දෙව් මැදුරු වල විවාහ පූජාවන් වලදි පල්ලිය විලාසිතාගාරයක් වෙලා. මේ මගුල් පූජාවලට සහභාගි වෙද්දී හිතෙනවා විවාහය කියන්නේ ඇත්තටම සක්‍රමේන්තුවක්ද ? කියලා.

දෙව් සමිදුන්ගේ සැලසුම
පරපුරෙන් පරපුරට ගෙනියන්නේ
විවාහ ජීවිතයයි....
ඒ සැලසුම වනාහි
මුළු විශ්වයම වඩාත්
ප්‍රේමයෙන් පිරි පවුලක් වීමයි..
විවාහ ජීවිතය විශ්ව පවුල
වඩාත් අර්ථයෙන් ජීවයෙන්
පිරවීම සඳහා නොවන්නේ නම්
එම විවාහ දිවිය
දෙවිඳුන්ට ප්‍රසන්න නොවේ....
දෙවිදු අභිමතය නොවේ...

 


ඉතිං විවාහ ජීවිතය ඔව්. වඩාත් තේරෙන භාෂාවෙන් කිවහොත් ආශිර්වාදකාර බන්ධනය නැමති සක්‍රමේන්තුවේ අර්ථය ප්‍රශ්න කල යුතුව ඇත. ශුද්ධ වු බයිබලයේ මැවීමේ කතාවට අනුව දෙවියන් වහන්සේ මිනිසා ‘ස්ත්‍රීය හා පුරුෂයා’ වශයෙන් මවා වදාල සේක. උන්වහන්සෙගේ කැමැත්ත වනුයේ මේ දෙදෙනා එක්ව විසීමයි.


දෙවියන් වහන්සේගේ සමානකම
හා ස්වරූපය
මුළුමනින්ම ජීවමාන වන්නේ
ස්ත්‍රීය හා පුරුෂයා සාංඝික වීම තුලය
ස්ත්‍රි පුරුෂයාට යටවීම
පුරුෂයා ස්ත්‍රීය යටවීම
දරුවන්ව දෙමාපියන් යටත් කර ගැනීම
තුල එය කිසිසේත්
ඉටු නොවේ....


පැහැදිලි හා නිරවුල් ලෙසම මේ එක්ව විසීමෙන් තොරව ජීවිතයක් නැත. මේ එක්ව විසිමෙන් තොරව පැවැත්මක් නැත. ගැලවීමක් නැත. විවාහ ජීවිතය යනු මේ එක්ව විසිමේ උත්තරිතර ස්වරූපයකි.


ස්ත්‍රිය සහකාරිය වන්නේ
උදව් කරන්නීය යන අරුතින් නොවේ.
ජීවිතය ජීවත් කරවීමට අවශ්‍ය
ත්‍දවියන්ගේ සහය
යන අර්ථයෙනි..
විවාහ දිවිය තුල
ස්ත්‍රීය පුරුෂයාටද පුරුෂයා ස්ත්‍රීයටද
දෙවියන්වහන්සේගෙන් ලැබෙන සහය
විය යුතුය.
එසේ විය යුත්තේ
ඔවුන් දෙදෙනාම එක්ව
අනිකුත් මිනිසුන්ට දෙවියන්ගේ
සහය බවට පත්වීමටය.


මේ දෙව් අරුතෙන් අපේ විවාහය ජීවිතය පවුල් ජීවිතය මුළුමනින්ම වාගේ ඈත්වෙලාය. එක්ව විසීමක්. සාමුහික ජීවිත පැවැත්මක් එහි නොමැත. මව පියා දරුවන් ලෙස ලෝකය සඳහා නොව පවුල සඳහාවත් එක්ව ජීවත්වීමක් නැත. රට ගිය අතිකාල වැඩකරන (ඕ.ටී. කරන) අස් වැසිල්ලක් නැතිව සුළු සුළු හෝ බිස්නස් කරන. රස්සාවක් සඳහා පැය විසිහතරෙන් වැඩි හරියක් වැය කරන, ගේ දොර ඉඩකඩම් වැනි දැ සඳහා වෙසෙන අම්මලා තාත්තලා හා දරුවන් සහිත පවුල් ජීවිතය තුල ජීවිතය ගැන කතාබහ කරන්නට ඉඩක් තබා නැත. ඒ ඉඩ අහුරා ඇත්තේ මේ ආර්ථීක ක්‍රමය තුළය.
එක්සිත් වීමක් නැත. විසිරිමක් පමණි ඇත්තේ. ජීවිතයේ කායික පක්ෂය වෙත පමණක් ඇස් කන් නාසය ශරීරය පිනවන බඩුබාහිරාදියෙන් පතපොතින් චිත්‍රපටියෙන් කැසට් පටියෙන් ඇඳුමේ පැළඳුමෙන් පිරි ඉතිරි ගිය හෝ පිරි ඉතිරි යනු සඳහා තරග වදින හෝ සිහින දකින ලෝකයක විවාහ දිවියේ අරතැ නැත්තටම නැති වෙලාය. විවාහ ජීවිතය තුල අද ඉල්ලන්නේ ජීවිතය නොව මාංශයයි.


පවුල් ජීවිතය ඉතිරි යා යුත්තේ
ලෝකයේ අගයන්ගෙන් නොව
දෙවිදුන්ගේ අයන්ගෙනි
ලෝ අගයන්ගෙන් හිස් නොවන පවුලක්
දෙවිදුන්ගේ අගයන්ගෙන් පූර්ණ නොවේ.
පවුල් ලෙස අප දණ නැමිය
යුත්තේ සැප සම්පත් ලඟ නොව
දෙවි සමිදුන් ලඟය.
පවුල තුල දේව රාජ්‍යයේ සුලක්ෂණ පැවතීය යුතු අතර
පවුල එහි සාමාජිකයින් සඳහා නොව
එහි සාමාජිකයන් සමඟ
දේව රාජ්‍ය උදෙසා විය යුතුය.


පවුල් ජීවිතය අද කොටුවු පටුවු එකක් බවට පත් වෙලාය. එය ආත්මාර්ථකාමි එකක් බවට පත් වෙලාය.
‘තම පවුල’ ‘තමා’ යන්නට සීමා වු පවුල් ආත්මාර්ථකාමීය අනිත් පවුල් වලින් වෙන් වුනු හුදකලා පවුල් පැවැත්ම අද අපේ විවාහ ජීවිතය නැමති සක්‍රමේන්තුවෙන් පසු ප්‍රතිඵලය බවට පත් වී නැති ද? අනිත් පවුල පරදවා තම පවුල ඉදිරියට යාම අද පවුල් ජීවිතයේ අප්‍රකාශිත ආදර්ශ පාඨය නොවේද?


විවාහය තුලින් ගොඩ නැගෙන පවුල්
එකිනෙකා හුදකලා වන්නෙ නම්
විවාහ දිවියට සමිදුන් දුන් අරුත බිඳ වැටේ
විවාහය තුලින් ගොඩනැගෙන පවුල්
එකිනෙක එකතු වන්නේ නම්
දෙවිඳුන්ගේ ගැලවීම සඳහා
අත්වැල් බැද ගන්නේ නම් පමණක්
විවාහ දිවියට සමිදුන් දුන් අරුත
ගොඩනැගේ...

පවුල විවාහ ජීවිතය එහි
එකිනෙකාගේ තෘප්තිය
සඳහා නොව
දේව රාජා්‍යයේ පූර්ණත්වය
සඳහා විය යුතුය.


විවාහ ජීවිතයට ඇති දෙව් අරුතින් එය ඈත් වු අභාග්‍ය සම්පන්න තත්වයකට අද විවාහය වැටී ඇත්තේ මේ පාපකාරි සමාජ ක්‍රමය නිසාය. මේ දේව විරෝධි සමාජ ක්‍රමය තුල ධනය මත සියල්ල තීරණය වන නිසා අම්මා, තාත්තා හා දරුවන් සියලු දෙනාටම රැකියාවන් කිරිමට, පිටරට ගොස් හෝ හම්බ කරන්නට පොළඹවා ඇත. දේව විරෝධි සමාජ ක්‍රමයක් තුල විවාහ ජීවීතය සක්‍රමේන්තුවක් වන්නේ කෙසේද ? යන්න අපි ප්‍රශ්න කළ යුතුය.


පල්ලියට පැමිණ ජයට මගුල් ගත්ත පමණින්, පියතුමා දේශනයක් දී ආශිර්වාද කල පමණන් සක්‍රමේන්තු ජීවිතයක් ගොඩනොනැගේ එය සක්‍රමේන්තු ජිවිතයක් වන්නේ ජීවත් වන ආකාරයෙනි. පල්ලියේ වැඩ කටයුතු සාර්ථව ඉටුකලත් පල්ලයෙන් පිට වි ගිය පසු කිතුනු පවුල් ජීවිතයක් නිසි අරුතෙන් ගතකල නොහැකි නම් එම විවාහ ජීවිතයන් සක්‍රමේන්තුවන් බවට පත්වන්නේ කෙසේදැයි විවාහ වන අය මෙන්ම දේශන පවත්වා ආශිර්වාද කරන පියවරු විසින් ද සිතා බැලිය යුතුයි.


විවාහ දිවියට අරුතක් ඇත. පවුල් ජීවිතය ගත කළ යුතු වන්නේ තම පවුල අරමුණු කරගෙන නොවේ. දෙවියන් අරමුණු කරගෙනය. දෙවිදු කැමැත්තට අනුව මුළු ලොවම ආදරයෙන් සහෝදරත්වයෙන් බෙදා ගැනීමෙන් පිරුනු මිනිස් පවුලක් ලෙස ගොඩනගන්නට දායක වීමට බැරිනම් මේ විවාහ ජීවිතය පවුල් ජීවිතය ගැන අපි සිතා බැලිය යුතුයි.


විවාහ ජීවිතයේ අරමුණ ජිවත් කල නොහැකි සමාජයකදි පවුල ලබන කැඳවීම නම් ඊට බාධාවන පාපතර සමාජ ක්‍රමයට එහෙිව යමින් දෙවියන්ගේම වු ලොවක් ගොඩනැගීම සඳහා ජීවත් වීමය. කැපවිමය. ඒ සඳහා වන දේව සැලැස්මට දායක වීමය. ස්නාවක ජුවාම් සකරියස් හා එලිසබත් ජේසු මරිය හා ජුසේ එම අරමුණු සඳහා දායක වු පවුල් ලෙස අපට පෙනේ.


ශුද්ධ වු පවුල ලෝකය සඳහා දෙවියන් වහන්සෙගේ සැලැස්ම වෙනුවෙන් ජීවත් වුනු පවුලකි. එම අරමුණ සඳහා තම තරුණ පුතාව යොමු කිරිමටත් ඒ සඳහා පරිත්‍යාග කරන්නට පවා ජුසේ මරියා එඩිතර විය. ශුද්ධ වු පවුලේ ආදර්ශය එයයි. අපි බොහෝ විට ශුද්ධ වු පවුලේ පිහිටාශිර්වාදය යදින්නේ එම පවුල වගේ මුළු ලෝකයේ මහ මිනිස් පවුල වෙනුවෙන් දේව පියාගේ අරමුණ වෙනුවෙන් ජීවත් වන්නට වඩා එම අරමුණ පැත්තක දමා මේ පාපතර සාතන්නේ සමාජ ක්‍රමයෙන් කකා බිබි මහ මිනිස් පවුලට හෙන ගැහුවත් මගේ පවුල පමණක් ගොඩනගා ගැනීමේ අරමුණින් යුතුවය.


එවැනි පවුල් ජීවිතයක් දේව තාත්තා ඉදිරියේ නම් සක්‍රමේන්තුවක් වන්නේ නැත. බොහෝ විට අදඅ පි හොඳ කතෝලික පවුලක් ලෙස නම් කරන්නේ මෙම පාපතර සමාජ ක්‍රමයට කිසිදු එරෙහිවීමකින් තොරව එම සමාජ ක්‍රමයෙන්ම හැදි වැඩි ෂේප් එකේ තමන්ගේ පවුල ගොඩනගා ගන්නා ඉරිදා පූජාට යන පල්ලයේ සක්‍රමේන්තු ලබා තිබෙන, මාස් කාසි ගෙවන පවුල් වලටය.
එහෙත් මෙම පාපතර සමාජ ක්‍රමය වෙනස් කරමින් දෙවියන් වහන්සේගේ ආදරයේ ලෝකය ගොඩනග්නනට මුල්වන පවුල් සිටිත් ද එසේ සිටියත් හොඳ කතෝලික පවුල් ලෙස එම පවුල් හඳුනා ගැනීම කොහෙත්ම සිදු නොවේ. එම නිසා විවාහ ජීවිතය සක්‍රමේන්තුවක් වන්නේ පවුල සඳහා දෙවියන්ගේ අරමුණ අවබෝධ කරගෙන ඒ අරමුණ වෙනුවෙන් පවුල් ජීවිතය ගත කරන විටය.


ශුද්ධාත්මයාණන්ගෙන්
පන්නරය නොලබන
බොරුව බිඳ දමා සත්‍ය
ගොඩනගන අවියක් නොවන
පවුලක් යනු ආත්මාර්තකාමි
හවුලක් පමණි...


අද සෑම කිතුනු පවුලකටම විවාහ දිවියේ සැබෑ අරුත සඳහා අලුතින් උපදින්නට සිදු වී ඇත. දැනට ගත කරන ආත්මාර්තකාමි හුදකලා පවුල් ජීවිතය වෙනුවට තමන්ට ද රටට ද ගැලවීමක් ගෙන දෙන නව පවුලක් වනවාද ? සමිදු කැමැත්තට පිටුපා ජීවිතය නිමා කරනවාද ? ඔව්, අපි අලුතින් සිතිය යුතු වෙමු.

jesustoday 36 සතිය 2017 නොවැම්බර් 05