තමා කරන දේවල්, ‘පුරුදු’ බවට පත්විය හැකි නිසා, දෙමව්පියන් සෑම විටකම තමා විසින් ‘කරන දේවල්’ ගැන සිතා බලන ලෙසට උන්වහන්සේ අපගෙන් ඉල්ලා සිටි. ඒවා දරුවන් දකී. ඒවා දරුවන් ඉගෙන ගනී

පවුල තුළ වැදගත් දේවල් කිහිපයක් ඇති බව උන්වහන්සේ තව දුරටත් පෙන්වා දෙයි.

  1. තමා කරන දේවල්, ‘පුරුදු’ බවට පත්විය හැකි නිසා, දෙමව්පියන් සෑම විටකම තමා විසින් ‘කරන දේවල්’ ගැන සිතා බලන ලෙසට උන්වහන්සේ අපගෙන් ඉල්ලා සිටි. ඒවා දරුවන් දකී. ඒවා දරුවන් ඉගෙන ගනී. ඉන්පසු ඒවා දරුවන්ටත් පුරුදු බවට පත්වේ. දරුවන්ට පුරුදු බවට පත්කළ යුත්තේ යහපත් දේවල් ය. කුඩා කළ පටන් දරුවන් පොත් පත් බලන්නට පුරදු කළා නම්, පසුව ඒවා ඔවුන්ගේ ජිවිත රටා බවට පෙරැලේ. එය යහපත් පුරුද්දක් ඇති කිරීමකි. මගේ නිවසේ රූපවාහිනි යන්ත්‍රයක් නැති නිසා, රාත්‍රී 7.30 වනවිට පවුලේ හැම කෙනෙක් ම මොනවා හරි කියවයි. ළමයින්ට නිකරුනේ නිදි මැරිය යුතු ද නොවේ. රාත්‍රී 9.30 වනවිට සියල්ලෝම නින්දට යති.
  1. උන්වහන්සේ පවසන්නේ, තමා රූපවාහිනිය, පුවත්පත් හෝ සමාජ මාධ්‍යයන් ඇසුරු කරනවා නම්, ඒවා විවේචනාත්මක ලෙස බලන ලෙසට ය. මම පවසන්නේ, කුඩා ළමුන් උකුළේ තබාගෙන රූපවාහිනි නරඹන අම්මලා සියළු දෙනා, ‘කොමිසන්’ කරගත යුතුව ඇති බව යි. විශේෂයෙන් අද දිනයේ විවිධ නාලිකා ඔස්සේ විකාශනය වන ටෙලි නාට්‍යය, පවුලේ සැම සමග එකට එකතු වී නරඹන සියළු ම තාත්තලා සහ අම්මලා සිදුකරන්නේ එසේ මෙසේ පාපයක් නොවේ. ඒවා ‘තඩි පවු’ ය. (සිනා) මේවාවල යන ඒවා, පොඩි ළමයින්ට ගැලපෙනවා ද නැති ද? මට උත්තර දෙන්න.

සභාවෙන් : ළමයින්ට ගැලපෙන්නේ නෑ තමයි!

මෙසේ විකාශනය වන ‘ජහ ජරාව’ සියල්ල ඔබේ දරුවන්ගේ මොළවල, මැකිය නොහැකි ලෙසට තැන්පත් වන බව අමතක නොකරන්න. දෙමව්පියන් විසින් ළමයින් ව විනාශ කරන එක් ආකාරයක් වන්නේ එය යි. උන්වහන්සේ පවසන්නේ, රූපවාහිනිය බලනවා නම්, අවම වශයෙන් ‘විවේචනශීලීව’ බලන්න කියා ය. උදාහරණයක් වශයෙන් අද දිනයේ පෙන්වන සියළුම වෙළඳ දැන්වීම් පහර දෙන්නේ ආගම් වලට ය. ඔවුන් පවසන දේ වල සංක්ෂිප්තය වන්නේ, ‘බෙදාගන්න නොවේ..බදාගන්න...’ යැයි ඉගැන්වීම යි. එය සාතන් විසින් ක්‍රිස්තියානියට ගසන ලොකුම ප්‍රහාරය යි.  කතෝලික දහමේ පදනම බෙදා ගැනීම ය. සමහර වෙළඳ දැන්විම් වල දරුවන් කිරිපිටි බොනවා යැයි පෙන්වන්නේ කෙසේ ද? කටේ මුහුණේ ගා ගෙන ය. ඒ පෙන්නන ආකාරයට කිරි බිව්වා නම්, අපේ තාත්තා අපිට කන රත්වෙන්න පහරක් ගසනු නො අනුමාන ය. මෙවැනි දේවල් තම නිවසේ සිට දරුවන් සමග බලන පියා හෝ මව පැවසිය යුත්තේ, “චිකේ..අර බලන්න අර ළමයා කිරි එක බීල තියෙන කැත!” ආදී වශයෙන් වැරැද්ද විවේචනාත්මක ලෙසට අවධාරණය කරන ආකාරයෙනි. එවිට අඩු තරමේ, මේ පෙන්වන දේවල් වල හොඳ නරක හෝ වටහා ගන්නට අපේ දරුවන්ට හැකියාවක් ලැබෙනු ඇත. එසේ විචාරශීලී ලෙස නොබලා, පවුලේ සියල්ලන් සමග, සිනහ වෙමින් බලන විට, දරුවන් තේරුම් ගන්නේ මේවා නිවැරදි චර්යාවන් කියා ය. එවිට දරුවන් හට වැරදි දෙයක් ඉගෙන ගැනීමට ‘ඉඩ හැරීමෙන්’ සිදුවන පාපයට වන්දි ගෙවන්නට, අනිවාර්යෙන් ඔබට සිදුවන බව අමතක නොකරන්න. පවුල තුළ අධ්‍යාපනයක් ලබාදිය හැක්කේ එසේ ය.

අනෙක් කාරණය අප විද්‍යුත් මාධ්‍යය භාවිතා කරනවා නම්, ඒවා ආදර්ශමත් ලෙස භාවිතා කරනු දරුවන් විසින් දැකිය යුතුය. තාත්තාට ඇමතුමක් පැමිණි විට, දුරකතනය කනේ තබාගෙන ‘පැය බාගයක්’ කතාකරනවා දකින දරුවා, ඉගෙන ගන්නේ කුමක් ද? අපේ අම්මලා ද එසේ ය. යෙහෙළියක් කතා කළොත්, කිසිම අර්ථයක් නැති වල්පල් දොඩමින් ඉන්නා තම මව දකින දරුවන්ට, ලැබෙන්නේ කුමන ආදර්ශයක් ද? මම පවසන්නේ, ‘සෙල්ෆෝන් භාවිතා කිරීමේ දේවධර්මය’ අද දෙමව්පියන්ටත් ඉගැන්විය යුතු බව ය. මගේ යෝජනාව, අද දහම් පාසැල් වල මේවා ද ඉගැන්වීම අත්‍යවශ්‍යය බව යි.

ඊළඟ වැදගත් කාරණයක් ලෙස මෙහි දැක්වෙන්නේ, ළමයින්ට ‘ස්ව පාලනය’ ඉගෙන ගන්නට අවස්ථාව සැලසීම යි.  ඒ සඳහා ‘කල් දාන්නට’ ත් ඉගෙන ගත යුතුව ඇත. “ඒක දැන්ම ම ඔයාට ඕනේ ද?” යන්න ගැන කල්පනා කරන්නට උගන්වන්න. අම්මා ළඟ දුරකථනයක් තිබෙන පළියට, දරුවාට එවැන්නක් අවශ්‍යය නොවේ. දරුවාට අවශ්‍යය අවස්ථාවක එවැන්නක් ලබා දිය හැකි ය. එවිට තමා සුදුස්සෙක් වනතුරු, අවශ්‍යයතාවය කල්දැමීමට දරුවන් ඉගෙනගනී. එවිට අනාගතයේදී වුවත්, දකින දකින දේ මිළදී නොගෙන, අවශ්‍යය දේ පමණක් මිළදී ගන්නට දරුවා පුහුණුවනු ඇත.  අපේ නිවෙස්වල, අනවශ්‍යය දේවල් ගොඩගැසී ඇත්තේ, මෙසේ කල්දැමීමේ පුරුද්ද ප්‍රගුණ කර නොගත් අය ඉන්නා නිසා ය. ‘මට මෙය අවශ්‍යය වන්නේ දැන්ම නොවේ. ඒ නිසා එතෙක් ඉවසා ඉන්නවා’ යනු ස්ව පාලනය ය

මම ලංකාව වටා යන පුද්ගලයෙක් වුවත්, මට මොබයිල් දුරකතනයක් නැත. නමුත් මම ඉතා සුවසේ වෙසෙමි. කිසිම ප්‍රශ්නයක් මෙතෙක් මතු වි ද නැත. මට පණිවිඩයක් දීමට අවශ්‍යය කෙනෙකුට, මගේ නිවසේ ඇති  ස්ථාවර දුරකථනයට එය ලබාදිය හැකි ය. එබැවින් “දැංකාලේ මොබයිල් එකක් නැතිව ජිවත් වෙන්න බෑ!” යන මෝඩ තර්කය මම ප්‍රතික්ෂේප කරමි. මගේ දියණිය දිනක් මට කීවේ “අප්පච්චි ඹයා මොබයිල් ෆෝන් එකක් ගන්න එපා” කියා ය. මම ඒ පිළිබඳ විමසීමේදී ඇය පැවසුවේ, ඇයටද ජංගම දුරකථනයක් නොමැතිව ජිවත් වෙන්නට පුළුවන් බව සිතෙනු ඇත්තේ, මට ද එවැනි එකක් නොමැති නම් පමණයි කියා ය.  ඇයගේ එම ප්‍රකාශය තුළ ඇති ‘ගැඹුර’ මට එක්වරම වැටහුනි. මගේ  දරුවෙක් වන ඇයගේ එම ප්‍රකාශය, මාව ද ‘අවදිකරලීය’.

ඔබේ දරුවාව සමාජානුයෝජනය කරන ලෙසට පාප් වහන්සේ ඉල්ලා සිටී. ඔබේ දරුවාව සමාජ ජීවිතය උගන්වන්න.  පවුලේ ආච්චි-සීයා සමග කටයුතු කිරීමට, අහළ පහළ අය සමග ජිවත් වන්නට, දේවස්ථානයක සමිති සමාගම් වලට බැඳී කටයුතු කිරීමට, ප්‍රජාව, ගහකොළ,.... මේවා වෙතට දරුවා ව යොමු කරවන්න. දරුවා සමග කුඩා පැලයකට ජලය වත්කරන එක ද, ඔහුව සොබා දහම හා බද්ධ කිරීමකි.

අඩු තරමේ මල් පෝච්චියක මල් පැලයක් හෝ වවන්නට දරුවන්ට කියා දිය යුතුව ඇත. පෝච්චියක මිරිස් පැලයක් සිටුවන්නට දරුවාට ඉඩ දෙන්න. ප්‍රජාව සමග ඒකාබද්ධ වන්නට දරුවන්ට ඉගැන්විය යුතු ය. අනෙක් කෙනෙක් සමග ජිවත් වන්නට අද දරුවෝ නොදනිති. සමහරු තම සහෝදරයා සමග වත් ජීවත් වෙන්නට නොදනී. ‘බදාගන්නා මනෝභාවය’ උගන්වන සමාජයක, මේවා අනිවාර්ය ප්‍රතිඵලයන් ය. දරුවන් දෙදෙනෙක් ඉන්නා නිවසකට, කිසිදා චොකලට් 2 ක් ගෙනයන්න එපා යැයි මම පවසමි. එකක් ලැබුණු විට, බෙදාගෙන කෑමට ඉගෙනගත හැක. අපි කරන ලොකු වරදක් වන්නේ, සෑම දරුවෙකුට ම එකක් බැගින් ගෙනයාමට පෙළඹීම යි. කුඩා දරුවන් ඉන්නා නිවසක, ඔවුන්ට යහපත් පුරුදු ඉගැන්විය හැක්කේ එවන් ක්‍රියාවන් වලිනි.

දරුවන් සඳහා ලිංගික අධ්‍යාපනය

ෆ්‍රැන්සිස් සුදොතුම් පියාගේ, විශ්ව ලේඛණයේ මේ සඳහා ද පරිච්ඡේද කිහිපයක් වෙන්කර ඇත.  මා ළඟදී මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයට පැමිණ, 9 වන ශ්‍රේණියේ දරුවන්ගේ දෙමව්පියන්ට දේශනයක් කළෙමි. ඔවුන් සමග ලොකු පන්තිවල දරුවන් ද සිටින දෙමව්පියන් රැසක් සිටි බැවින්, මා ඔවුන්ගෙන් විමසුවේ, දරුවන් සමග ‘ලිංගිකත්වය’ ගැන කතාබහ කර තිබේද යන්න යි. ඔවුන් අතුරින් කිසිවෙක්, තම දරුවන් සමග ඒ සම්බන්ධව  කතා කර තිබුණේ නැත. මා ඒ පිළිබඳ විමසීමේදී, ඔවුන් මට දුන් පිළිතුර වූයේ, “මේවා ගැන අපේ දෙමව්පියොත් අපි එක්ක කතා කලේ නෑනෙ සර්” යනුවෙනි. ඇත්තෙන්ම ඔබලා වැනි දෙමව්පියන් ගේ දෙමව්පියන්, ඒ ගැන ඔබලා සමග කතා නොකිරීම, එතරම් ගැටළුවක් බවට පත්ව තිබෙන්නට නැතත්, වර්තමානයේ ඉන්නා දරුවන් සමග ඒවා කතා නොකරනවා නම්, සැබැවින් ම ඔබලා දෙමව්පියන් වීමට බැරි ය.

අද සමාජයේ 8 වසර, 9 වසර ඉගෙනුම ලබන දරුවන් පවා මේ ගැන කතා කරති. දරුවන් කතා කරන  මාතෘකාවක්, දෙමව්පියන් වශයෙන් ඔබලා කතා නොකරනවා නම්, එය දරුවන්ට කරන හානියක් බව දැනගන්න. අඩු තරමේ දරුවන්  ලිංගිකත්වය ගැන නිවැරදි දේ ඉගෙන ගනු ඇත්තේ, ඔබලා ඒ සම්බන්ධව කතා කරනවා නම් පමණි. නැතහොත්, දරුවා විශාල මිථ්‍යා අදහස් ගොන්නක් සිතේ තබාගෙන ‘විඳවමින් සිටිනු’ ඇත. Sex Education ගැන වැදගත් වගන්ති කිහිපයක් ම මෙම ලේඛණයේ ඇතත්,  මා මෙහිදී කතා කරන්නේ වැදගත් කාරණා  ගැන පමණි.

ඔබේ වැඩිවියට පත් දූවරු සමග මේ සමග කතා කරන්න. වැඩිවියට පත්වුණා යනු, ඔවුන්ගේ කුසයේ ‘දරුවෙක් පිළිසිඳගන්නට’ හැකියාවක් තිබෙන බව යැයි, යම් අනතුරු හැඟවීමක් කර තිබීම, වර්තමාන සමාජයේ ගැහැණු ළමයින් විශයයෙහි,  අත්‍යවශ්‍යය දැනුවත් කිරීමකි. ‘මගේ දරුවාට එහෙම වෙන්නේ නැහැ’ යැයි කිසිදා නොසිතිය යුතු ය.  එවැනි ‘වැරදීම්’ වූ ගැහැණු දරුවන් බොහෝ දෙනෙකු සමග මම කතාකර ඇත්තෙමි. ‘අවුරුදු 10 යේ අම්මලා’ මට හමුවි ඇත. මම පරිවාස හා ළමා කටයුතු සම්බන්ධයෙන් ද ක්‍රියාකරන පුද්ගලයෙක් වන නිසා, මට ළමා මාතෘභාවය පිළිබඳ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇත. මම මෙතැන ඉන්නා අම්මලාගෙන් අසන්නේ මෙය යි. “දරුවෙක් හම්බවෙන්න, වැඩිවියට පත්වෙන්න ම ඕනෑ ද?”

සහභාගිවන මව්වරුන්ගෙන් : නැති වෙන්නත් පුළුවන්.....

එසේනම් අහගන්න. ගැහැණු ළමයෙක් ‘වැඩිවියට පත්වෙලා’  යනුවෙන් අප හඳුනාගන්නා දිනය වනවිට, ඇයගේ ඩිම්භය නිකුත් වී හමාර ය. එබැවින්, ඒ අතර තුර දින කිහිපයේ ද යමක් සිදුවන්නට ඉඩ ඇති බව අමතක නොකරන්න. අම්මලා විසින් දුවලාට පරෙස්සම් වන්නට කියා නැතිනම්, කුඩා ගැහැණු දරුවන් ඒ ගැන නොදනී. මා අද දින ඔබට පවසන්නේ, මේ දැනුවත් කිරීම ඉතා වැදගත් බව යි. ඔබට එම දැනුම ලබාදෙන්නට තවමත් හැකියාවක් නැතිනම්, ඒ ගැන දැනුවත් වන්න. පොතක් පතක් කියවන්න. ඔබට මෙය තනිවම කළහැකි ද නොවේ. බොහෝ අය ඒ සඳහා උදවු විය යුතුව ඇත. ශුද්ධවූ සභාව ද මේ ඥාණකාන්තිය හරහා සිදුකරන්නේ, එවැනි දැනුවත් කිරීමකි. ගම්වල කිතුනු ඒකක වල සිට ම, මෙය සිදුවිය යුතුව ඇත.

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 10 වන සතිය 2018 මැයි 13

 

 

Comments powered by CComment