විමුක්ති හරය ඉස්මතු කරන දේව ධර්මයේ අරමුණ වන්නේ දේව ධර්මය මගින් ලෝකය, යථාර්ථය විස්තර කිරීම නොවේ. දේව ධර්මය භාවිතා කරමින් ලෝකය වෙනස් කිරීමයි.

 

ශ්‍රී ලංකාව තුළ වර්ථමානයේදි දේව ධර්ම ශාස්ත්‍රඥයින් සිටිත්ද ? විශේෂයෙන් දේව ධර්මයේ විමුක්ති හරය මතු කරන සැබැ දේව ධර්මවාදින් සිටිත්ද ?

මේ ප්‍රශ්න මේ මොහොතේ අදාල නැති ප්‍රශ්නයක් ලෙස ඔබට පෙණී යා හැකිය. එහෙත් අපට අවශ්‍යවන්නේ ප්‍රගතිශීලින් සංවාදයට කැඳවීමයි.

සම්ප්‍රදායවාදි සම්ප්‍රදායික දේව ධර්මාචාර්යවරු ගැන අපට කතා කරන්නට දෙයක් නැත. එහෙත් ප්‍රගතිශීලින් පිළිබඳ අපට කතා කරන්නට දෙයක් ඇත.

ව්‍යාපෘතිවාදින් ද ? විමුක්තිකාමින් ද ?

ප්‍රගතිශීලි ශාස්ත්‍රාලීය දේව ධර්මමවාදින්ව අපට හැදින්විය හැක්කේ විමුක්තිවාදින් ලෙස නොවේ. ව්‍යාපෘතිවාදින් ලෙසය. ඔවුන්ගේ විමුක්තිවාදි රචනා හෝ වැඩසටහන් එළිදකින්නේ ව්‍යාපෘති ලෙස පමණි. කැකෑරෙන ජනතා ප්‍රශ්න සමඟ ඔවුන්ට ඵෙන්ද්‍රිය සම්බන්ධයක් නැත.

ශාස්ත්‍රාලීය නොවන ප්‍රගතිශිලි දේව ධර්මවාදින් ජනතා අරගල භූමිය තුළ නොසැලී රැඳී සිටි. සැබෑ දේව ධර්මවාදින් වන්නේ ඔවුන්ය.

න්‍යායක් ද ? අරගලයක් ද ?

දේව ධර්මය යනු න්‍යායයක් නොවේ. එය අරගලයකි. එය ලෝකය වඩාත් ප්‍රේමනීය තැනක් කිරිමේ අරගලයකි.

විමුක්ති හරය ඉස්මතු කරන දේව ධර්මයේ අරමුණ වන්නේ දේව ධර්මය මගින් ලෝකය, යථාර්ථය විස්තර කිරීම නොවේ. දේව ධර්මය භාවිතා කරමින් ලෝකය වෙනස් කිරීමයි.

විස්තර කරනවාද ? වෙනස් කරනවා ද ?

වෙනස් කිරීම සඳහා වන භාවිතාවක නොමැති විස්තර කරන්නන් ක්‍රිස්තියානි ව්‍යාවහාරය අනුව හැදින්විය හැක්කේ බොරු දිවැසිවරු වශයෙනි. මන්ද ඔවුන් අවසාන වශයෙන් සිදු කරන්නේ පවතින ක්‍රමය පවත්වා ගැනීමට උදව් කිරිමයි.

වෙනස් කිරීම සඳහා භාවිතාවක ඇති අය ක්‍රම විරෝධි අස්ථානයක පිහිටා සිටින්නෝය. ඔව් හු ක්‍රමය ආරක්ෂා නොකරයි. ක්‍රමය වෙනස් කිරීම පරම අභිලාශය කරගත් එවැන්නෝ සිටින්නේ ස්වල්පයකි. සැබෑ දේව ධර්මවේදින් වන්නේ ඔවුන්ය.

ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට පැමිණියේ ලෝකයේ විග්‍රහ කිරීමට නොවේ. ලෝකය වෙනස් කිරිමටය. සීසර්ලාගේ රාජ්‍යය දේව රාජ්‍ය දක්වා පරිවර්තනය කරන්නටය. සීසර්ලාගේ පාලනයක් සහිත ලෝකයක් වෙනුවට දේව පාලනයක් සහිත ලෝකයක් උදා කරන්නටය. ධනය මුල්කරගත් සමාජය ප්‍රේමය මුල් කර ගත් සමාජයක් කරන්නටය.

ජේසුගේ දූත මෙහෙවර උදෙසා හුදු ශාස්ත්‍රීය තලයේ නොව ප්‍රායෝගික තලයේ කැප නොවන දෙව් දහම්ධරයින්ගේන් දේව රාජ්‍යයට වැඩක් නැත.

"එක්ටැම් ගෙවල සිට
සංකල්පය වඩාරන දෙව් දහම්ධරයිනි.
අන්ධකාරය වෙතටමය
නුඹලා ලෝකය ගෙන යන්නේ"

Jesustodaysl 2 වන වසර 37 වන සතිය 2018 නොවැම්බර් 25 

 

Comments powered by CComment