එමනිසා අද විවාහ උත්සවයත් සුපුවතක් විය යුතුව ඇත. විවාහයක් කිරීම යනු අද බිය ගෙන දෙන ක්‍රියාවක් වී ඇත. ඉතාමත් සුළුවෙන් විවාහය කිරීමට පවා, අද ලක්ෂ ගණනක් අවශ්‍යයව තිබේ. අපි මේවා වෙනස් කරන්නට පෙරමුණ ගතයුතු වෙමු.

සුදොතුම් පියා ද ඒ ගැන කතා කරයි. ඒ සමඟ ම කිතුනුවකුගේ කාර්යභාරය ගැන උන්වහන්සේ තවත් වචන තුනක් භාවිතා කරයි.

1. කැටිව යාම.

2. නිවැරදි අවබෝධයෙන් යුතුව තීරණ ගැනීම.

3. දුබලතා අනුකලනය කිරීම.

මේ කියන්නේ කුමක් ද?

එය දේව දයාව යි. උන්වහන්සේ පවසන්නේ, සමාජය තුළ විවාහ ‍‍නොවන අය ද සිටින බව යි. විවාහ නොවී එකට ජීවත් වන අය ද සිටී. විවාහ පොරොන්දුව කඩකරමින් එකට ජීවත්වන අය ද සිටී. මෙවැනි විශාල පිරිසක් සමාජය තුළ සිටින බැවින්, ඔවුන්ව ආදරයෙන් බාරගනිමින්, ඔවුන්ට නිවැරදි තීරණ ගැනීමට උදව් කරමින්, ඔවුන්වත් රැගෙන එන ලෙස යි.

පසුගිය ඉරිදා දිනෙක, මම මීගමුවේ යම් ස්ථානයක, අභිවෘද්ධි ආලේපය ලබන පිරිසකට කථා කෙරුවෙමි. එය අවසන් වූ පසු, එක් ගැහැණු ළමයෙක් මට පැවසුවේ, "සර් ඔයා කියපු හැම බොළඳ කමක් ම මා ළඟ තියෙනවා. හැබැයි මම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. මට අවුරුදු 2 ක දරුවෙක් ඉන්නවා. මට වයස තාම අවුරුදු 18 යි. මාව පරිවාසයෙන් එළියට දැම්මේ මාස 2 කට ඉස්සෙල්ලයි. මහත්තයා ඉන්නේ හිරේ. එයා වැඩිමල්. නමුත් එයාට තව සම්බන්ධයක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න ඕනේ කියලා. මට රට යන්න හිතයි...." ආදී වශයෙන් විශාල දුක් ගැනවිල්ලක් කියාගෙන ගියා ය. ඇය රට යනවා නම්, මෙම දරුවා තවත් අනාථ වන බව මම පැවසූ විට, එවිට ඇයගේ අර්බුදය තවත් පැටලෙන බව දැනී, ඇය හඬා වැටුනාය. මෙවැනි චරිත අප සමාජයේ මොනතරම් ප්‍රමාණයක් සිටිනවාද යන්න පිළිබඳව ඔබත් සංවේදී වන්න. මෙවැනි බොහෝ චරිත බිහිවීම සඳහා, දරිද්‍රතාවය හේතුවන බව උන්වහන්සේ පවසයි.

සමහරුන්ට ඉන්නට ස්ථිර තැනක් නැත. විවාහ වන්නට මුදල් ද නැත. එහෙත් හැඟීම් දැනීම් ඇති බැවින්, විවාහ නොවී කොහේ හෝ කා සමග හෝ එකට ජීවත් වේ. එවැන්නන් ව විනිශ්චය කරමින්, "මුං කාළකණ්නි” යැයි නො බණින්න. මේවා ඔවුනගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නොවේ. සමස්ත ආර්ථිකයේ ප්‍රශ්නයකි. සමස්ත සමාජමය ප්‍රශ්නයකි. මේවාට වගකිව යුත්තේ ඔවුන් ම නොවේ. ඔබ ද, මම ද අනියම් ආකාරයෙන් හෝ මේවාට වගකිව යුතුව ඇත.

එමෙන්ම වර්තමානයේ විවාහ මංගලයන්හි හි පවතින ස්වභාවය නිසා ද මෙවැනි අර්බුද රාශියක් පැන නැඟී ඇති බව පාප් වහන්සේ පෙන්වා දෙයි. අද දේවස්ථානයක වුවත් විවාහයක් ගැනීම පහසු කාර්යයක් ද? එමනිසා කවුරුන් හෝ යුවළකට, විවාහ වන්නට පහසු වන පරිදි, මෙම ක්‍රමයේ පහසු හා විවෘත භාවයක් පැවතීම, අද දිනයේ අද දිනයේ විශේෂ සමාජ කාර්යයක් ව තිබේ. මම විවාහ වූයේ සුදුපාට ඇඳුම් ඇඳගෙන ද නොවේ. එයට හේතුව, සමහර විට එයත් ක්‍රමයක එකක් වියහැකිව තිබුණු බැවිනි. එබැවින් මම සුදුසු සාමානය ඇඳුමක් ඇඳගෙන ගොස් විවාහ වුනෙමි. පල්ලියේ සෙනඟ ද සිටියහ. මට වැයවුණේ, රුපියල් 5000 ක් පමණි. දැන් වසර 20 ක් පසුවීත්, තවමත් මගේ විවාහය හොඳින් පැවතෙමින් යයි. මා විවාහ වූ සතියේ ම, එම දශකයේ ලංකාවේ විශිෂ්ඨතම විවාහය සිදුවිය. විවාහ වුණේ අති ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකි. එම විවාහයට අත්සන් කලේ හිටපු ජනාධිපති හා විරුද්ධ පක්ෂ නායකයා ය. පුවත්පත් වල පළවී තිබුණු ආකාරයට, එම විවාහයේ වියදම ඒ කාලයේදීත්, ලක්ෂ 80 ක් විය. නමුත් ඒ විවාහය පැවතුනේ එක් දිනයකි. (සිනා) නමුත් රු. 5000 ක් වියදම් කර විවාහ වූ අපි දෙන්නා, තවමත් විවාහ දිවිය තුළ සතුටින් සිටින්නෙමු.

එමනිසා අද විවාහ උත්සවයත් සුපුවතක් විය යුතුව ඇත. විවාහයක් කිරීම යනු අද බිය ගෙන දෙන ක්‍රියාවක් වී ඇත. ඉතාමත් සුළුවෙන් විවාහය කිරීමට පවා, අද ලක්ෂ ගණනක් අවශ්‍යයව තිබේ. අපි මේවා වෙනස් කරන්නට පෙරමුණ ගතයුතු වෙමු. අප එවැනි අයට ධෛර්ය දිය යුත්තේ, පුතේ...... ඔයා ගිහින් පියතුමා හමුවන්න. ගිහින් විවාහ වෙන්න” කියා ය. මම හිතන්නේ, මුළු මීසමක් ම එක්වී, සුන්දර විවාහ දිව්‍ය පූජාවක් සංවිධානය කොට, ප්‍රදේශයේ විවාහ වන්නට සිටින යුවල් 10 ක් පමණ හෝ එකට විවාහ කර දීමේ ක්‍රමවේදයකට යා යුතුව ඇති බව යි. අද විවාහ මංගල්යෙයක් යනු හාස්‍යජනක හා බියජනක කර්තව්‍යයක් බවට පත්වෙමින් ඇත. මේවා වෙනස් කරන්නට නොබියව ඉදිරිපත් වීම, සියළු කිතුනුවන්ගේ වගකීමක් ව ඇත. සුදොතුම් පියා මේ සියල්ල ඉතා මනරම් ලෙස, වචන වල බහා පේළිගත කර ඇත.

මා කලින් ඔබට ප්‍රකාශ කළ, අඩු වයස් දරුවා වැනි ළමා මව්වරු දෙස අප දයාබරව බැලිය යුතුව ඇත. ඔවුන්ව විනිශ්චය කර, ගල්ගහන පරිසිවරු’ වන්නට අපට හැකියාවක් නැත. ඔවුන්ව ඉදිරියට ගෙන, එන්න දුවේ අපි යමු” කියා ඔවුන් සමග අත්වැල් බැඳගන්නට ඉදිරිපත් විය යුත්තේ කිතුනු අපමය. පවුල් භාවය වන්නේ එය ය. දයානුකම්පාව යනු එය ය. එසේ නොමැතිව, මම කතෝලිකයෙක්” යැයි පාරම්බාන්නට ඔබට කිසිදු අවසරයක් නැත. දෙවියන් ගේ කැමැත්ත නොවන විවිධ හේතු දක්වමින්, අපට මිනිසුන් විනිශ්චය කළ නොහැකි බව අමතක නොකරන්න. වැරදි කරන මිනිසුන්ට හැරී එන්නට ඉඩ ලබාදිය යුතුය. පාප් වහන්සේ පවසන්නේ, දැනට තිබෙන අවාසනාවන්ත තත්වයන්, පරිවර්තනය කර, ඒවා නිවැරදි කර දෙන්නට අප හැමෝටම ඉමහත් වගකීමක් පැවරී ඇති බවයි. අපේ කිතුනුකම ප්‍රකාශයට පත්විය යුත්තේ, මානව දයාවෙන් සපිරි එවැනි ක්‍රියාදාමයන් ඔස්සේ පමණි.

උන්වහන්සේ පවසන්නේ, සමරිතානු ස්ත්‍රීය ගැන ජේසු බැලූ ආකාරයට බලන ලෙසට ය. පවු කාර ස්ත්‍රීය ගැන ජේසු බැලූ ආකාරයට බලන්න කියා ය. එසේ නොබලා, අපි ගමේ ඉන්නා හොඳම ක්‍රිස්තියානි පවුලක්” යැයි කයිවාරු ගසන අධ්‍යාත්මයක් සහිත වීම, කිතුනුවෙකුට තරම් නොවේ. ඔබ යහපත් නම්, එය පෙන්නුම් කරන්නේ, ඔබ ඔබේ ගමේ කඩා වැටුන, බිඳුන පවුල් වලට කොයි ආකාරයෙන් ආදරය කරනවාද යන කාරණය අනුව ය. ඔබේ හොඳකම මැනෙන්නේ එතැනිනි. එවැනි අසරණයන්ට දෙවියන්ගේ සෙවනට එන්න ඔබ කරන උදව්ව කුමක් ද? ඔබ සැබෑ ක්‍රිස්තියානි පවුලක් වන්නේ එතැනිනි. මේවා අපේ ජීවිත තුළ ඇති ගැඹුරු අභියෝගයන් බව උන්වහන්සේ ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. සභා ඉතිහාසය පුරා මේ අභියෝගය පැවතිනි. තීරණ 2 ක් ඇත. අප ඔවුන්ව තලා පෙළා දමනවා ද? නැතහොත් අප ඔවුන්ව අපේ සංඝයට නැවත එකතු කරගන්නවා ද යන කාරණා 2 ක අප ඉදිරියේ ඇත. දෙවියන් වහන්සේ ගේ කැමැත්ත වියහැකි වන්නේ කුමක් යැයි ඔබ සිතන්නේ ද? එසේ නම් ඒ අනුව ක්‍රියා කරන්නට, ඉදිරියට එන ලෙසට මම ඔබ සැමට, අද දිනයේ දී ආරාධනා කරන්නෙමි.

දෙවියන් වහන්සේ කිසිවෙකුව ඉවත දමන්නේ නැත. එදා ජෙරුසෙලෙමේ මන්ත්‍රණ සභාව පැවතියේද, චර්ම ඡේදනය නොකරන අය, සභාවට ගන්නවා ද නැතිද යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ය. චර්ම ඡේදනය කරන ලද අය පමණක් සභාවට ගන්නවා යැයි තීරණයක් එදා ගත්තා නම්, අපි කිසිවෙක් අද ක්‍රිස්තියානි නොවේ. අප සැලසුම් සැකසිය යුත්තේ, මිනිසුන් ඉවත දමන්න නොවේ. මිනිසුන් ව අනුකලනය කරන්නට ය. අසරණ අය ආදරයෙන් බාරගත යුතු ය. ඔවුන්ට ඒ ස්ප්‍රීතුව දිය යුතුව ඇත. සුපුවත දිය යුතුව ඇත. ඕනෑම කෙනෙකුට ජීවිතයේ පෞද්ගලික බිඳ වැටීම් ඇත. අප හොඳ අය ද? අපි කවුරුත් සම්පූර්ණ නැත. අපි හැමෝම - මේ කතා කරන මම පවා - දුබලකම් ඇතිව ඉන්නෝ වෙමු. නමුත් අපට වෙනස් වන්නට හැකි විය යුතු ය. ඒ නිසා ඒ දෘෂ්ටියෙන් බලන්නට පුරුදු වෙමු.

දෙමව්පියන් ඇඹුල් මිදි කෑවොත්, දරුවන්ගේ දත් හිරිවැටෙන බව බයිබලයේ සඳහන් වේ. 
අපි ඇඹුල් මිදි කෑවොත් - හිරිවැටෙයි දරුවන්ගේ දත් -
දෙමාපිය බව මහා වගකීමක් - අඹනු මැන සමිඳේ - සැබෑ මව්පියො විලස හැම දවසේ”

ඇඹෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ ගේ හදවත තුළ ය. උන්වහන්සේට පැවසිය යුත්තේ, වඩා හොඳ අධ්‍යාපනය, වඩ වඩා හොඳ වන්නට, ඔළුවෙන් වෙනස් වෙන්නට, අපේ සම්මත අදහස් බිඳ දමන්නට, සමාජ සම්මතයන් පිළිබඳ ඔබ වහන්සේ ගේ අර්ථය අපට දෙන්නට කියාය. අප මෙම ගීතය සමග ඒකාත්මක වෙමින්, දෙවිඳුන් යදිමු.

මඳක් ඇස්දෙක පියාගන්න. 
රැස්ව සිටි ජනතාව නැගිට, දෑස් වසාගනිමින් ඇතුළාන්ත මෙනෙහි කිරීමකට සූදානම් වෙති.

ර්‍අපි මෙනෙහි කරමු.................... ඔබට සිතෙයි අපි කොහොමද මේවා කරන්නේ කියා. ලොකු වෙනසක් විය යුතුව තිබෙනවා. මහන්සි වෙන්න ඕනේ. කාලය ගත කරන්නට ඕනේ. ඉගෙන ගන්න ඕනේ. යොමුවෙන්න ඕනේ. කතා කරන්න ඕනේ. වැරදි හදා ගන්න ඕනේ. ඒවා ඔබේ ශක්තියෙන් විතරක් කරන්න බෑ. දෙවියන්ගේ ශක්තිය අවශ්‍ය ය යි. ප්‍රඥාව අවශ්‍යය යි. තේරුම් ගැනීම අවශ්යය යි. ධෛර්යය අවශ්‍යය යි. සැබෑ මව්පියෝ වන්නට, හැම මොහොතකම.... හැම මොහොතකම උන්වහන්සේ ගේ බලය අවශ්‍යය යි. නිකං වෙන්න බෑ. මගේ හැකියාවල් මතින්, මගේ ශක්තිය මතින්, මට ඕනේ උන්වහන්සේ ගේ බලය.

අපි කියමු, ස්වාමිනී............ ඔබ වහන්සේ ප්‍රැන්සිස් සුදොතුම් පියා මගින්, අපව අළුත් ලෝකයකට ගෙන ගියා. අපට ඇත්ත ක්‍රිස්තියානිය ලංවෙන්නට කතා කළා. අප අතිනුත් ගොඩාක් අඩුපාඩු වෙලා තියෙනවා. ඔබ අපිට සමාව දෙන්න. හැබැයි අද ඉඳලා අපිට එහෙම කියන්න බෑ. අද ඉඳල අපි ගොඩක් දේවල් ගැන දැනුවත් වෙලයි ඉන්නේ. අපි අවදි වෙලා තියෙනවා. ඒ නිසා පරිසිවරයෙක් වෙන්නේ නැතිව, අපේ පවුල් ජීවිතය තුළ ප්‍රේමණීය වන්නට, දෙන්න ස්වාමිනී බලය......... ඔබ වහන්සේ දැක්කා සේ දකින්නට, ඔබ වහන්සේ බැලුව වගේ ආදරයෙන් බලන්නට, ඔබ වහන්සේ ආදරය කළා වගේ ආදරය කරන්න, එවිට අපිට ඇණ ගහන අයටත් ආදරය කරන්න පුළුවන්. අයාලේ ගිය ස්වාමි පුරුෂයාටත් ආදරය කරන්න පුළුවන්. වෙන සම්බන්ධතාවයක් තියෙන ස්වාමි පුරුෂයටත් ආදරය කරන්න පුළුවන්.

ජේසු අපට ආරාධනා කරන්නේ මම ප්‍රේම කළා වගේ ආදරය කරන්නයි. ඔබ මෙච්චර කල් ප්‍රේම කළේ, ඔබ ප්‍රේම කරනවා වගේ නම්, උන්වහන්සේ අපිට කියන්නේ, මම ප්‍රේම කළා වගේ ප්‍රේම කරන්න කියා යි. එතකොට සියල්ල වෙනස් වෙනවා. මම ප්‍රේම කළා වගේ දරුවන්ට ප්‍රේම කරන්න. මම ප්‍රේම කළා වගේ නැන්දම්මට ප්‍රේම කරන්න. මම ප්‍රේම කළා වගේ හැම දෙනෙකුට ම ප්‍රේම කරන්න. ඒ සඳහා අපගේ ජීවිත වලට ශක්තිය ඕනේ. බලය ඕනේ. ඒ ශක්තිය හා බලය අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. ඉල්ලන්න ඔබට දෙනු ලැබේ කියා උන්වහන්සේ ඉතා පැහැදිලිව අපිට කිව්වා. උන්වහන්සේ පොරොන්දු ඉටු කරන ස්වාමීන් වහන්සේ යි.

මොහොතක් නිහඬ වන්න. උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ යම් තීරණයක් ගන්න යි. නිකංම නැගිටින්න නොවේ. මම අද සිට මේ දේවල් කරන්නේ නැහැ. මෙන්න මේ දේ කරනවා ස්වාමිනි කියල මම කියනවා. මගේ පවුල වෙනුවෙන්, ඒකයි මම අද ඔබවහන්සේට පුද කරන පඩුරු.

අප සියළු දෙනාට, පවුල තමයි ජිවිතය පටන් ගන්න තැන. ජිවිතය ඉවර වෙන තැන. ඒ තුළ තමයි අපේ ජීවිතය රැඳෙන්නේ. ඒකට වෙන විකල්පයක් නෑ. පවුලට විකල්පයක් තාම ඇවිල්ලා නැහැ. එයින් තොරව ජීවිතයක් නෑ. එයින් තොරව සභාවක් නෑ. එයින් තොරව ලෝකයක් නෑ. ඒ නිසා ශුද්ධවූ පියාණෙනි, ඒ සඳහා ගැඹුරින් අවදි වන්නට, ඔබ වහන්සේ දිපු මේ දවසට ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ ට ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ ගැඹුරු මෙනෙහි කිරීම තුළ, ඊයේට වඩා අද දශමයක් හෝ ආදරණිය තාත්තෙක් වන්නට, ආදරණිය අම්මෙක් වන්නට, සීයෙක් වන්නට, ආච්චි කෙනෙක් වන්නට, ‍ලේලියෙක් වන්නට, බෑණෙක් වන්නට, නෑනා කෙනෙක් වන්නට, මස්සිනා කෙනෙක් වන්නට, අසල්වැසියෙක් වන්නට, ඔබ වහන්සේගේ ආදරයෙන් මෙහි සිටින අප සියළු දෙනාහට - මටත් වඩා අනෙකාට - බලය දෙන්න. අප ඒ බලය ඉල්ලා ස්වාමීන් වහන්සේට යාච්ඤා කරමු.”

එසේ නම් අපි, අද දින මෙම ‍දේශනය නිමා කරමු. ඔබ සැමගෙන් මා ඉල්ලා සිටින්නේ මෙය යි. ඔබේ දරුවන්ට දේව කැමැත්තට හිස නමන්නට උගන්වන්න. එයයි සැබෑ ක්‍රිස්තියානි අධ්‍යාපනය. එයයි හොඳ අධ්‍යාපනයය. 

ස්තුතියි ජේසු පිහිටයි...
- නිමාව -

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 12 වන සතිය 2018 මැයි 27

 

Comments powered by CComment