මනුෂ්‍යත්වයේ පොදු සාධකය වන්නේ ඔහු තුළ ඇය තුළ පවතින දේව ස්වරූපයයි. ඒ පොදු සාධකය සමඟ සලකා බැලීමේදි මිනිසුන්ගේ වෙනස්කම් ඒ පොදු සාධකය වර්ණවත් කරන්නක් මිස දුර්වර්ණ කරන්නක් නොවේ.

කිතු දහම මිනිස් වර්ගයා පිළිබඳ දක්වන ප්‍රධාන බැල්මක් වන්නේ මිනිසා දෙවියන්වහන්සෙගේ ස්වරූපය දරන බවයි.

"දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවු සේක. දෙවියන් වහන්සේගේම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක" (උප්පත්ති 1/24)

මෙසේ සෑම මිනිසෙකු තුළම දේව ස්වරූපය, දේව සමානකම තිබෙන බව අදහන කිතුනුවාට ජාතිවාදියෙකු විය නොහැකි බව විස්තර කළ යුතු නැත. නමුත් බොහෝ කිතුනුවන් එය තේරුම්ගත් බවක් නොපෙනේ.

මනුෂ්‍යත්වයේ පොදු සාධකය වන්නේ ඔහු තුළ ඇය තුළ පවතින දේව ස්වරූපයයි. ඒ පොදු සාධකය සමඟ සලකා බැලීමේදි මිනිසුන්ගේ වෙනස්කම් ඒ පොදු සාධකය වර්ණවත් කරන්නක් මිස දුර්වර්ණ කරන්නක් නොවේ.

කිතුනුවන් යනු මිනිසුන් දෙස එකි පොදු සාධකය තුළින් බලන පිරිසක් විය යුතුය. ඔහු මිනිසා දෙස බලන්නේ සැකයෙන්, බියෙන් නොවේ. අනෙකා තුල සතුරෙකු නොදකි. දෙවියන් වහන්සේ තම ස්වරූපයට මැවු මිනිසා දෙස බලා මිනිසා ඉතා මනහර බව දුටුවා සේ කිතුනුවා සෑම මිනිසෙකු දෙස බැලිය යුත්තේ ඉතා මනහර ලෙසය.

ඒ අනුව ඔහුට යම් ජාතියක මිනිසුන් තවත් ජාතියක මිනිසුන්ට වඩා උසස් හෝ පහත් ලෙස විනිශ්චය කිරීම හා එකඟ විය නොහැකිය. ජාතිවාදය අපට පුරුදු කරන්නේ අනෙකා දේව ස්වරූපයේ හිමිකරුවන් ලෙස දකින්නට නොවේ. තම ජාතියේ විශිෂ්ඨත්වය හා අනෙකාගේ දුබලතා දකින්නටය.

විවේචනය නම් අන්වික්ෂයෙන්
මගේ සොයුරා දෙස බලා
‘කොතරම් ගොරහැඩිද ඔබ?
මම කීවෙමි
ද්වේෂය නම් දුර දක්නයෙන් බලා
‘ඔබ ඉතා කුඩා නොවැ’
මම කීවෙමි
නමුත් මම ඔහු ඇය දෙස
සත්‍යයේ කැඩපතින් බැලු විට
‘අප දෙදෙනා කොතරම් එක වගේදැයි’
මම පුදුමයට පත්වීමි

(බොල්ටන් පෝල්)

දෙවියන්වහන්සේ මිනිසා දෙස බලන ආකාරය නමැති කාචයෙන් අප බැලු විට අපට හමුවන්නේ දේව ස්වරූපය දරන මිනිසෙක්ව මිස ජාතිය, කුලය, ආගම, වර්ණයට හංවඩු ගැසුවෙකු නොවේ.

මම වගේම දේව ස්වරූපය දරන්නෙකුට දේව ස්වරූපය දරන මම කෙසේ අවමන් කරන්නද?.

සියළු මිනිසුන් දේව දරුවන් යැයි අදහන ‘ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී’ පවසන කිතුනුවන්ට ජාතිවාදි විය නොහැකිය. කිතු තුමන් අපට ඉගැන්වූයේ ස්වර්ගයේ වැඩ සිටින ‘අපගේ’ පියාණනීයි කියන්න මිස ස්වර්ගයේ වැඩ සිටින සිංහලයින්ගේ ද්‍රවිඩයන්ගේ ජුදාවරුන්ගේ මුස්ලිම්වරුන්ගේ පියාණනීයි යාච්ඥා කරන්නට නොවේ.

jesustodaysl 2 වන වසර 24 වන සතිය 2018 අගෝස්තු 19

Comments powered by CComment