මර්සලින් ජයකොඩි පියතුමාගේ සංහිදියා දැක්ම.

ඒ, 1983 අගොස්තු 31 වෙනිදා සැඳැවයි.

ස්ථානය පිලිපීනයේ මැනිලා අගනුවරයි.

ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මැග්සෙයිසේ සම්මාන රාත්‍රීයට පෙර එම ත්‍යාග කමිටුව සම්මානලාභින් සමඟ කරන සම්ප්‍රදායික කෙටි පිළිසඳරයි.

අපේ කථා නායකයා වන ගරු මර්සලීන් ජයකොඩි නිර්මල මරිය නිකායික පියතුමා කමිටුව හා පිළිසඳරේ යෙදේ. කමිටු සාමාජිකයෙකු එතුමාගෙන් මෙසේ විමසයි.

“ඔබ තුමන්ගේ දීර්ඝකාලීන සාහිත්‍ය සේවාව තුළින් කී දෙනෙකු කතෝලික ආගමට හරවාගෙන තිබෙනවාද?”.......

‘කිසිවෙක් නෑ’ පිළිතුර සෘජුය. කෙටිය.

“කිසිවෙක් මගේ ආගමට හරවා ගන්න මට ඕන කළේ නෑ. මට අවශ්‍ය වූයේ මට හමුවන හැම කෙනෙකුගේම හදවත තුළ තිබෙන පහන, ආලෝකය දල්වාලන්නයි”

පිළිසඳර තුළ නිහැඩියාවකි.

එතුමා කිසිවෙක් ආගමට හරවාත්තේ නැතිවා විතරක් නොවෙයි. කිතුනු පූජකයෙකු ලෙස මෙහෙම ලියනවා.

නෙත යන යන තැන වෙහෙරක් තැනියන්
වෙහෙරක් නැති තැනක වෙහෙරක් තැනියන්
ඉන් එන පණිවුඩය නුවණට දැනියන්
දුටු දුටු විට සිත තුළ සිල් ගැනියන්

අද කොයි ආගමක කුමන ආගමික පූජ්‍ය, පූජකවරයාද හදවතින් එහෙම කියන්නේ. අන් ආගමක පූජනීය සිද්ධස්ථාන, පල්ලි පන්සල්, කෝවිල් දකින දකින තැන තැනියන් කියන්නේ.

අද තිබෙන්නේ තමන්ට ඕන තැනක ඕනැ දෙයක් කරන්න පුළුවන්. හැබැයි අනිත් ආගමිකයින් තමන්ගේ තැනේ මුකුත් නොකල යුතුයි කියන අධිපතිවාදය මෙතනදි මර්සලින් ජයකොඩි පියතුමා පවසන්නේ, වෙහෙර විහාර, පල්ලි. පන්සල්, කෝවිල් වලින් සැබෑවට පැමිණිය යුතු ධාර්මික හරයට සීලවන්තකමට සියලු දෙනා පැමිනිය යුතුයි කියන අදහස...

එහෙම නැතිව අද පවතින පල්ලි, පන්සල්, කෝවිල් පිළිම ප්‍රතිමා සෑදීමේ මුග්ධ තරඟය නොවෙයි. අනෙකා යටපත් කරන අධිපතිවාදය ව්‍යාප්ත කිරිම නොවෙයි.

අද ආගම් අතර පමණක් නොවෙයි එකම ආගමේ පල්ලි පල්ලි අතරත් පන්සල් පන්සල් අතරත් තරඟය. ඒක මහා අවිiාවක්, අධර්මයක්. මොහාන්ධකාරයක්.

දැන් මා ඔබව රැගෙන යන්නේ ඒ අගොස්තු 31 වෙනිදාවේ ගරු ගාම්භීර සම්මාන ප්‍රධානෝත්සවය වෙතටයි.

අප කථා නායකයණෝ සම්මානය ලබා ගැනීමට වේදිකාවට පැමිණෙයි. නිවේදකයා ප්‍රශ්නයක් විමසයි.

‘ඔබ මේ ත්‍යාගය ලබන්නට සුදුසු වන්නට කුමක් කළෙහිද?’

‘මම වැඩි දෙයක් කරලා නෑ. අප රටේ ජනයාගේ සාමය සහෝදරත්වය පතා කවි කීපයක් ලියලා තිබෙනවා”

මේ නිහතමානී පිළිතුර මුළු උත්සව සභාවම මොහොතකට නිහඬ කරන්න සමත් වුනා. එදින සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා එතුමාගේ පිළිතුර ගැන සඳහන් කරමින් මෙසේ පැවසුවා.

“සහජීවනය කියන්නේ මිනිසුන්ගේ හදවත සාමයෙන්, සහෝදරත්වයෙන්, ගරුත්වයෙන් එකතු කිරිමයි”

කොතරම් නිහතමානී පිළිතුරක්ද? සැබෑ ලෙස සංහිදියාව වෙනුවෙන් ක්‍රියා කරන්නේ නිහඬව ජනතා හදවත් සමඟ වැඩ කරන මිනිස්සු. අද තියෙන්නේ සංහිදියා ඝෝෂාවක්. දේශපාලකයින් තම තමන් කරපුවා ගැන කයිවාරු ගහනවා. ඒත් පසුගිය දශක හතක පමන කාලය තුළ සංහිදියාව සඳහා කරපු දේ වල ප්‍රතිඵල ලේ ගංගා ලෙස ගලා ගිය බව අපි දන්නවා. අද වුනත් ජනතාව තේරුම් ගත යුතු දේ තමයි ජනතාව පෙරට විත් බල කළොත් මිස දේශපාලකයින් තම බලය ධනය පරදුවට තබා සංහිදියාව ඇති නොකරන බව,

මර්සලින් ජයකොඩි පියතුමාගේ සහජීවන භූමිකාව ගැන ඉතා කෙටියෙන් අදහසක් ඉදිරිපත් කිරිම එතුමාට කරන අසාධාරනයක්. එය පුළුල් නිබන්ධනයකින් සිදු කළ යුත්තකි. ඊට යම් ප්‍රස්ථාවනාවක් සැපයීමයි.

සහජීවනය ඇති කරන්න නම්, අපි ඒ සමාජයේ සිටින සියළු දෙනාටම ජාතිය, ආගම, ප්‍රදේශය, කුලය නොසලකා සම අවස්ථා සහතික කරන්න ඕනා. දක්ෂතාවය මත ඉදිරියට යන්න හැකිකම ඇති කරන්න ඕනා.

අල්හාජ් මොහිදින් බෙග් කිව්වම අපේ මතකයට එන්නේ බොදු බැති ගීත. ඒ කලා කරුවා බොදු බැති ගී ගැයුවේ සහජීවනය ඇති කරන්න කරන ව්‍යාපෘතියක් ලෙස නොවෙයි. ඔහුගේ හැකියාවට තැන ලැබුනා. ඔහුගේ ආගම ජාතිය නොවෙයි බැලුවේ දක්ෂතාවය. සහජීවනයේ මාවත වැටි තිබෙන්නේ හැම දෙනාටම සම අවස්ථා ලබාදෙන ව්‍යවස්ථාවක්, සමාජ ආර්ථීක ක්‍රමයක් ස්ථාපිත කර ගැනීම තුළයි. නමුත් අද ඇතැම් අන්තවාදින් බෙග් මහතා බොදු බැති ගී ගැයිම පවා විවේචනය කරති. ඔහුගේ උච්චාරනයෙන් අගතියක් වු බව පෙන්වා දෙති. නිදහස් දිනයේ ජාතික ගීය පුහුනු කරන්න මර්සලින් ජයකොඩි පියතුමාට බාර දෙන්නේ ආගම ගැන සලකලා නොවෙයි. දක්ෂතාවය ගැන සලකලා.

මාටින් ලූතර් කිං පැවසු සේ “මගේ දරුවන් සතර දෙනා ඔවුන්ගේ සමේ වර්ණයෙන් නොව, ඔවුන්ගේ ආගම් හා ජාතියේ නාමයෙන් නොව, ඔවුන්ගේ හැකියාව, දක්ෂතාවය මත විනිශ්චය වන දවසක් උදාකර ගැනීම තුළය.”

සහජීවනය උදාවීමට නම් ජාතිවාදය, ආගම්වාදය මිනිස් හිස් තුලින්, මිනිස් හිත් තුලින් තුරන් විය යුතුයි.

ජයකොඩි පියතුමා මිය ගිය විට දයාරත්න රණේපුර කවියා ලියු කවියේ මාතෘකාව මට මතක් වෙනවා.

‘ඔබ විය අපේ යුගයේ සමනල කන්ද ’

අපි දන්නවා සමනල කන්ද සියලු ආගමිකයින්ට පූජනීය තැනක්. එත් පසුගියදා ඒ බිමේ මුස්ලිම් භක්තිකයෙක් හෝටලයක් හඳනවා කියලා ඉතා ජාතිවාදි ප්‍රචාර බෙදාහැරියා. හෝටලයකින් එකි පරිසර පද්ධතියට හානියක් වෙනවා නම් ඒක මුස්ලිම් කෙනෙකු වෙනුවට සිංහල කෙනෙක් හැදුවම ඒ හානිය අවම වෙනවාද? මෙන්න මේ ජාතිවාදය, මෙන්න මේ ආගම්වාදය අප සිත තුල තිබෙනවා නම් අපිට බෑ. මර්සලින් ජයකොඩි පියතුමාට ගරු කරන්න.

ගුණදාස ලියනගේ ශුරින් ජයකොඩි පියතුමා ගැන ලියු ලිපියක මෙහෙම සඳහනක් තිබේනවා.

’කතෝලික පූජකවරයෙකු, කවියෙකු, සංගීතඥයෙකු යනාදි විවිධ ආකාරයකට හඳුන්වා දිය හැකි මර්සලින් ජයකොඩි පියතුමා වෙතින් මේ රටට සිදු වී ඇති විශිෂ්ඨ සේවා අතරින් විශිෂ්ඨම තැනක් ගන්නේ ආගමික සහජීවනය සම්බන්ධයෙන් කරන ලද සේවය’

එතුමා ඒ සහජීවනය ගැඹුරින් දුටුව කෙනෙක්, විවේචානාත්මක දුටුව කෙනෙක්, මේ බලන්න එතුමා ‘කුමට ආගම් මිනිමරත් නම්’ යන හිසින් ලියු කවි පංතියේ කොටසක්.

කුමට පල්ලිය කුමට පන්සල
කුමට කෝවිල මිනි මරත් නම්
ගම් නසත් නම් හිරි බිදිත් නම්
ගෙදර දොර සුන්බුන් කරත් නම්
මිනිස් හිමිකම් නැති කරත් නම්
එළිය උණුසුම සුන් කරත් නම්
කන්න නැත්නම් ඉන්න නැත්නම්
යනෙන රිය ගිනිබත් කරත්නම්

මෙයට වගකිව යුතුය ඔබ මම
එලෙස කීමට උරන වෙනවාද
ඇත්ත තිත්තයි හාමදුරුවනේ
දෙවොල අප දැන් දමලා යනවද
එසෙත් නැත්නම් අතට අත දී
සීල ලීලෙට සවන් දෙනවද
සවන් දී අප මෙයින් මතුවට
සොයමු අප කළ යුත්තේ මොනවාද?

බොහෝ විට අප ඉස්මතු කරන්නේ ජනකොඩි පියතුමාගේ සරල, සුකුමල සිනිග්ධ, මටිසිලිටි කවිත්වය. නමුත් මේ කවිය තුල තිබෙන ධර්මය වෙනුවට ආගම්වාදය ඉස්මතු වු තැනක ආගමික නායකයින්ගේ කාර්යභාරය ගැන කම්පිත හඬින් කරන ප්‍රශ්න කිරිමක්. ඒ වගේම කළ යුතු මෙහෙය ගැන මඟ පෙන්වීමක්.

මුස්ලිම්-සිංහල, සිංහල-දෙමළ, බොදුනු-කිතුනු, මුස්ලිම්-දෙමල, බොදුනු-හින්දු ආදි වශයෙන් විවිධ ගැටුම් මේ පුංචි රට තුල අත්විඳලා තිබේනවා. ඒවා නිමා වීමට කැමැති බවක් පේන්නේ නෑ. තවම සමහර අයට ආගම්වාදය ජාතිවාදය තම පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට අවශ්‍යව තිබෙන බව මේ මොහොතේත් රට තුලින් පෙනී යනවා. ආගම නාමයෙන් මිනි මරා ගන්නවා නම් මොකටද ආගම් කියලයි උන්වහන්සේ අහන්නේ.

උන්වහන්සේ මේ කවියෙන් ආයාචනා කරන්නේ මේ රටේ සියලු ආගමික නායකයින්ටයි. සහජීවනය සඳහා පෙරමුන ගන්න කියලා. ඒ සඳහා දේපල, පිළිවෙත්, ඔළුගෙඩි ගණන ගැන සිතන එක පසෙකට ලා සීලය, ධර්මය මතු කරගනිමු කියලයි උන්වහන්සේ කියන්නේ.

සීලය කියන්නේ ආගම් අපට පෙන්වා දී ඇති ජීවිත ක්‍රමය, ජීවත් විය යුතු ආකාරය, බුදුනුවාට පන්සල්, කිතුනුවාට දසපනත, ඉස්ලාම් භක්තිකයාට පංච වගකිම්. අන්ත ඒවා ඉටුකරන පටන් ගනිමු. එවිට අපි අතර ගැටුමක් නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට දෙව් මැදුරට යන්න පුළුවන්. සියළු දෙනාගේ ගැලවීම උදෙසා දිවි පිදු කිතු තුමන්ගේ ප්‍රතිමාව ඉදිරියේ ඉඳගෙන ආගම්වාදය, ජාතිවාදය වපුරන්න පුළුවන් ඒත් එවැනි අයට ස්වර්ගයට යන්න නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට පන්සල් යන්න පුළුවන්. සියළු සත්වයෝ නිදුක් වෙත්වායි පැතු බුදු හිමිහියන්ගේ පිළිරුව ඉදිරියේ ඉඳගෙන ආගම්වාදය ජාතිවාදය වපුරන්න පුළුවන්. ඒත් එවැනි අයට නිවන් දකින්න නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට මුස්ලිම් පල්ලියට යන්න පුළුවන්. පල්ලියේ ඉඳගෙන ආගම්වාදය ජාතිවාදය වපුරන්න පුළුවන්. ඒත් එවැනි අයට අල්ලාහ් සමඟ එක්වීමට නම් ලැබෙන්නේ නෑ.

ජාතිවාදින්ට ආගම්වාදින්ට හින්දු කෝවිලට යන්න පුළුවන්. හැබැයි එවැනි අයට මහාත්මය සමඟ එක්වෙන්න නම් ලැබෙන්නේ නෑ.

ආගම්වාදින් හා ජාතිවාදින්ට ස්වර්ගයට යන්න අවශ්‍ය නම්, නිවන් දකින්න අවශ්‍ය නම්, මහාත්මය සමඟ එකතුවෙන්න අවශ්‍ය නම්, අල්ලාහ් ලබාදෙන පාරාදීසය අයිති කරගන්න කැමැති නම්, තමන් ජාතිවාදි වීමෙන් ආගම්වාදි වීමෙන් සිදුකල මහා පාපකර්මය, මහා අකුසලය තේරුම් ගෙන වෙනස්විය යුතුයි. ආගමික හා ජාතික සහජීවනය සඳහා කැපවී වැඩකල යුතුයි. අංගුලිමාල අංගුමාල තේරුන් උනා සේ වෙන්ස් විය යුතුයි. පව්කාර ස්ත්‍රීයක් සාන්තුවරියක් උනා සේ වෙනස් විය යුතුයි. වන්ඩාශෝක ධර්මාශෝක ලෙස වෙනස් වූවා සේ වෙනස් විය යුතුයි.

සතුරාට කමා කිරිමට ඉගැන්වු, වෛර කරන්නාට සෙත් පතන්න ඉගැන් වූ කුරුසිය මත මහා ප්‍රේමයෙන් වැඩ සිටින්නාවු ජේසු සමිඳුන්ට මම නමස්කාර කරමි. ගෞරව කරමියි කියමින් ඒ මුවෙන්ම ජාතිවාදය ආගම්වාදය අවුසන්නේ නම් ඒ වනාහි දේව වන්දනාවක් නොව දේව අපහාසයකි.

අනන්ත ගුණයෙන් යුතු අනන්ත ඥානයෙන් යුතු මහා කරුණාවෙන් වැඩ සිටියා වු බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවායි පතමින් ඒ මුවින්ම ජාතිවාදය ආගම්වාදය අවුසන්නේ නම් ඒ වනාහි බුද්ධ පූජාවක් නොව බුද්ධ පීඩාවකි.

ජයකොඩි පියතුමාට කිව්වේ පන්සලේ පියතුමා කියලා. සමහරු ඇහැව්වා ඔබ තුමා ඇයි මෙච්චර පන්සලට ගරු කරන්නේ කියලා. එතුමා දුන්නු පිළිතුර තුළින් මා ඉහතින් දැක් වු අදහස සනාථ කරනවා.

මා පන්සලට ගරු කරන්නේ මා පල්ලියට ගරු කරන නිසාය.

පන්සලත් පූජා බිමකි
පල්ලියත් පූජා බිමකි.

බුදු දහම මට එක මිටං ගත හැකිය. එහි හරය එක වචනයක කැටිවි ඇත. ඒ වචනය මෛත්‍රීයයි. මගේ දහමත් අනිත් මිටට ගත හැකියි. එයත් එක වචනයකට කැටි වි ඇත. ඒ වචනය ප්‍රේමයයි.

මෛත්‍රියත්, ප්‍රේමයත් ගැටෙන්නේ මන්දැයි මට නොතේරන දෙයකි.

මම කැමැතියි මෙතනදි උන්වහන්සෙගේ අදහසට තව එකතු කිරිමක් කරන්න. ඉස්ලාම් දහමේ හරයත් අපිට එක මිටට ගන්න පුළුවන්. ඒ තමයි සාමය.

එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. මෛත්‍රීයත්, සාමයත්, ප්‍රේමයත් නම් අපි තුළ තිබෙන්නේ එතැන ගැටුමක් තියෙන්න බෑ. ඇයි මේ ගැටුම්? ධර්මයේ සාරය වෙනුවට මමත්වයෙන් පිරුනු අහංකාරයෙන් පිරුනු, ඇවතුම් පැවැතුම් වලට මුල්තැන දීම නිසයි. ප්‍රතිපත්තිය වෙනුවට ආමිසය ආගම කරගත්තු නිසයි. ධර්මස්කන්ධය වෙනුවට දේපල මුල් කරගත් සසුනට මුල් තැන දීම නිසායි. මතක තියාගන්න අනෙක් ආගමිකයා කෙරෙහි යම් වෛර සිතුවිල්ලක් ඇති කරන කවරෙක් හෝ වෙත්නම් ඔහු ධාර්මික මිනිසෙක් නොවෙයි. අද අපේ ජනමාධ්‍ය සමාජ මාධ්‍ය වැඩිපුර ප්‍රචාරය ලබා දෙන්නේ අන්න ඒ ධර්ම විරෝධි මතවාද වලට. සහජීවන මතයට ඉඩ හරිම අල්පයි.

මේ රටේ මූලික ධාර්මික පදනම හැදුවේ බුදු දහම ඒ ගරුත්වය බුදු දහමට ලැබෙනවා. ලබා දිය යුතුයි. ඒ සමඟම අපි පිළිගත යුතුයි අද වන විට අප රටේ ඇති පොහොසත්කම වන්නේ ආගමික වාර්ගික විවිධත්වයයි කියන එක. මිනිස් වර්ගයා වුනත් ප්‍රබල වන්නේ ජාන සම්මිශ්‍රනයෙන්. විවිධ සම්ප්‍රදායන්ට ගරු කිරිමෙන් අපේ ප්‍රඥාව පොහොසත් වෙනවා.

ඉතා මෑතකදි කීර්තිභාවශේෂපගත වු අපේ මහා සංගීත ප්‍රාඥයා පණ්ඩිත් අමර දේවයන්ගේ විශිෂ්ඨත්වයට එතුමාගේ මව්පිය දෙපලගේ විවිධ වු ආගමික සම්ප්‍රදාය ද බලපෑවා. මෙතොදිස්ත කිතුනු මවකට හා බෞද්ධ පියෙකුට දාව උපන් ඔහු පන්සලේ දොරකොඩ අස්න පල්ලියේ කැරොල් ගායනයන් දෙකටම සහභාගී වී තමයි සංගීතය නම් විශ්ව භාෂාවට මුල් පොත් තැබුබේ.

ආගමික සහජීවනය ඇති කල හැක්කේ අනෙකාගේ සංස්කෘතිය යටපත් කිරිමේන්වත් ජාතිවාදි හෝ ආගම්වාදි ලෙස තමාගේ සංස්කෘතිය මතු කිරිමවන්වත් නොවෙයි. අනෙකාගේ සංස්කෘතියට ගරු කිරිමෙන් පිළිගැනිමෙන්.

අපේ මර්සලිනු ජයකොඩි පියතුමාටත් තිබුනා කිතුනු හා බොදුනු සංස්කෘතික ආභාෂයන් දෙකම. එතුමා පූජක තුමෙකු වුනාට අම්මගේ පරපුරේ සංස්කෘතිය ඇදහිල්ල කිසිදු දිනක අඩු තක්සේරුවට ලක් කළේ නෑ.

මේ බලන්න.

මගේ අම්මගේ අම්මා දිනෙක
නෙළුම් මලක් නෙළලා
පෝය රෑක බුදුන් වැන්දා
දුවක් දෙන්න කියලා.

ඔහොම ටිකක් ගල් යන කොට
මගේ අම්මා කියලා
ඒ පොඩි මල දුවක් වෙලා
ආවා මා සොයලා

අනෙකාගේ සංස්කෘතියට ගරු කරන්න. පිළිගන්න. විශිෂ්ඨම, හොඳම උතුම්ම නිවැරදිම අපේ දහම කියන තැනට ගිය ගමන් සහජීවනය බිඳ වැටෙනවා. මට උතුම්ම මගේ ආගම වෙද්දි තව කෙනෙකුට ඔහුගේ ඇයගේ ආගම උතුම්ම ආගම ලෙස පේන්න පුළුවන්. බවවත් තේරුම් ගන්න. ජයකොඩි පියතුමා කිව්වේ ඒකයි.

අවසාන වශයෙන් සහජීවනය ඇති වෙන්නේ අපි සියලු ආගම් හි හරය වන ප්‍රේමය, මෛත්‍රී, සාමය තුල පවතින විටයි.

ඉතිං මේ කෙටි අදහස් දැක්වීම අවසන් කරන්නටත් මා තෝරා ගත්තේ ජයකොඩි පියතුමා මේ සත්‍යය ඉස්මතු කර ලියු විශිෂ්ඨ කවි පංතියක්

දවසක මටත් මල් පොකුරක් විය හැකි ද
මල් වට්ටියක නැඟ පිදුමට ගිය හැකි ද
හංවඩුවට නොව දහමට දිය හැකි ද
දවසින් දවස දියුනේ ලිය ලිය හැකි ද

කොයි හංවඩුව තිබුනත් ආගමේ කියා
කොයි පනිවුඩය තිබිණිද බයිබලේ ලියා
ආදරයයි ආගම යනු සිතේ තියා
මල් ගෙන පුදෙමු ඒ ආගම ලොවේ සොයා

නත්තල එන්න මේ බව පහදා දෙන්න
මල්පැල ගවහලය තැන දෙවිදුන් ඉන්න
මිනිහා හදයි මාළිගා නටබුන් වෙන්න.
ගවහල මල්පැල සැමදා පවතින්න.

ජයකොඩි පියතුමා නත්තලට ආයාචනා කරනවා. නත්තල එන්න ඇවිත් ආගම්වාදයේ පටු පවිටු පවුරු පදනම් බිඳ දමන්න කියලා.

ආගම ධර්මය තිබෙන්නේ ක්‍රිස්තියානි ආගම, බුද්ධාගම, ඉස්ලාම් ආගම, හින්දු ආගම කියන හංවඩුවල නොවෙයි. ප්‍රේමය, ආදරය, මෛත්‍රීය, සහෝදරත්වය තුළයි. ආගම් තිබෙන්නේ මහා දෙව්මැදුරවල. මහා පන්සල් වල, මහා ඉස්ලාම් පල්ලි වල, මහා හින්දු කෝවිල්වල නොවෙයි. සරල අල්පේවිඡ හදවත් වල. මනුෂ්‍යත්වය උතුරා හැලෙන හදවත් වල. මහා දෙව් විමන් කඩා වැටෙන්න පුළුවන්. බිඳ දමන්න පුළුවන්. ඒත් ප්‍රේමනීය හදවත් මෛත්‍රීය පිරුනු හදවත් බිඳ වැටෙන්නේ නෑ. සුරුවම් ප්‍රතිමා බිඳ දමන්න පුළුවන්. ඒත් බුදුන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මොහොමඞ් නබි තුමා වැනි මහා පුරුෂයන්ගේ ධර්මය බිඳ දමන්න බෑ. හංවඩුව නොවෙයි වැදගත් හරයයි වැදගත්.
හංවඩුව වෙනුවෙන් ගහගන්න, මරාගන්න මිනිසුන් සිටිනවා නම්, ඔවුන්ගෙන් ඈත් වෙන්න ඕනි. ඔවුන් නත්තලේ හරය මරා දමන්නන්.

ජයකොඩි පියතුමාගේ කාර්යභාරය ගැන විවේචනයකුත් තිබෙනවා. ඒ තමයි උන්වහන්සේ බොදුනු කිතුනු සහජීවන ගැන ක්‍රියා කළ තරමට අනිකුත් ආගම් අතර සහජිවනයට ක්‍රියා නොකල බවට වන විවේචනය හා එතුමාගේ භාවිතාව තුල සිංහල අධිපතිවාදය පැවැතුන බවට වන විවේචනය මේ ලිපිය ඒ ගැන විමසීමට අවස්ථාවක් නොවුනා වුනත් ඉහත කී විවේචනය ගැන මේ ලියුම්කරු එතුමා සමඟ කළ සංවාදයක් ගැන කෙටි සටහනක් තැබීම යුතුකමක් සේ සලකනවා.

වර්ථමානයේ නම් සියුල නාමධාරි පූජ්‍ය පූජක උතුමන්ලා වැඩ වසන ලැගුම් හල්, ආවාස ගෙවල්, සාතිශය බහුතරය සූඛෝපභෝගි ඒවා. එතුමා අවසන් කාලයේ ජීවත් වු කොළඹ හැව්ලොක් හි පිහිටි නිවසේ කුඩා කාමරය ඉතා අපිස් ජීවිතයක සංඛේතයක්. ගරු අර්නස්ට් පෝරු තොට පියතුමා එහි වාසය කරන කාලයේ කීපවිටක් මේ ලියුම්කරු එහිදි ජයකොඩි පියතුමා මූණගැසී තිබෙනවා. උතුර හා දෙමල ජනතාව පිළිබඳ එතුමාගේ ලිවීම් යොමු නොවීම ගැන අප කළ සුහද කතිකාවකදි එතුමා තමා යාපනයේ ගත කල කාලය සිහි කරමින් කියු කාරනය වන්නේ “යාපනයට යන තුරු අපි නොවන බවයි” මේ අදහස පිළිබඳ විස්තරයක් සෝමසිරි කස්තුරිආරච්චි විසින් ලියු ජයකොඩි පියතුමාගේ පිය සටහන් පොතේ සඳහන් වෙනවා. එතුමා අප හා බෙදාගත්තේ ද්‍රවිඩයන්ගේ සංස්කෘතියෙන් අප ඉගෙන ගත යුතු බොහෝ දේ තිබෙන බවයි. ඔවුන්ට අදින සංස්කෘතියක් ඇති බවයි.

පියතුමා උතුරට ඇළුම් කළේ ගමට ඇළුම් කරන ආකාරයටය. ඒ උතුරේ ජන ජීවිතයේ පැවැති දයාබර සංස්කෘතික දිවිය නිසාය. “මා ගමට - උතුරට ඉඳිකටුව සේ හැරෙන්නේ එහි කොටු කල ගෙවල් නැති නිසාය. මිනිසා වඩා දයාබර නිසාය” 1956 පෙරලිය හා මුසුවු අයෙකු ලෙස ජයකොඩි පියතුමාගේ දැක්මේ මූලික පදනම හෙළ ගතියයි. දේශීයභාවයයි. ‘අප රට බෙදන්න බෑ” ඇතුළු බොහෝ කවිවල මෙන්ම ගීතවලද එය ගැබ් වී තිබේ. නමුත් එපමණින් එතුමා ජාතිවාදියෙකැයි කීව නොහැකිය. ඒ පරපුරේ සෞන්දර්්‍යවාදියෙකු මිස විමුක්තිවාදියෙකු නොවන්නෙකුගෙන් අපට ඊට එහාට යමක් බලාපොරොත්තු විය නොහැකිය. ප්‍රශ්නය ඇත්තේ ජයකොඩි පියතුමාගේ සහජීවන මාවතේ ඉතිරි දුර නොගිය පසු පරපුර තුළය.


jesustoday 42 සතිය 2017 දෙසැම්බර් 17

 

Comments powered by CComment