මයිකල් රුද්‍රගු පියතුමා ඝාතනය කිරිමෙන් වසර තිහකට පසු එතුමාගේ සුවිසල් මෙහෙවරේ එක් පැතිකඩයක් ගැන හැරි බැලිමටත්, එය අද අප ජිවත් වන කාලයට කෙතරම් වැදගත්ද යන්නත් ඒ මෙහෙවර අද ජිවත් වන අපේ ජිවිතයට කරන අභියෝගය හදුනාන්නත් මෙය අවස්ථාවක් කරගන්නට අප කල්පණා කළා.

ගරු මයිකල් පෝල් රුදිගු නි.ම.නි. පියතුමාව ක්‍රිස්තු වර්ෂ 1987 නොවැම්බර් 10 වෙනිදා බුත්තල අලකලවිට සුබසෙත් ගෙදරදි වෙඩි තබා ඝාතනය කරන ලද්දේ පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට නොවේ. එතුමා සතු වු කිසියම් දේලපක් අයිතිකර ගැනිමට නොවේ. එය පැහැදිලිවම එතුමා දැරු ධාර්මික දේශපාලන ස්ථාවරය හා එතුමා ජීවත් කළ ධාර්මික දේශපාලන ජීවිතය නිසා සිදු කරන ලද්දකි. කිතුනු විශ්වාසයේ ඇසින් එය සිය මෙහෙවර සඳහා ප්‍රාණ පරිත්‍යාගීවීමකි. යථාර්ථය තුළ එය දේශපාලන ඝාතනයකි.

මයිකල් පියතුමා ධනය හා බලය වැඩි වැඩියෙන් ඒකරාශි කරන දේශපාලනයට අභියෝගයක් විය. එතුමාව ඝාතනය කළ ධනය හා බලය මුල් කරගත් දේශපාලනය දශක දෙකාමාරකට පසුව එහි උච්චතම නරුම ස්වරූපයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවක අද අප ජීවත් වෙමු. වෙන විදිහකින් කීවොත් අද අප ජීවත්වන්නේ මයිකල් පියතුමන්ලා සිය ගණනක් අවශ්‍ය සමාජ යථාර්ථයක බව අප පළමුවෙන් අවධාරණය කරගත යුතුය.

මයික් පියතුමා ඝාතනයේ පස් විසි වසර නිමිති කරගෙන එතුමාගේ මෙහෙවර ගැන විමසා බලන මෙම අදහස් බෙදා ගැනිම එතුමාගේ මෙහෙවර තුල පැවැති මූලික ලක්ෂණ දෙකක් වන දේශියකරණය හා හිස්වීම යන කරුනු දෙකට පමණක් සීමා වන්නේ කාලය සැලකිල්ලට ගෙනයි.

01 දේශානුරූපිකරණයේ මයික් පිය අරුත.

කිතු දහම දේශානුරූපිකරණය කිරිම යන්න පසුගිය හැට වසරක පමන කාලය තුළ ශ්‍රී ලංකාව තුළ භාවිතයට නැගි ඇත්තේ හුදු විලාසිතාවක් ලෙසයි. නමුත් මයික් පියතුමා ගේ මෙහෙවර තුල එය ක්‍රියාවට නැංවී ඇත්තේ විප්ලවීය භාවිතාවක් ලෙසයි.

මෙය වටහාගැනිමට නම් අප කිතු දහම තමා ජීවත්වන පොළවට ගැලපෙන දහමක් ලෙස ස්ථාපිත කිරිම පිළිබඳ එතුමා සතු වු දැක්ම හා ඒ සඳහා එතුමා ගත් වෙහෙස විමසා බැලිය යුතුය.

එතුමා මෙලෙස ප්‍රකාශ කර ඇත. “දේව ධර්මය පෝච්චියක සිටුවා පිට රටින් ගෙනා මල් පැලයක් ලෙස එලෙසම මෙහි පැලකිරිමට උත්සහ ගෙන ඇත. එබැවින් එය රට තුල මුල් බැස ගැනිම වැලකි ඵල රහිතව වර්ධනය දුර්වල වී ඇත.”

මයික් පියතුමා දේශානුරූපිකරණය යනුවෙන් අදහස් කළේ හුදෙක් වත් පිලිවෙත් වලදි දේශිය කලාංග, සැරසිලි, ඇඳුම් පැළඳුම් යොදාගැනිම නොවන බව පැහැදිලි සත්‍යයකි. එතුමා දේශනුරූපිකරණය යනුවෙන් අදහස් කළේ ධර්මය මාංශවත් කිරිම හෙවත් මාංශගත කිරිමයි.

සැබැ දේශානුරූපිකරණය යනු දේශයේ පීඩිත ජනතාවගේ විමුක්ති අරගලය තුළ අප මාංශගතවීමයි. පිළිවෙත් නොව ධර්මයේ විමුක්ති හරය ජන හදට ගෙන යාමයි. නමුත්  දේශානුරූපිකරණය ඊනියා දේශප්‍රේමය හා ජාතිවාදය සමඟ පටලවාගත් බොහෝ දෙනා මයිකල් පියතුමාගේ දැක්මට හා භාවිතයට හානි කරමින් ජාතිවාදයේ පටු සීමාව තුළට එතුමා දේශානුරූපිකරණය පිළිබඳ දැක් වු අදහස ලඝු කිරිම එතුමාව නැවත නැවත ඝාතනය කිරිමකි.

මයිකල් පියතුමාගේ දේශීයකරණ භාවිතාව යනු එතුමා සරම බැනියම ඇදිම නොවේ. ජාතික ඇඳුම ඇදිම නොවේ. පීඩිත ජනතාවගේ විමුක්ති අරගලයට දායක වීමයි. දෙවියන් මිනිස්බව ගැනිමේ අරුත එයයි.

අප රටේ බොහෝ දෙනා දේශානුරූපිකරණය දුටුවේ නිදහස සමඟ පිබිදුනු දේශානුරාගය හා 1956 පෙරළියට සමපාතවය. ඒ නිසා දේශානුරූපිකරණයේ කිතුනු නියමුවන් බොහෝ දෙනෙකුගේ අප්‍රකාශිත දේශපාලන පක්ෂය බවට එකළ ශ්‍රි.ල.නි.ප.ය පත් වු අතර ඔවුන් බොහෝ දෙනෙකුගේ පොදු ලක්ෂණය්ක් බවට ඊනියා දේශප්‍රේමය පත් වී තිබේ. නමුත් මයිකල් පියතුමා ඒ සියල්ලන්ගෙන් සපුරා වෙනස් වෙයි. එතුමා දේශියකරණය ජාතිවාදය සමඟවත් ආගම්වාදය සමඟවත් ඊනියා දේශප්‍රේමයට මුවා වු දේශපාලනය බල ව්‍යාපෘති වලට කඬේයාම සමඟවත් කිසිවිට පටලවාගන්නෙකු නොවේ. එතුමා දේශියකරණයේ හරය ලෙස දුටුවේ දේශය තුළ වාසය කරන දුප්පතාගේ පීඩිතයාගේ පැත්ත ගැනිමය. පීඩිතයාගේ විමුක්ති අරගලයට ලේ ඇටමස් නහර දි ජීව ගැන්වීමය.

මේ දිනවල කිතුනුවන් අතර සාකච්ඡා කරන කරුණක් වී ඇත්තේ සත්ප්‍රසාදය කරඩුව අලි ඇතුන් පිට වැඩම කරවීම දේශිකරණයද වැනි කථාබහකි. ගොක්කොළ පුන්කලස් ගැට බෙර ආදි සංස්කෘතික ලක්ෂණ දෙව් මැදුරට පිලිවෙත් වලට ගෙන ඒම දේශිකරණයේ ඉතා ප්‍රාථමික පියවරක් පමණි. එය දේශියකරණයේ ආමිසයට මිස ප්‍රතිපත්තියට අදාල නොවේ. ප්‍රතිපත්තිය නම් දුප්පතාගේ පැත්ත ගෙන ඔහුගේ ඇයගේ විමුක්තියට කැපවීමය (බොහෝ විට දේශියකරණයේ විලාසිතා අනුගමනය කළ හැක්කේ පීඩිතයන්ට නොවේ. මධ්‍යම පාංතිකයින්ට හා ඉහළ පාංතිකයන්ටය. ඔවුන්ගේ ජිවිත වල හිස්තැන් පුරවන විලාසිතා බවට ඒවා පත් වී තිබේ)

දකුණෙත් උතුරේත් පීඩිත තරුණයන් අවි අතටගත් මුල් කාලය තුළ සිදු වු ප්‍රචණ්ඩ ක්‍රියා ගැන මයිකල් පියතුමා පළ කළ  අදහස් මෙබඳුය.

“මේ හිංසා ක්‍රියාවලින් විපතට පත්වුවන් ගැන මට කනගාටුයි. මේ විපත් කළ අය ගැනත් රටේ තරුණ පරපුර හිංසාවට යොමු වි ඇත්තේ ඔවුන් එයට කැමැති නිසා නොවෙයි. බලවතුන්ට තේරෙන එකම භාෂාව හිංසාවා යයි ඔවුන්ට පෙනී යන නිසයි.”

ජාතික ප්‍රශ්ණය අරඹයා ඇති වු යුද්ධයේදි එතුමාගේ අදහස කිසිවිට බොහෝ දේශානුරූපිකරණය සඳහා පෙනීසිටි අයගේ මෙන් ජාතිවාදි නොවිය.

“ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනියි කියනු මිස ස්වර්ගයේ වැඩ සිටින යම් ජාතියක පියාණනයි යනුවෙන් දෙවිඳුන් ඇමතීමට කිතු තුමා අපට උගන්ඩා නැතැයි එතුමා පැවසිය.

1983 කළු ජූලිය ගැන එතුමා පැවසුවේ මෙවැනි දෙයකි. “මේ අරගලයෙන් අපේ සිංහල ජාතිකයෝ අහිංසක දෙමළ ජාතිකයන් විශාල පිරිසක් මරලා දැම්මා. ඔවුන්ගේ ගෙවල් දොරවල් කඩලා බිඳලා දැම්මා ඒවා අහපු දැකපු කාගේ හරි හිතක් ජාති භේදයකින් තොරව මිනිසුන් වශයෙන් කම්පාවක් නොදැනුනා නම් ඒ පුද්ගලයා තුළ මිනිසෙකු වශයෙන් මොකක් හරි අඩුපාඩුවක් තියෙන්න ඔීනෑ. අපි හැමෝම මනුෂ්‍ය ජාතියේ අය ඒ මිසක් සිංහල දෙමළ කියලා වෙනසක් නැ. ඔය මහා විශාල මිනිස් සංගාර වලින් කාණු පල්ලේ ගලාගෙන ගියේ අහිංසක මිනිසුන්ගේ ලේ. ජාතිවාදය කියන මිථ්‍යාවේ ගැලිලා මේ වගේ අපරාධ කරන එක මනුෂ්‍ය සංහතියටම නින්දාවක්.

මයිකල් පියතුමාගේ දේශානුරූපිකරණය ජාතිවාදයෙන් ආගමිවායෙන් තොර එකක් විය. මර්සලින් ජයකොඩි පියතුමාගේ චරිතාපදානය “මල් පැලේ උපන් පන්සලේ පියතුමා” ලෙස ලියාවේ ඇතිවාක් මෙන්ම මයිකල් ගැන පොතක්ද පන්සලේ බණ කියු කතෝලික පියතුමා ලෙස ලියාවේ ඇත. මෙම හැදින්වීම් මෙරට බොදුනු ජනතාවට ඒ චරිත කියවීමෙහිලා යම් පෙළඹවීමක් කරන නමුදු ඒ හැදින්වීම් තුලින් ඉස්මතු වන අමිහිරි යථාර්ථයක් ද වේ. එනම් ලාංකිය සමාජය තුළ යම් පුද්ගලයෙකුට ලැබෙන අගය කිරිම ඔහු අධිපති මතවාදයට (එය යහපත් හෝ අයහපත් විය හැක) දක්වන ලෙංගතුකම මත තීරණය වීමයි. අධීපති මතයට පක්ෂ වන්නා අද දවසේ දේශප්්‍රමියා වීමත් ඊටත් එකඟ නැත්තෝ දේශදෝහිය වීමත් එහෙම දිගුවකි.

නමුත් අපගේ අදහස වන්නේ මයිකල් පියතුමාගේ ප්‍රධාන වැදගත්කම වන්නේ එතුමා සතු වු බුදු දහම පිළිබඳ දැනුම නොව න බවයි. එය එතුමාගේ වැදගත්කම ඉහල දමන්නක් වුවත් එතුමාගේ ප්‍රධාන වැදගත්කම වන්නේ පීඩිතයා පිළිබඳ වු ප්‍රමුඛතාවයයි.

මෙහිදි මේ ප්‍රදේශයේ ජනතාව එතුමාට ආදරේ කළේ එතුමා “මම විශ්වාසයෙන් කිතුනුවෙක් හැදියාවෙන් බොදුනුවෙක්” යැයි කියු නිසා නොවන බව පැහැදිලිය. එතුමාට බුදු දහම පිළිබඳ හසල දැනුමක් තිබුනු නිසා නොවන බව පැහැදිලිය. එවැනි දැනුමක් තිබෙන කිතුනු ගිහිපැවිදි අය, ස්ථානෝචිත එවැනි ප්‍රකාශන කරන (නමුත් ආගම්වාදය පපුවේ පැසවන) කිතුනු ගිහිපැවිදි අය අදටත් සිටි. මේ ප්‍රදේශයේ බහුතර බොදුනු ජනතාව එතුමාට ආදරය කළේ එතුමා පීඩිත ජනයා වෙනුවෙන් කැපවී ක්‍රියාකළ නිසාය.

එතුමා පැහැදිලිව පෙනි සිටියේ ක්‍රිස්තු ධර්මය හා බුද්ධ ධර්මය වෙනුවෙනි. ක්‍රිස්තු ආගම හෝ බුද්ධාගම වෙනුවෙන් නොවේ. ආගමික ශාසන ධර්මය වළදමා පිලිවෙත් ගැතිකම ඉස්මතු කිරිම ගැන එතුමා පැහැදිලි අවබෝධයක පිහිටා සිටියේය. “බෞද්ධ ධර්මය අප සතු ජන්ම දායාදයක් එය අප රැක ගත යුතුය.” යනුවෙන් එතුමා එය පැහැදිලි ව ප්‍රකාශ කර ඇත. පීඩිතයාට විමුක්තිය සැදීමට කැපවිමෙන්  තොරව ආගම රැකගැනිමට කරන සෑම ක්‍රියාවලියක්ම අවසානයේදි ආගම්වාදය ආගමික අන්තවාද පෝෂණය කරනු නියතය.

මේ පිළිබඳ කදිම නිදසුනක් “පන්සලේ බණ කියු කතෝලික පියතුමා” යන පොතට සංගෘහිත කළ මයික් පියතුමා ගැන “අසිරිමත් මිනිසෙක්” යනුවෙන් සතිපතා ලියු සටහන් මාලාවට ධර්මයේ හරයෙන් විකසිත වනු වෙනුවට ආගම් වාදයේ ඔද්දල් වු මෙරට කිතුනු බොදුනු ගිහි පැවිදි පිරිස් දැක් වු ප්‍රතිචාර දැක්විය හැක. එම පොතේ පෙරවදනේ ඇති එවන් ප්‍රතිචාර කීපයක් මෙසේය.

“වැඩිපුරම බෞද්ධ කාන්තාවන් කියවන පත්තරයකට කතෝලික පියතුමෙකුගේ කතාවක් ඇදලා ගන්නේ මොකටද? ඒ නිසා ඕක නතර කරල වෙන මොනවා හරි පටන් ගන්න”

“ඔයාලා උත්සහ කරන්නේ දැන් අපේ ස්වාමිලත් බුද්ධාගම ගැන පැහැදිලා පන්සල් එන්න පටන් අරන් කියලා රාවයක් පතුරවන්නද ? තව සතියකින් හමාරකිනි ඔය ලිපි පෙළ නතර නොකළොත් අපි ඔය ආගමික සංහාරයට විරුද්ධව ලොකු උද්ඝෝෂණයක් පටන් ගන්නවා.

ඒ ප්‍රතිචාර මෙන්ම ලේඛීකාවද අවසානයේදි පොත අසිරිමත් මිනිසෙක් වෙනුවට පන්සලේ බණ කිවු කතෝලික පියතුමා ලෙස නම් කිරිම තුළද ඇත්තේ අද අප පෙළෙන එක්තරා ගැටළුවකි. එනම් ආගමික හා ජාතික විවිධතා එකසේ අගය කිරිමට බාධා කරන මනෝභාවයය. අනෙකාගේ අනන්්‍යතාවය ඒ හැටියෙන්ම පිළිගැනිමට ඇති මැලිකමය. මයිකල් පියතුමා ඒ අතින් අතිශය පොහොසත් ආදර්ශයක් ඉතිරි කර ඇත.

02 හිස්වීමේ මයික් පිය අරුත

හිස්විම, නික්මයෑම මයික් පිය චරිතයේ සුවිශේෂි ලකුණකි. “හිස්වීමෙන් තොර ගැලවීමක්” නැත යන සත්‍යය අප සියළු දෙනා පිළිගත යුතුය.හිස්වීම කියන්නේ නිකම්ම නිකම් හිස් මිනිසෙකු වීම නොවේ. කිසිම හරයක් එළියක් නැති මිනිසෙකු වීම නොවේ. එය ගැලවීමට ඇති බාධාවකි. අද අපේ සමාජය හිස් මිනිසුන් උස් තැන්වල වැජඹෙන සමාජයකි.

ඒ නිසා හිස්වීම වෙනුවට හිස් කිරිම, නික්ම යාම, යන වචන භාවිතා කිරිම සුදුසුයි. හිස් කිරිම යනු දැනුවත් ව සිදු කරනු ලබන තිබෙන දේවල් ඉවත් කිරිමකි. අත් හැරිමකි. මයික් පියතුමා බුත්තල කූඩාරම් ගැසිම හිස් කිරිම් මාලාවක, නික්මයාමේ ගමනට ප්‍රතිඵලයකි එය.

 

ඉපදි හැදි වැඩුනු නගරයෙන් හද්දා පිටසර ගම වෙත.

කුඩා කළ සිට කථා බහ කළ ඉගෙනගත් ඉංග්‍රීසි බසින් ජනයා කථා කරනක භාෂාව වෙත.

පවුලේ පසුබිමෙන් උරුම වු ධනවත් බවින් දිළිඳුකම වෙත.

සුඛවිහරනය සහිත ජීවිත පැවැත්මකින් සරල අල්පේච්ජ පැවැත්මක් වෙත.

දෙව් මැදුරෙන්, දෙව් සත්හලින් කටුමැටි පැළක් වෙත.

රෝමානු අධීපතිවාදයෙන් ධාර්මික සාරාර්ථය වෙත.

පත පොතින් ඉගෙනීම වෙනුවට ජීවන අත්දැකිමෙන් ඉගෙනීම වෙත.

දේශනා කිරිමේ ඇදහිල්ක් වෙතින් ක්‍රියාකාරි ඇදහිල්ලක් වෙත.

විශ්ව විiාල මහාචාර්ය ධූරයෙන් ජනතා සංවාදය වෙත.

වත් පිළිවෙත් වළින් ජීවත්වීම වෙත.

නික්මයාමයකි, හිස් කිරිමකි, අත්හැරිමකි.

 

එතුමා ඇදහු දහම නික්මයාමේ දහමකි. ගමනකි. වහල් බවින් නිවහල් බවට මරණයෙන් ජීවිතයට නික්මයාමේ වන්දනා ගමනකි. සැම ධර්මයකම සාරාර්ථ තුළ මේ හිස් කිරිම නික්මයාම තිබේ. එතුමාගේ ආචාර්්‍ය උපාධි නිබන්ධනයක මාතෘකා වූයේද  කිතුනු දහම හා ආසියාතික දහම් වල ඇති එතර වීමයි.

නමුත් අප ඉතා පැහැදිලි අවධාරණය කරගත යුතු කරුණක් තිබේ මයික් පියතුමා හිස් කිරිම පිළිබඳ ජීවත් කළ අරුත දරිද්‍රතාවය වැළඳගැනිම නොවේ. ටික දෙනෙකුගේ බහු භාණ්ඩික ජිවිත පැවැත්ම සඳහා පීඩිත බහුතරයකට පටිතදකර ගැනිමට ආයාචනා කරන පාපකාරි ව්‍යාජ අල්පේච්ඡතාවය නොවේ. ඒ හිස් කිරිම වනාහි ද්‍රරිදතාවය මුලිනුපුටා දැමිම සඳහා දරිද්‍රතාවය බිහි කරන සියළු ආකර තන්නාවන් හා තෘෂ්ණාවන් සමාජයෙන් ඉවත් කිරිම පිණිස කරනු ලබන අන්හැරිමකි.

මීට අවුරුදු විසිපහකට පෙර එතුමාව ඝාතනය කළ පසු බුත්තල ගමෙන් නැගුනු මේ ප්‍රතිචාර තුළ ඇත්තේ එතුමන්ගේ ඒ හිස් කිරිම පිළිබඳ අව්‍යාජ සාක්ෂිය.

“එතුමා සුබසෙත් ගෙදර සිටියදි වෙල්ලස්සේ ගැමියන් මුහුණ දුන් ගැටළු සියල්ලටම එතුමාට ද මුහුණ දෙන්නට සිදු විය. ඒ ඔහු ගැමිකම ආරුඩ කරගත් නිසා නොව නියම ගැමියෙකු ලෙස ගැමියන් අතර ජිවත් වු නිසාය. පියතුමෙනි ඔබ එවන් ජීවිතයක් ගත කළේ ඇයිද යන්න අපි පැහැදිලි කරගෙන සිටියෙමු. ඔබේ මරණයෙන් අපි එය වඩාත් හොඳින් දැන ගත්තේමු. මහා මන්දිරවල සිට පීඩිත ජිවිත ගැන කතා කිරිම මුලාවකි. අද බොහෝ දෙනා කරන්නේද එයයි. (පද්මා පරනගම)

“සුබෝපභෝගි ජිවිතයක් අත්හැර මෙවන් දුෂ්කර ජීවිතයක් ගෙවන්නට තෝරාගත්තේ ඇයිද යන්න අද අපට පැහැදිලිය. පූජකවරයෙකු ලෙස එතුමන් ගමේ විහාරයට තබා ගන්නේ සමීප සම්බන්ධතාවයකි. එතුමන් අනුගමනය කළ සරල ජීවිතය අප තේරුම් කරගත්තේ එවිටය” (අලුත්වල සුමනසිරි හිමි)

මයික් පියතුමා ම හිස් කිරිම ගැන මෙසේ  පවසා ඇත. “කිතු තුමා තමන්ව හිස් කරගෙන අපි අතරට ආවා වගේ අප දිළිඳුකම භාරගෙන ජනතාව අතරට යා යුතුය.”

 මෙහිදි අප අවධාරණය කරගත යුතු කාරණය වන්නේ ගැමියන් අතර ගැමියෙකු වීම පීඩිතයින් අතර පීඩිතයෙකු වීම මිස ගම නගරයට වඩා හොඳයි විශිෂ්ටයි යන අදහසින් ගැමිකම වැළද ගැනිමක් නොවන බවයි.

එතුමා පීඩිත ගැමි ජනයාගෙන් කෙනෙකු වූයේ ගැමි ජනයා සතු ප්‍රඥාව අයිතිකරගන්නත් ගැමි ජනයා තුළ පැවැති අවිiාව දුරුකරන්නත්ය. එතුමා ගැමියන් අතරට පැමිනීම පසුගාමි වැඩවසම් අගතීන්ගෙන් ඔද්දල්වු ගැමිකම උත්කර්ෂයට නැංවීමේ ක්‍රියාවක් නොවේ. පොළවේ අයිතිය අහිමිකර දුප්පතුන් බවට පත් කළ පීඩිත ගැමි ජනයාගේ විමුක්ති උදෙසා ප්‍රාණය සැපයීමේ ක්‍රියාවක් විය. විශේෂයෙන් එතුමා ඌව වෙල්ලස්සට තෝරාගත්තේ යටත් විජිතවාදි ක්‍රිස්තියානින් විසින් ඌව වෙල්ලස්සට කළ හානියට වන්දි ගෙවීමේ අදහසනි.

දුප්පත්කම සමඟ එකට අත්වැල් බැදගත් නූගත්කම බිඳ දැමිමට එතුමා උත්සහ කළේය. ගොවිකම, වෙදකම ආදිය ගැන ගැමි ජනයා සතු පරම්පාරික ඥානය මතු කර ගන්නා අතරම ඉංග්‍රීසි බස උගන්වමින්ද වෙල්ලස්සෙන් එහා ලෝකය ට ඔවුන් විවෘත කිරිමට චාරිකා ගෙනයමින්ද ඊළඟ පරම්පරා තුළ විශ්විය මිනිසෙකු මතු කර ගැනිම එතුමාගේ අරමුණ විය. එතුමාමෙන් විශාරද, විවෘත, විවිධත්වයට ගරු කරන, සමානතාවය අගයන ගැමියෙකු මිස සම්ප්‍රදායික අරුතේ ගැමියෙකු එතුමා නොපැතුවේය.

අධිපතිවාදයට නතුවන නොදැනුවත් ගැමියෙකු පවත්වාගෙන යාමට ධනවතුන් හා බලවතුන් විසින් ගන්නා උත්සහයට ප්‍රතිවිරුද්ධ විදග්ධ මිනිසෙකු අවදි කර ගැනිමට එතුමා කැපවිය.

එතුමා කිසි විටක ගැමිබව දේශියබව අනගිභවනීයභාවයට ඔසවා තබන ගැමිකම පිළිබඳ මූලධර්මවාදි අදහසක සිටියේ නැත. එතුමා ක්‍රිස්තියානි ය තුල පවා දුටුවේ විශ්වියත්වයයි.

 “එක්තරා දේශයක ලියවුණු දේශයකට වලංගු ජේසු තුමන්ගේ දූත මෙහෙවර අනුභාවයෙන් මුළු මැවිල්ලටම අදාල සර්වකාලින විශ්විය පණිවුඩය අපි බයිබලය තුළින් හඳුනාගත යුතුය.

  එතුමා බයිබලය දෙස බැලු ඉහත දෘෂ්ඨීකෝණය ඉහත කි එතුමාගේ විශ්ව දෘෂ්ඨීය පෙන්වා දෙයි.

03 තිස්වසරකට පසු අපි හා අපේ රට

දේශියකරණය හා හිස් කිරිම පිළිබඳ මයික් පිය දැක්මහා භාවිතය විමසු අපි දැන් වර්ථමානය වෙතට,  අපි වෙතට යොමු වෙමු. එතුමා ජීවත් වු යුගයට පසුව ගෙවනු දශක තුනකට පසුව අද අපි ශ්‍රී ලාංකිය සමාජයක් ලෙස සිටින්නේ කොතැනද?

මීට අවුරුදු තිහකට පෙර තිබුනාට වඩා බුත්තල වගේම අපේ රටත් දියුණු වී ඇති බව පේනවා. පැල්පත් උළු ගඩොලින් සැදිලා පාරවල් පලල් වෙලා තාක්ෂණය ගමට ඇවිල්ලා භෞතික දියිණුව දිස් වෙනවා එත් ජනතාව පීඩාවට පත් වීම අඩුවෙලා නැ නේද? ජාතින් අතර ආගම් අතර සුහදතාවය ඈත්වෙලා නේද? මූලධර්මවාදයන් අන්තවාදයන් හැම අතින්ම මතු වෙන බව පේනවා නේද? නිදහස ජිවිතය වින්දනය කිරිම විවේකය පවුල් බව සාමුහික බව අඩුවෙලා නේද?

තරුණ හා ළමා පරපුර තුළ ගංජා, මත් පැන්, අඩුවයස් ප්‍රේම සබඳතා, සෙල්ෆෝන් වලට මාධ්‍ය වලට ඇති වසඟය ඉහල යමින් තිබෙනවා නේද? බහුජාතික සමාගම් වලට වෙල්ලස්සේ ඉඩම් අක්කර 60 දාහක් බදු දීමට යහපාලන රජය සූදානම් වන බව ප්‍රකාශ වන අතර රාජපක්ෂ රෙජීමය ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික්කයට පමණක් නොව, වෙල්ලස්සට ද, අහිතකර ලෙස බලපාමින් තිබේ.

බහුජාතික සමාගම්වලට රසායන පොහොර වලට තිබු විරෝධය දැන්  මැකි ගිහින් ඒවාට විරෝධතා දැක් වු පිරිස් ඒ විරෝධතා ඔස්සේ බලයට පත් වී විජාතික සංවර්ධණය එදාටත් වඩා හොඳින් කරගෙන යනවා. මයිකල් පියතුමා ඝාතනය වුනේ ශ්‍රී ලංකාව තුළ ලිබරල් ධනවාදයේ පළමු ඉනීමේ ප්‍රතිඵල 60 000 කට අධික තරුණ පිරිසකගේ ඝාතනයන් හරහා නිකුත් වෙත කාලයක දීය. ඉන්පසු උතුරේදි සිංහල දෙමළ තරුණ තරුණියෝ, ජනයා දහස් ගණන් ඝාතනය වුණා. දැන් ඒ නව ලිබරල් ගෝලිය ධනවාදයේ දෙවන ඉනිම ඉතා රැවටිලි සහගත ලෙස අලංකාර ලෙස මතුපිටින් දේශප්‍රේමය ජාතිමාමක බව තවරාගෙන ක්‍රියාත්මක වෙනවා.

කාබනික පොහොර කොම්පොස්ට් පොහොර සොයාගෙන ජනතාව සමඟ පියතුමන් කළ අරගලය යටපත් වී පොහොර සහනාධාර තුළින් ම බහුජාතික සමාගම්වල කෘෂිකර්මන්තය මේ රටේ කෘෂිකර්මාන්තය බවට පත්කරලා ගොවි ජනතාව ධීවර ජනතාව තම අස්වැන්නට මිලක් නොමැතිව අස්වැන්න විනාශ කරන අතරම එසේ තමන්ට යන එන මං නැති කරන ආර්ථික ක්‍රමය පවත්වා ගන්නා දේශපාලකයින්ටම ඡන්දය දෙනවා අනිත් අතින් තමාගේ හෘද සාක්ෂි අහෝසිකරගෙන තම සහෝදර ජනතාවට වස විස කවයි. තමාගේ ආහාරයට වෙනමත් අලවියට වෙනමත් වවන්නන් බවට පත් වි සිටිති.

දේශයේ පීඩිතයා නිදහස් කරන අරගලය පෙරට ගැනිම හා සැබැ  දේශියකරණය වෙනුවට ඊනියා දේශප්‍රේමයට රැවටීමත්, අත් හැරිම වෙනුවට වැළඳ ගැනිම හිස් විම වෙනුවට තව තවත් පුරවාගැනිම වෙතට පෞද්ගලික ආධ්‍යාත්මය සකස්කර ගන්නා අතරම සමාජ යහපත සඳහා සාමුහිකව ක්‍රියාකිරිමේ හෘද සාක්ෂිය මරා දමමින් තිබේනවා.

ඉතිං මේ අප දකින්නේ මයික් පියතුමා ගෙන් පසුව එතුමා ගත් මඟ ඉදිරියට ගෙනයාමට අප අපොසහත් වීමේ ප්‍රතිඵලයයි. එතුමා බුත්තලදි කළ දේ රට පුරා ක්‍රියාවට නංවන සමාජ ව්‍යාපාරයක් බවට පත් කිරිමේ අපේ කොටස අත්හැර දැමිමේ ප්‍රතිඵලයයි.

මයික් පියතුමාව නතර කළ තැන සිට ඒ මඟ දිගේ ඉදිරියට නොයැම තුලින් අපි එතුමා ගරු නොකරන්නන් බවට පත් වි සිටිමු. මයික් පියතුමාගේ ආනුභාවය මිස යන්නට ඉඩදිම පාපයකි අපරාධයකි.

 සැබැ බොදුනුකම මෙන්ම කිතුනුකමද පීඩිතයාව දුකින් එතෙර කිරිම වේ. ඒ සඳහා අප ඉදිරියේ ඇති අභියෝග දෙකකි.

  1. දේශියකරණය යන්න ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මුදවා ගෙන විවිධත්වය හා අනන්‍යතා සුරකින අතර පීඩිතයා නිදහස් කිරිමේ අරගලයට මාංශගත වීම බව ඒත්තු ගන්වමින් එය ජීවත් කර වීමට පෙරමුණු ගැනිම හා එසේම දේශානුරූපිකරණය අත්හැර දැමිය යුතු දෙයක් සේ සලකමින් රෝමානු අධිපතිවාදයට ක්‍රිස්තියානිය යටත් කිරිමේ මූලධර්මවාදය පරාජය කරමින් එහි විශ්වීය භාවය සුරකීම. 
  2. හිස් කිරිම, අත්හැරිම පෞද්ගලික ශුද්ධවන්තභාවයක ලක්ෂණයක් බවට පත් වීම වළක්වා එය සමාජීය වෙනසක් සඳහා වන සාමුහික ප්‍රයන්තයක ලක්ෂණයක් බවට පත් කර ගැනිම.මයික් පියතුමා ගත් මඟ අදට ගැලපීමේ අභියෝගය එයයි. එය භාරගෙන ඒ වෙනුවෙන් අපේ ජීවිතය වැය කිරිම එතුමන් වෙනුවෙන් කළ හැකි ඉහළම ප්‍රණාමයයි. අපි ඊට කැප වෙමු

 

Comments powered by CComment