මේ මළවුන්ගේ මාසයයි.

කුමක්ද මරණය?

අස්ථිර සුසුමක්

නැවත නොගන්නට

සුළඟට දන් දීමයි.

ඒ හිස් සුසුමට

අරුතක් එක්කර

මරණය උත්තම පූජාවක් කරමු.......

 

 

නන්දා මාලනිය ගායනා කරන ඉහත ගී කණ්ඩය කිතුනුවන්ගේ මළවුන්ගේ සැමරුම් හි සැබැ අර්ථය වෙත අපව යොමු කරයි.

‘මරණය’ උත්තම පූජාවක් විය යුත බව කිතුනු ඇදහීමයි. නොවැම්බර් මාසය කිතුනුවන් සලකන්නේ මළවුන්ගේ මාසය ලෙසයි. ඒ මළවුන්ගේ මාසයේ පළමුවෙනිදා සියළු සාන්තුවරයන්ගේ මංගල්‍යය මව්හු සමරති.

කිතුනු සම්ප්‍රදාය අනුව සාන්තුවරයන් හෙවත් ශුද්ධාවන්තයින් ශුද්ධවන්තියන් යනු සාමාන්‍ය මිනිස් දුවක පුතෙකු ලෙස මෙලොව ජීවිතය අරඹා විවිධාකාර වු ජීවිත අභියෝග වලට මුහුණ දෙමින් දේව කැමැත්තට හිස නමමින් වඩා ආදරණිය ලෝකයක් නිර්මාණය කිරිම සඳහා ජීවිතය කැප කළ පිරිසකි. සභාවන් නිල වශයෙන් පිළිගත් සාන්තුවරයන් හැරුනු විට බොහෝ දෙනෙකු මෙලොව තුළ සාන්තුවර ජීවිත ගත කර ඇත. ගත කරති.

සාන්තුවරු යනු කාටවත් කරදරයක් නැති තමන්ගේ පාඩුවේ සිටින්නෝ නොවෙති. අයහපතට එරෙහිව යහපතට පක්ෂව අධ්‍යාත්මික සටනක නිරත වූවන්ය.

ජේසු තුමන්ගේ වචනයෙන් කීවොත් භාග්‍යවන්ත මිනිසුන්ය. ඔවුන්ගේ ලක්ෂණ ජේසු තුමන්ගේ සුප්‍රසිද්ධ කන්ද උඩ දේශනාව අනුව මෙසේය.

බැහැ සිතින් දෙව් සරණ පතන්නෝ

භාග්‍යවන්තයෝය. ස්වර්ග රාජ්‍යය

ඔවුන්ගේය

ශෝකවන්තෝ භාග්‍යවන්තෝය. ඔව්හු

සැනසීම ලබන්නෝය.

යුක්තියට සාපිසසා ඇත්තෝ භාග්‍යවන්තයෝය.

ඔව්හු තෘප්තිමත්වන්තෝය.

දයාවන්තයෝය. භාග්‍යවන්තයෝය

ඔව් හු දයාව ලබන්නෝය.

නිහතමානි ගුණ ඇත්තේ භාග්‍යවන්තයෝය.

ඔව්හු දේශය උරුම කරගත්තෝය

නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝය.

ඔව්හු දෙවියන් වහන්සෙගේ දයාව දකින්නෝය.

සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය.

ඔව්හු දෙවියන්වහන්සේ පුත්‍රයෝ යැයි

කියනු ලබන්නෝය.

යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ

භාග්‍යවන්තෝයය. ස්වර්ග රාජ්‍යය

ඔවුන්ගේය.

(මැතිව් 5/3-10)

මෙවැනි භාග්‍යවන්ත මිනිසුන් වීම සඳහා අපට ජීවිතය ලැබී ඇති බවත්, එවන් මිනිසුන්ගේ මරණය ඇත්තම පූජාවක් වන බවත් කිතුනු ඇදහිල්ලයි.

නොවැම්බර් පළමු වනදා එකි සාන්තුවර ජීවිතයක් සඳහා තමාට ඇති කැඳවීම, මෙහෙවර මෙනෙහි කරන කිතුනුවෝ නොවැම්බර් 02 වනදා මළවුන්ගේ මංගල්‍යය හෙවත් සඟ සැපත් වූවන්ගේ මංගල්‍ය සමරති. මේ දින දෙක එකිනෙකින් වෙන් කල නොහැකිය. හරියට ජීවිතය හා මරණය වෙන්කල නොහැකි පරිදිය.

මරණයට අරුතක් එක් කළ හැක්කේ ශුද්ධවන්ත ජීවිතයක් මඟිනි. ගෞරවනීය මරණයක් ලබාගත හැක්කේ ගෞරවනීය ජීවිතයක් මඟිනි.

ලෝ පුරා කතුනුවෝ තම මිය ගිය නෑසියන් හිතවතුන් මිතුරන් මිනිදන් කොට ඇති සූසාන භූමි පවිත්‍ර කොට සරසා, මළවුන්ගේ මංගල්‍ය දිනත් මේ මාසය පුරාත් ඔවුන් සිහිකොට දාන ධර්ම දීම, දිව්‍ය පූජා පැවැත්වීම මගින් ඔවුන් තම ජීවිත වලට එකතු කල යහපතට ක්‍ෂතඥතාවය ඵල කරති.

එය අප රටේ බහුතර බොදුනුවන් මෙරටදි වෙසක් පෝ දින තම මිය ගිය නෑසියන්ගේ සූසාන භූමි වෙත ගොස් ගරු කරනවා වගේය.

මේ මළවුන් සැමරීම වැදගත් වන්නේ මළවුන්ට නොවේ. ජීවත් වන්නාවුන්ටය. තමනුත් කෙදිනක හෝ මරණයට පත් වන බව සිහිපත් කොට තම ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරිමට එය අවස්ථාවක් කර නොගන්නේ නම්, මියගිය අයට දක්වන කෘතඥතාවයටද වැඩි අරුතක් නොලැබේ.

කිතුනු සම්ප්‍රදාය තුල පවතින තවත් එක් විශේෂ්‍යත්වයක් වන්නේ ‘යහපත් මරණයක්’ ලැබීම සඳහා යාච්ඥා කිරිමයි. කතෝලිකයින් අතර යහපත් මරණයක් සඳහා යාච්ඥාව නමින් ජනප්‍රිය යැදුමක් ද පවති. යහපත් මරණයක් පතා යදින කිතුනුවන් බොහෝ දෙනෙකු යහපත් මරණයක් ලෙස හිතන්නේ දුක් නොවිඳ. පණ නොඇද ලබන මරණයක් බව ඔවුන් හා කතාබහේදි පෙනී යයි.

ඒ දැක්ම අනුව නම් ජේසු තුමාගේ මරණය යහපත් මරණයක් නොවේ. මන්ද එය මෙලොව තුල මනුෂ්‍යයෙකු ලැබු ඉතා කුරිරු වඳවේදනාවන් විඳි මරණයක් වන නිසාය. ඒ නිසා කිතුනුවන්ගේ දැක්ම හා කිතු තුමන්ගේ දැක්ම අතර පරස්පරයක් පවති. කිතු දහම අනුව යහපත් මරණයක් යනු දුක් විඳිමක් නැති මරණයක් නොවේ. දේව කැමැත්ත වන යුක්තිය සාධාරනය. ප්‍රේමය උදෙසා කැපවීමෙන් ජීවත් වූවෙකු ලබන මරණයකි. ඒ නිසා මැරෙන විදිහ හෝ වළලන විදිහ යහපත් හා ගෞරවනීය මරණයකට වැදගත් නැත. ජේසු තුමන්ට හිමිවූයේ එකල පැවැති ඉතා නීච නින්දිත මරණයකි. නමුත් එය මානව ඉතිහාසයේ ඉතා විශිෂ්ඨ මරණයක් වන්නේ එය මානව වර්ගයාගේ විමුක්තිය වෙනුවෙන් සිදු වු මහා උත්තම පූජාවක් වීම හේතුවනි.

කිතුනු සම්ප්‍රදාය මළවුන් වැළලීම සලකන්නේ පුණ්‍ය ක්‍රියාවක් වශයෙනි. මිනිසෙකුට ගෞරවනීය භුමදානයක් හිමි විය යුතුය යන්න එයට පදනමයි. ඒ නිසා පසුගිය වසර 30 පමණ කාලය තුල උතුරේත් දකුණේත් මහ මඟ සිදු කළ ඝාතන, ගොඩගැසු මිනි කඳු කිසිවක් කිසිදු හේතුවක් මත ක්‍රිස්තියානිය සාධාරණිකරණය නොකරයි. එය රජය අතින් සිදුවුවද උතුරේ හා දකුනේ සන්නද්ධව සටන් කළ තරුණ තරුණයින් අතින් සිදු වූවද මිනිසෙකුට ගෞරවනීය අවසානයක් සහතික නොවීම වනාහි සමාජ පරිහානියේ සලකුණක් ලෙසත් කිතුනු ඉගැන්වීම තුල සැලකේ.

ජාතියේ හෝ ආගම් හෝ වෙනත් කිසිදු ආකාරයක පදනමක් මත මිනිසෙකු මරා දැමීම කිතු දහම අනුමත නොකරයි. එසේම පසුගිය කාලය තුල යුද්ධයේදි මිය ගිය හමුදා සෙබළුන් මහත් අභිමානයෙන් සමරද්දි එම යුද්ධය තුල මිය ගිය උතුරේ තරුණයින් හා ජනයා සිහි කිරිමට බාධා පමුණුවා තිබු යථාර්තයත,් ඔවුන්ගේ සොහොන් කොත් සූසාන භූමි ඩෝසර් කිරිමත් කිතු දහම දකින්නේ මිනිස්කමට එරෙහි අපරාධයක් ලෙසය.

අපරාධකාරයින්ට දෙන දඩුවම වන කුරුසියේ මරණය ලැබුව ද කිතු තුමාගේ සිරුර එතුමාගේ මෑණියන්ට ලැබුනි. එය සතපවන්නට සොහොත් ගැබකුත් ලැබුණි. එහෙත් පසුගිය දශක තුනකට අධික කාලයක් තුල තුළ දකුණේ හා උතුරේ මව්වරුන්ට, බිරියන්ට තම දරුවන්ගේ , සැමියන්ගේ  මළ මිනියවත් ලැබුනේ නැත. එකි අතුරුදහන් කිරිම් කිතු දහම දකින්නේ විශාල අපරාධයක් ලෙසය.

ඒ නිසා මළවුන් සැමරීම හුදෙක් තම මිය ගිය ඥාතින්ට ගරු කිරිමට සීමා වීම මළවුන් සැමරීමේ සැබැ අරුත ජීවත් කරවීමක් නොවේ. සියලු මිනිසුන්ට ගෞරවනීය ජීවිතයක් සහතික කරන රටේ සියලු මිනිසුන්ට තම මිය ගිය, අතුරුදහන් වු නෑසියන් ගැන සිහිකිරිමටත්, ඔවුන්ට වු දේ ගැන සොයා දැන ගැනීමටත්, සාධාරණ ඉටු කර ගැනීමටත්, අවස්ථාව සැලසීමට ක්‍රියා කිරිම සැබැ මළවුන් සැමරීමකට අදාලය.

එසේම අද කිතුනුවන් අතර මෙන්ම පොදු වේ රට තුල තිබෙන අවමංගල්‍ය උත්සව සංස්කෘතිය කිතු දහම තුළින් බලන විට ඉතා අරුත් සුන් එකක් බවද පැහැදිලිය. එය වනාහි තව සිය ගනණක් මරා දමන බොරු පුරාජේරු පවසන, පරිසරය විනාශ කරන වැඩ පිලිවෙලක් බව පෙනී යයි.

මේ අවමගුල් සංස්කෘතිය කිතු තුමන් සිටියා නම් නිසැකවම දෝෂ දර්ශනයට ලක් කරනු ඇත. අරක්කු, සිගරට්, ඉටිකොළ, ඩිජිටල් බැනර්, සාද තෙපුල්, බූරු පිටි, ගංජා සූරුට්ටු ආදිය මෙන්ම මළවුන් සඳහා දෙන දාන ධර්මද ධර්මයේ හරයන්ට පිටුපෑ ඒවා බව පෙනී යයි.

ජේසු තුමන් පවසා ඇත්තේ දාන ධර්ම දිය යුත්තේ තමන්ට කෑමකට ආරාධනා කල නොහැකි අසරණයින්ට බවය. එහෙත් අද දාන ගෙවල් යනු නෑ හිත මිතුරන්ට, තමන්ට සැලකු අයට සලකන නාස්තිකාර ප්‍රියසාද බවට පත් ව ඇත. ඉන් මිදි කටයුතු කරන්නේ ඉතා අතලොස්සකි.

කිතු දහම අනුව තමන්ට ගැලවීම සම්පාදනය කර ගත හැක්කේ මරණයෙන් පසු නෑ හිත මිතුරන් දෙන දාන ධර්ම මගින් නොවේ. තමා ජීවත්වන ආකාරය අනුවය. එහිදිත් විශේෂයෙන් පීඩිත ජනයා වෙත දක්වන ආදරය අනුවය.

“ජේසුස් වහන්සෙගේ ඉගැන්වීම අනුව විනිශ්චය දවසේදි මිනිසෙකු ගැලවීම ලබන්නේ මෙසේය. මාගේ පියාණන් වහන්සෙගේ ආශිර්වාද ලද්දෙහි එන්න ලෝකයේ පටන් ගැන්මෙ සිට ඔබට සූදානම් කර තිබෙන රාජ්‍ය උරුම කර ගන්න. මන්ද මම සාගිනිව සිටියෙමි. ඔබ මට කන්න දුන්නාහුය. පිපාසා වී සිටියෙමි. ඔබ මට බොන්න දුන්නාහුය. ආගන්තුකට සිටියෙමි ඔබ මා ගෙදරට පිළිගත්තාහුය. වස්ත්‍ර නැතිව සිටියෙමි. ඔබ මට වස්ත්‍ර දුන්නාහුය. රෝගාතුරව සිටියෙමි ඔබ මා බලාගත්තාහුය. හිර ගෙදර සිටියෙමි ඔබ මා බල්නට ආවාහුය.”

එකල දැහැමියන් උත්තර දෙමින් ස්වාමිනි ඔබ කවර කලක සාගිනිව සිටියදි අපි ඔබට කෑම දුනිමුද, පිපාස වී සිටියදි බොන්ට දුනිමුද.........  කියනු ඇත.

එරට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින් සැබැවින්ම මම ඔබට කියවී මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතාම සුළු තැනැත්තාට වුවද ඔබ එසේ කළා නම් එය කළේ මට යැයි වදාරන සේක.

(ශූ. බයිබලය. මතෙව් 25/31-48)

Comments powered by CComment