අංග පුලාවක් නැති උන්ගේ මුඩුක්කු අස්සේ රිංගලා අපේ තත්ත්වය නැති කරන එකී.”

“තාත්තේ තත්ත්වය කියන්නේ නත්තල් දා කනමදය වගේ බීගෙන රටේ සියලු සබ්බසකලමනාව හූරගෙන කන තක්කඩි දේශපාලනයන් එක්ක පාටි දාන එක ද?”

“මේ මේ උඹ අපේ මංත්‍රි තුමාට විතරක් කෝචොක් කරන්න එපා. එතුමා නිසයි අද අපි මේ වගේ තත්වයක ඉන්නේ. මට කොන්තරාත් පාස් කර දෙන්නේ එතුමා. ඒ වගේ උත්තමයෙකුට තමයි උඹ තක්කඩියා කියන්නේ” කළු මහත්තයා පොඞ්ඩි දෙස බලා කෝපයෙන් කියාගෙන ගියේ.

පොඞ්ඩි තාත්තා දෙස බලා සිටියේ අසීමිත ශෝකයෙන් යුතුවය.

“තාත්තේ, තාත්තේ පල්ලයේ මීසම් සභාවේ සභාපති, අම්මා පල්ලයේ හැම සමිති සමාගමකම සාමාජිකාවක්. ඒ වුනාට කුස්සියේ වැඩ කරන මැගී අම්මාට හරියට පඩියක් දෙන්නේ නෑ. තාත්තා පාටි වලට ලක්ෂ ගණන් වියදම් කරනවා. අම්මයි අක්කයි ඇඳුම් පැළඳුම් වලට කොච්චර සල්ලි නාස්ති කරනවාද ? දෙවියන්ගේ ධර්මය, හැබෑ ධර්මය ඒක නොවෙයි තාත්තේ

“අපි පඩි නුදුන්නට උඹ හොරොන් මැගීට උදව් කරන විත්තිය අපි දන්නවා පොඞ්ඩියේ. උඹේ ධර්මේ උඹ තියා ගනින්. අපේ ධර්මේ අපි තියාගන්නං. මේ පොඞ්ඩියේ උඹට මම එකක් කියනං. දෙන දෙයක් කාලා වෙනදෙයක් බලාගෙන උඹේ පාඩුවේ හිටපං. මෙතන එනවා අපිට ධර්මේ උගන්වන්න. සැබෑ ධර්මේ”

කළු මහත්තයාගේ ලොකු දුව මේ වෙලාවේ කල්පනා කරමින් සිටියේ විසිපස්වනදා නත්තල් පාටිය පිලිබඳවය. දැන් කව්ද තාත්තේ නත්තල් පාටියට එන්නේ. ඇගේ හිතේ නලියන ප්‍රශ්නය ඇය තාත්තාගෙන් ඇසුවාය.

“ආ මේ පොඞ්ඩිගේ ධර්ම දේශනාව හින්දා මම ඒකත් අමතක උනා. මේ හාමිනේ අපේ මන්ත්‍රී තුමාට විසි පහ එන්න ලැබෙන්නේ නැහැ කියලා මට ටැලිෆෝන් කලා. එතුමා විසි හතර රෑට එනවයි කිව්වා. ඔන්න මතක තියාගන්න හාමිනේ හොඳට කෑමට ලෑස්ති කරන්න වෙයි හරිද ?

“අනේ තාත්තේ අපි රෑ දොලහේ පූජාවට යන්න හිතා ඉන්නේ. ඒක හින්දා මන්ත්‍රී තුමා එක්ක කරටි කඩාගන්න නම් එපා. ලොක්කී බැගෑපත් වූවාය. අනේ ඔව්, රෑ පල්ලි යන්න මං අළුත් සාරියකුත් ගත්තා. රෑට තමයි සෙනඟ වැඩි. හාමිනේ පැවසීය. අම්මා පල්ලි යන්නේ පූජාව අහන්නද ඇඳුම් ප්‍රදර්ශනයට කරන්නද ?” පොඞ්ඩිගේ ඒ කථාවෙන් හාමිනේට කේන්ති ගියේය.

“අනේ පොඞ්ඩියේ උඹ මගෙන් මුකුත් අහගන්න එපා. උඹ චීත්ත කෑලි ඇන්දට මට කරන්න දෙයක් නෑ. අපි වැදගත් මිනිස්සු වැදගත් පිළිවෙලතට ඉන්න ඕනෑ.”

නත්තල් මාසයේ විසිහතරවන දින රාත්‍රිය ද උදාවිය. නොයෙක් වර්ණයෙන් එලිය විහිදෙන විදුලි බුබුළුවලින් කළු මහත්තයාගේ මංදීරය අලංකාර විය. කළු මහත්තයා අඩුම කුඩුම සියල්ල සකසා මන්ත්‍රී තුමා එනතෙක් බලං සිටියේය. හාමිනේ සහ ලොකු දියණිය වේලාසනම පල්ලි යාම සඳහා ලක ලෑස්ති වෙමින් සිටියාය. පොඞ්ඩි ලක ලෑස්ති වීමට තව බොහෝ වෙලා තිබුණි.

මේ අතර මන්ත්‍රී තුමාගේ සුපිරි ජීප්රථය කළුමහත්තයාගේ මැදුර අසල නතර විය. බැරලයක් බඳු තඩි බඩගෙඩියද ඔසවාfරැන පැමිණි මන්ත්‍රී තුමා මන්දිරයට ඇතුළු විය.

“ආ එන්න එන්න මන්ත්‍රී තුමා ඔය රත්තරං මූණ දැක්කම මට උම්ම එකක් දෙන්න හිතෙනවා. මගේ රන් කඳ මෙහෙන් වාඩි වෙමුකෝ. කළු මහත්තයා ප්‍රීතියෙන් සිනාසෙමින් පැවසීය. මන්ත්‍රී තුමාගේ තඩි බඩගෙඩියත් පත ශරීරයත් සැටිය උඩ පතබෑවිය”

“ටිකක් ප්‍රමාද උනා කළු මහත්තයා. දැන් නැද්ද ඉතින් අපි දවස පුරාම සමාජ සේවයේනෙ.”

“මොකෝ මං නොදන්නේ. මන්ත්‍රීතුමාගේ සමාජ සේවය නිසාගේ අපි උනත් යමක් කමක් හොයාගන්නේ.”

“ආ ඔබ තුමාම ඕපන් කරන්න කෝ” කියමින් කළුමහත්තයා මන්ත්‍රී තුමාට විස්කි බෝතලය පිරිනැමීය. මන්ත්‍රී තුමා සුරුවමක් අතට ගන්නක් මෙන් දෑතින්ම විස්කි බෝතලය ගෙන එහෙනම් අපි ටිකක් සප්පායම් වෙමුයි පැවසීය.”

එකක් කටට හලාගත් මන්ත්‍රී තුමා වටපිට බලමින් කෝ නෝනයි දුවල දෙන්නයි ඇසීය.

“හප්පේ දැන් පැය ගානක ඉඳන් සැරසෙනවා. මේ යන්නේ පල්ලියේ පූජාවට මිසක් මඟුල් ගෙදරකට නොවෙයි කියලා තේරෙන්නේ නැද්ද මන්ද ?

කාලයද සෙමෙන් ගෙවීයන්න විය. කළු මහත්තයාද මන්ත්‍රි තුමාද වල්පල් දොඩවමින් සප්පායම් වන්නට විය. දැන් බෝතලයේද අඩිය පෙනෙන මාන සේය.

“කළු මහත්තයා කළු කුං මස් ටිකනං පන්කාදුයි” කියමින් මන්ත්‍රී තුමා තව විස්කි වඩියක් කටට හලා ගත්තේය. කළු මහත්තයාද තම වීදුරු පුරවා එක හුස්මට ගිල දැම්මේය. දෙදෙනාටම තමන් වාඩි වී සිටි පුටුවලින් ඉහලට එසවි අහසේ පාවෙන්නා සේ දැනින. තමන් අවට තිබෙන සියල්ල කැරකෙන බැවින් මන්ත්‍රී තුමා තමා වාඩි වී සිටි සැටිය වැරෙන් අල්ලා ගත්තේය. තමා කෑ මස්ද බීවු විස්කි ද නැවත උගුරට එන්නා සේ මන්ත්‍රී තුමාට දැනුනි.”

“ක..ක..ළු මහත්තයා ම..ම..ට නිකං කබරයාට වගෙයි” මන්ත්‍රී තුමා කෙඳිරීය. එවිටම වාගේ කළු මහත්තයාද වමනය දමන්නට පටන් ගත්තේය. දැන් දෙදෙනාම තරඟයට මෙන් වමනය දමයි. වමනය දමන සද්දය අසා දිව හා හාමිනේ සහ දියණියන් දෙදෙනා වමනය ගොඬේ වැටී සිටි කළු මහත්තයා සහ මන්ත්‍රීතුමා දුටුවේය.

හප්පේ දෙන්නම කුදුරුස්. “දෙන්නම කරපට්” වෙලා යයි ලොකු දුව මවිතයෙන් පැවසීය. ජයටම හැඳ පැළඳගෙන සිටි හාමිනේ “හපොයි අපි දැන් පල්ලි යන්නේ කොහොමදැයි” ශෝකයෙන් පැවසීය. ඕකනේ කියන්නේ අම්මා “ බැරි වැඩ නොකර ජුවෝ පදමට ගහපිය කෝ කියලා ලොක්කී පැවසීය.

“අම්මේ මම මේ වමනේ ගොඩ අස්කරලා කමලා එක්ක පල්ලි යනවා” අම්මගෙයි අක්කගෙයි විලාසිතා ප්‍රදර්ශනය කරන්නවෙන්නේ හෙට උදේ පල්ලි ගියතම තමයි” වමන ගොඩ අස්කරමින් පොඞ්ඩි පැවසීය.

කළු මහත්තයදා මන්ත්‍රී තුමාද කිසිවක් නොදත් පොඩි දරුවන් දෙදෙනෙකු මෙන් සැටි දෙකක වැතිර සිටියේය.

“අපේ මිනිස්සු නත්තලේ නියම අරුත කවදා වටහාගනීද, දන්නේ නැහැ” යයි සිතමින් තම පියා සහ මන්ත්‍රී තුමා දෙස අනුකම්පාවෙන් බැලීය.

හාමිනේ සහ ලොක්කී තම විලාසිතාවන් ප්‍රදර්ශනය කිරීමට නොහැකිවීම ගැන සිතින් හඬා වැටෙමින් අසල පුටු දෙකක සුසුම් ලමින් සිටියාය.

 

jesustoday 43 සතිය 2017 දෙසැම්බර් 24

 

Comments powered by CComment