සැබැ සහෝදර ප්‍රේමය පැන නගින්නේ සෑම මිනිසෙක්ම ඇතුලාන්තයෙන් එක සමානය යන ගැඹුරු හැඟීම තුළිනි. ඒ නිසා සහෝදර ප්‍රේමය තුළ දි සෑම මිනිසෙකු සමඟම ගැඹුරු බැඳිමක් ඇති වන අතර මානව වර්ගයා හා ගැඹුරු ඒකාබද්ධතාවයක් ඇති වේ.

ජාතිවාදය මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධයකි. ලොව පුරා ජාතිවාදය සිදුකර ඇති විනාශය කියා නිම කළ නොහැකිය. ජාතිවාදය කිසි ලෙසකින්වත් කිතු දහමට එකඟ නොවේ. කිසිදු කිතුනුවෙකුට ජාතිවාදියෙකු විය නොහැකිය. ජාතිවාදියෙකු කිසි විටක කිතුනුවෙකු නොවේ. මේ කොලම ලියැවෙන්නේ ජාතිවාදය කිතුදහමට එකඟ නොවන ආකාරය විමසා බැලීමටයි.

සහෝදර ප්‍රේමය හා ජාතිවාදය

කිතු දහමේ ප්‍රධාන ප්‍රතිපදාව වන්නේ ප්‍රේමයයි. එහිදි සහෝදර ප්‍රේමය ප්‍රධාන වෙයි.

‘නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන්කිසි ආඥාවක් නැත” (මාක් 12/31)

අසල්වැසියාට ප්‍රේම කිරිම හෙවත් සහෝදර ප්‍රේමය ප්‍රධාන කොටගත් දහමක් අදහන කිසිවෙකුට ජාතිවාදියෙක් විය නොහැකි බව අමුතුවෙන් කියාදිය යුතුද ? නමුත් කිතුනුවන් සේ පෙනී සිටිමින් බරපතල ලෙස ජාතිවාදිව කටයුතු කරන ගිහි පැවිදි පූජක පිරිස් අප රට තුළ ද දුලභ නොවන බැවින් මේ ගැන ගැඹුරට විමසිය යුතුව ඇත.

සහෝදරයාට යන්නෙන් ගැඹුරින් ගම්‍යවන්නේ මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ප්‍රේම කිරිමයි. සහෝදර ප්‍රේමය කිසියම් පුද්ගලයෙකුට පුද්ගල කණ්ඩායමකට සීමා නොවීම එහි ඇති ගැඹුරු අරුතයි.

සැබැ සහෝදර ප්‍රේමය ඇත්නම් ඔහු හෝ අය මේ ලොව වසන ඕනැම මනුෂ්‍යයෙක් සම්බන්ධයෙන් වගකීමකින් බැදේ. ඕනෑම මනුෂයෙකුට ගෞරව කරයි. ඕනැම මිනිසෙකුට රැකවරණය සැලසීමට ඉදිරිපත් වෙයි. ජාතිය, ආගම, කුලය ආදි පටු සීමාවලට බැඳි නොසිටියි.

සැබැ සහෝදර ප්‍රේමය පැන නගින්නේ සෑම මිනිසෙක්ම ඇතුලාන්තයෙන් එක සමානය යන ගැඹුරු හැඟීම තුළිනි. ඒ නිසා සහෝදර ප්‍රේමය තුළ දි සෑම මිනිසෙකු සමඟම ගැඹුරු බැඳිමක් ඇති වන අතර මානව වර්ගයා හා ගැඹුරු ඒකාබද්ධතාවයක් ඇති වේ. එසේ නොවේ නම් එතැන ක්‍රිස්තියානිය අදහස් කරන ‘සහෝදර ප්‍රේමය නොමැත’
කිතුනුවා අසල්වැසියාට ප්‍රේම කල යුතුය. එහිදි, ඔබේ

සිංහල අසල්වැසියාට ප්‍රේම කරන්න.
දෙමළ අසල්වැසියාට ප්‍රේම කරන්න.
මුස්ලිම් අසල්වැසියාට ප්‍රේම කරන්න.
බර්ගර් අසල්වැසියාට ප්‍රේම කරන්න.
ජා, මැලේ අසල්වැසියාට ප්‍රේම කරන්න.
ආදී වාසි අසල්වැසියාට ප්‍රේම කරන්න.
බෞද්ධ අසල්වැසියාට ප්‍රේම කරන්න.
හින්දු අසල්වැසියාට ප්‍රේම කරන්න.
ඉස්ලාම් අසල්වැසියාට ප්‍රේම කරන්න.
මූලධර්මවාදි අසල්වැසියාට ප්‍රේම කරන්න.
අනාගමික අසල්වැසියාට ප්‍රේම කරන්න.
සමරිසි අසල්වැසියාට ප්‍රේම කරන්න.
සියලු ආකාර අසල්වැසියාට ප්‍රේම කරන්න.

තමාගේ අයට වර්ගයාට ප්‍රේම කිරිම ක්‍රිස්තියානිය ප්‍රේමය ලෙස නොසලකයි. තමාට ප්‍රේම කරන්නාට ප්‍රේම කිරිම කිසිදු විශේෂත්වයක් නැති දෙයක් බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කර ඇත. උන්වහන්සේ ඉතා ගැඹුරට යමින් ‘සතුරාට ප්‍රේම කරන්න එසේ කිරිමෙන් තොර ප්‍රේමය ප්‍රේමයක් නොවන බව අවධාරණය කර ඇත’

’එහෙත් මම ඔබට කියමි ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඥා කරන්න. මෙසේ ඔබ ස්වර්ගයෙහි වැඩ වසන ඔබේ පියාණන් වහන්සෙගේ පුත්‍රයෝ වන්නාහුය. ඔබට ප්‍රේම කරන්නන්ට පමණක් ඔබ ප්‍රේම කරන්නාහු නම් එයින් ඇති විපාකය කුමක්ද?

(කියවන්න මතෙව් 5/43-48)

ජේසු තුමන් මේ මගින් විස්තර කරන්නේ සහෝදර ප්‍රේමය යනු පවතින අරුතින් සහෝදර සහෝදරියන්ට, අපේ උන්ට දක්වන ආදරය නොවන බවයි. දේව දරුවන් විය හැක්කේ, කිතුනුවන් විය හැක්කේ පවතින අරුතින් සතුරන් යැයි සිතන අයට පවා ප්‍රේම කිරිමෙනි. ඒ අනුව පවතින මතවාද විසින් අපගේ සතුරු ජාතින් යැයි සැලකෙන අයටද අපි ප්‍රේම කල යුතුය.

මේ ඉගැන්වීම් දෙස ලාංකීය කිතුනුවන් ලෙස අප අවධි වුණාද? පසුගිය යුධ සමය තුළ මෙන්ම වර්තමානයේද සාමාන්‍ය කිතුනුවන් පමණක් නොව බොහෝ නාමධාරි කිතුනු නායකයින් පවා පෙන්නුම් කළේ, පෙන්නුම් කරන්නේ මේ ඉගැන්වීමට සපුරා පටහැනි ජාතිවාදි භාවිතාවකි.

පසුගිය යුධ සමයේ අතුරුදහන් වූවන් ගැන සාධාරණ අපක්ෂාපති පරීක්ෂණයක් සඳහා ජාතිවාදයේ නාමයෙන් විරුද්ධවන්නන් අපරාධ කළ අයට රණවිරුවන් යන ලේබලය මත නිදහස් කිරිම අවශයයි යන ජාතිවාදි මතය දරන්නන් සමඟ එකට සිටගෙන ඒ මතයන් පිළිගන්නා කිසිවෙකු කිතුනු නොවේ.

සහෝදර ප්‍රේමය තුළ අනෙකා කෙරෙහි ඇති ගැඹුරු වගවීම කොරතම්දයත් “මම දන්නේ නෑ” කියන්නට නොහැකිය. “මම නොදනිමි. මම මාගේ සහෝදරයාගේ භාරකරුද? (උප්පත්ති 4/9) යන ප්‍රශ්නය සහෝදර ප්‍රේමයට විරුද්ධය. සහෝදර ප්‍රේමය යනු සමස්ථ මානව වර්ගය හා බැදුනු ගැඹුරු වගවීමකි. වගකීමකි. ඉතිං ඒ වගවීමෙන් බැදෙන්නන්ට ජාතිවාදි විය නොහැකිය.

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

 

Comments powered by CComment