ඉන්දීය ගමනක සටහන් - 10

ඔහු සුෆි හඳුන්වා දුන්නේ ඉස්ලාම් හා ක්‍රිස්තියානි මිශ්‍ර සම්භාවයක් අැති ධාරාවක් ලෙසයි. ඔහු සුෆි සමඟ ක්‍රිස්තියානිය සම්බන්ධ කිරීමට හේතුව වන්නේ සුෆි චින්තාවේ පදනම "අාදරය" නිසාය.

අාගමික විචිත්‍රත්වය ස්පර්ශ කරන්න ඉන්දියාව තරම් තෝතැන්නක් ලෝකයේ තවත් තිබෙනවාද කියලා සැක හිතෙනවා. 

දිල්ලියේ අපේ අධ්‍යයන කටයුත්තේ ප්‍රධාන සැලසුම්කරු ජේසු නිකායික වික්ටර් එඩ්වින් පියතුමා. එතුමාගේ ප්‍රධාන මෙහෙවර ඉස්ලාමය සමඟ සංවාදය. ඉස්ලාමයේ සුෆි සම්ප්‍රදායට ඔහු දක්වන අැල්ම නිසාම නව දිල්ලියේ අපේ අධ්‍යයනයේ වැඩි ඉඩක් "සුෆි" අැසුරට වෙන්වී තිබුණා. අපේ අධ්‍යයන කණ්ඩායම් අැතැම් මිතුරන් "සුෆි" නම් දැන් අැති කියන තරමට සුෆි ගැන අනාවරණ වැඩ සටහන් තිබුණා.

කොහොම උනත් අපිට "සුෆි" අළුත් අනාවරණයක් වුණා.  

"සුෆි" කියන්නේ ඉස්ලාමයේ ගැඹුරු චින්තනමය භක්ති ධාරාවක් කියන්න පුළුවන්. එය ඉස්ලාමයේ නිකායක් ලෙස සලකනවාට අපිට හමු වූ සුෆිවරු එතරම් කැමැත්තක් දැක්වූයේ නැ. අපේ අධ්‍යයන කවය ඉස්ලාමය හා සුෆි ගැන මුලින්ම අැහුම්කන් දුන්නේ විශ්ව විද්‍යාල අාචාර්යවරයෙකු වූ කාදර් නමාජාට අපේ නඩයෙ කිතුනු පසුබිම නිසාම ඔහු උත්සහ කළේ කිතු දහම සමඟ තුලනය කරමින් සුෆි ගැන කියාදෙන්න.

ඔහු සුෆි හඳුන්වා දුන්නේ ඉස්ලාම් හා ක්‍රිස්තියානි මිශ්‍ර සම්භාවයක් අැති ධාරාවක් ලෙසයි. ඔහු සුෆි සමඟ ක්‍රිස්තියානිය සම්බන්ධ කිරීමට හේතුව වන්නේ සුෆි චින්තාවේ පදනම "අාදරය" නිසාය.

"ඔබ, ඔබට, අන් හැමට හා සියල්ලට අාදරය කරනවා නම් ඔබ දෙවියන්ට අාදරය කරනවා. සියලු යහපත අාදරය තුළ එ්කරාශි වෙනවා. දෙවියන්ගේ දිව්‍යමය බව වෙත විකසිත වෙන්න ඔබට පුළුවන් වෙන්නේ අාදරයෙන් පිරුනමයි"

සුෆි චින්තාවේ ගැඹුරු අරුතක් තමයි එ්. එ් නිසා සුෆි සම්ප්‍රදාය පිළිවෙත් දිව්‍යමය බව වෙත විකසිත වීමට අවශ්‍යයි කියලා හිතන්නේ නෑ. අපට හමුවූ බොහෝ සුෆිවරු හරිම තැන්පත් මිනිස්සු. අපි උදේ වරුවක් සුෆි ගුරුවරයෙකුගේ ගෙදර... හැම අතින්ම අාදරණීය සැලකුම් ඔහු අපිට ලබා දුන්නා.

සුෆි ගුරු - ගෝල සමඳතාවය ඉතා ප්‍රබලව ගත් අධ්‍යාත්මික සම්ප්‍රදායක්. සුෆි අාධ්‍යාත්මික චින්තන ධාරාවේ ප්‍රධානතම ප්‍රකාශකයක් වන්නේ "මහා ගුරු" න්ය. මේ මහා ගුරුවරු හැම දෙනාම පාහේ කවියෝ වෙති. කාව්‍යමය වුද අලංකාර වූද ගුප්තවූද  බසකින් ගැඹුරු දහමක් ප්‍රකාශ කිරීමට මේ ගුරුන් උත්සහ කරන බව සුෆි ගුරුන්ගේ කාව්‍යයන් අැසුරු කිරීමේදි පෙනී යයි.

මුල් කාලයේදි ඉස්ලාමිය මහ සම්ප්‍රදායට සුෆි සම්ප්‍රදාය පිළිබඳ ගැටළු පැවැති තිබෙන බව ඉතිහාසය පෙන්වා දෙනවා. වරක් සිරියාවේ අලෙප්පෝ නරගයේ ඉස්ලාම් යුක්ති අධිකරණයක් ෙවෙත සුෆි ගුරු කවියෙකු වූ "සුෆිඉබ්න්-එල්-අරාබි" ව කැඳවන්නේ ඔවුන්ගේ මේ භාවිතාව ගැන ප්‍රශ්න කරන්නයි. එහිදි ඔහු පවසන්නේ ඔවුන්ගේ කාව්‍යමය චින්තාවන් දේව ප්‍රේමය මගින් මිනිසාව පූර්ණත්වයට පත් කිරීම පිළිබඳ සාකෂි වන බවයි.

සුෆි සම්ප්‍රදායේ දාර්ශනික ගුරුන් අතරින් නස්රුද්දින් අාචාරින් සහ ජලාලුද්දින් රුමි ඉතා ප්‍රකට අය වෙති.

සුෆි සම්ප්‍රදාය ඉස්ලාමිය මහ සම්ප්‍රදායෙන් වෙන්ව පෙන්වන ප්‍රධාන වෙනසක් වන්නේ සුෆි සංගීතය හා ගේය පද ගායනය. අපි සුෆි සම්ප්‍රදායේ පල්ලි එහෙමත් නැත්නම් වන්දනා ස්ථාන දෙකකට ගියා. එකක් රාත්‍රියක. එ් රාත්‍රීය විශේෂ රාත්‍රීයක්. එළිවෙන තුරු විවිධ සංගීත කණ්ඩායම් සරල සංගීත භාණ්ඩ සමඟ ගායනා කරනවා. තවත් සුෆි පල්ලියකට අපි දහවල් ගියා. එහිදිත් අැතැමුන් අැවිත් ගායනා ඉදිරිපත් කරනවා.

සුෆි වන්දනා ස්ථාන නැත්නම් පල්ලි හැදෙන්නේ අනිත් අාගම්වලට වඩා වෙනස් විදිහකට. සුෆි ගුරුවරයෙක් මිය ගියාම ඔහු හෝ අැය මිහිදන් කරන තැන පල්ලියක් හදනවා. එ් තැනට අැවිත් වන්දනා කිරීම සිදු වෙනවා. සාමාන්‍ය ඉස්ලාම් දෙව් මැදුරු වල දැකිය නොහැකි දෙයක් එ් තැන්වල දැකිය හැකියි.

අපේ පන්සල් වලට යද්දී බුදුන්ට පූජා කරන්න මල් ගෙනියනවා වගේ මල් අරගෙන ගිහින් ගුරුවරයාගේ සොහොනට ඉසිනවා, හඳුන්කූරු පත්තු කරනවා, රෙදි ගෙනවිත් පොරවනවා. එතැනදි නම් උස් පහත් බේදය හොඳින් දකින්න පුළුවන්. මල් රෙදි අාදිය සමාජ පංතීය අනුව ඉහළ මිළ ගණන් වල සිට පහල මිල ගණන් දක්වා තිබෙනවා. අපි ගිය සුෆි වන්දනා ස්ථානයට යන පාර දෙපස පුංචි රෝස පැහැති මල් වර්ගයක් අලෙවිය සඳහා කඳු ගසා තිබෙනවා අපි දුටුවා. ප්‍රථම වතාවට දකින කෙනෙකු ඉස්ලාමිය සම්ප්‍රදායක් තුළ එවැන්නක් තිබෙනවාද කියලා විශ්වම පත් වෙනවා නිසැකයි.

සුෆි ගුරුවරයා වටා මිනිසුන් රැස්වී ජීවත්වන ස්ථානයන් දර්ගා ලෙස හඳුන්වා, ගෝලයින් විසින් වෙන වෙන ස්ථානවල දර්ගාවන් සෑදෙනවා. ගුරුවරයාගේ සොහොන තිබෙන වන්දනා ස්ථානයට එ් එක් දර්ගාවෙන් ගායකයින් හා වාදකයින් පැමිණි "ක්වාලි" Qawwali ගායන වාදක ඉදිරිපත් කරනවා. සුෆි ගායන හඳුන්වන්නේ "ක්වාලි නමින්".

2018.06.29.13

හයිද්‍රාබාදයේ අප ගත කළ අවසන් රාත්‍රීයේදි අපි ඉන්දියානු ක්වාලි ගායනා සමඟ රාත්‍රී 10 සිට 12 වන තුරු ගත කළා. එය එ් පිළිබඳ අපේ පළමු අත්දැකිම.

සුෆි සංගීතයේ ඉන්දියානු හා පකිස්තාන් සම්ප්‍රදායන් තිබෙනවා. එ් දෙකටම පොදු වු ලක්ෂණ තිබෙනවා. ඉන්දියානු හා පකිස්තානු සුෆි සංගීතයේ ප්‍රධාන ගේය පද රචකයා හා මහා ගුරු ලෙස සැලකෙන්නේ ජලා ලුද්දින් රූමි කවියා ය.

රබන් ගසමින් සිදු කරන ක්වාලි ගායනයක් අපව අමනාදානන්දයට පත් කළා. මොහිදින් බෙන්ගේ ගීත වල අපට හමුවන රාග තාල කීපයක්ම මේ ඉන්දියානු ක්වාලි සංගීතයේ තිබෙන බව පැහැදිලිව පෙනුනා. විශ්ව සංගීතයේ ඉස්ලාමීය ලකුණ ගැන පර්යේෂණ කරන අයට ක්වාලි ඉතා වැදගත් පර්යේෂණ භූමියක්.

මිනිසුන් ගායකයින්ට හා වාදකයින් සම්ප්‍රදායික ස්වරූපයකින් විටින් විට අැවිත් මුදල් පඬුරු ලබා දෙනවා. එසේ දීම වැදගත් කාර්යයක් බව එ් ජන රාශියක තුළ පෙනෙනවා. එය එක්තරා ප්‍රභූ කාර්යයක් වගේ. මුදල් පිරිනැමීමට ඔවුන්ගෙන් සමහරු අපව හා අපගේ අනෙක් විදෙස් මිතුරන්ටද එකතු කරගත්තේ සතුටින්.

සුෆි ගුරුන්ගේ සොහොන් කොත තිබෙන ප්‍රධාන වන්දනා ස්ථානයට ස්ත්‍රීන්ට අැතුළු වෙන්න බෑ. දෙව්මැදුරු භූමියේ ඔවුන්ට ඉන්න පුළුවන්. එ්ත් අෑතින්. ක්වාලි සංගීතය රස විඳීමක් නාෙවෙයි. එය අාගමික කටයුත්තක්. එදා රාත්‍රීයේ බොහෝ ස්ත්‍රීන් පැමිණි සිටියා දේවස්ථාන භූමියට. අප සමඟ සිටි විදෙස් මිතුරියන් කීප දෙනෙකුත් එ් අතර සිටියා. ඔවුන් සියලු දෙනා සංගීත වාදන ගායන භූමියෙන් මදක් අෑතින් තිරයක් වැනි දෙයකට පිටුපස සිට සංගීතය ශ්‍රවනය කළ යුතු වුණා. එතැනදි නම් සුෆි සම්ප්‍රදායේ ඉස්ලාමීය බව පැහැදිලිව පෙනුනා.

අැයි ස්ත්‍රීයට එ් තහංචිය කියන දේ ගැන විමසන්න අවස්ථාවක් ලැබුණේ නෑ. එ්ක දැන කියාගත යුතුයි. ඊට හේතුවක් අැති. එ් හේතුව වර්ථමානයටත් අදාළද නැද්ද කියන දේ වෙනම සාකච්ඡා කළ යුතු දෙයක් අාගමික සම්ප්‍රදායන් හැදැරීමේදි අැයි එ් කියන දේ දැන අසා ගැනීමයි මූලිකයි. සමාජ සාධාරණත්වය වැනි දැ පිළිබඳ සුෆිවරුන්ගේ යොමුවක් දකින්නට අසන්නට ලැබුනේ නෑ. අාදරය තුළ පැවැතීම සමාජ යහපතක් කියනනවා වගේ අදහසක් තමයි අපිට හමුවූ සුෆිවරුන්ගෙන් අසන්නට ලැබුනේ

6cac3e4af71ab8dda6dba234a97e4887 මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 17 වන සතිය 2018 ජූලි 01

 

Comments powered by CComment